අපි මේ ඉගෙනගනිමින් සිටින්නේ උතුම් බුදු සසුනක පමණක් ම දැකිය හැකි වන අසිරිමත් ගුණධර්ම විශේෂයක් වූ ධුතාංග ධර්මයන් ගැන යි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධුතාංගයන් පිළිබඳ වදාරණ ලද්දේ, සීල සම්පත්තියට පිරිවර පිණිස යි. ධුතාංග ආරක්ෂා කරන්නා මහත් අනුභාවයකින් යුක්ත වෙයි.

උතුම් ධුතාංගයන්ට පිරිවර වශයෙන් පවතින තවත් ගුණදහම් පහක් දක්නට ලැබෙනවා. ඒවා හැඳින්වෙන්නේ ධුතධර්ම යන නමිනුයි. ධුතාංග සම්පූර්ණ වීමේ දී ධුත ධර්මයන් ද සම්පූර්ණත්වයට පත් ව යනවා.

ධුත ධර්මයන් අතුරින් පළමුවැන්න වන්නේ ආශාවන් අඩු බව නම් වූ අල්පේච්ඡතාවය යි. ඒ සඳහා අලෝභය නම් කුසල මූලය මුල් වෙනවා. දෙවැන්න ලද දෙයින් සතුටු වීම නම් වූ සන්තුට්ඨිතාව යි. එයත් අලෝභය මුල් කරගෙන ඇති වන කුසලයක්. කෙලෙස් විනාශ කරන විහරණය නම් වූ සල්ලේඛතාවය තෙවැනි ධුත ධර්මය යි. සිව්වැන්න කාය – චිත්ත විවේකය නම් වූ පවිවේකතාවය යි. මෙම ධුත ධර්මයන් දෙකට අලෝභ සහ අමෝහ යන කුසල මූල දෙක මූලික වෙනවා.

පස්වැන්න ඉතා වැදගත්. අප ගුණධර්මයක පිහිටා එය පවත්වාගෙන යන විට ඒ සඳහා විවිධ බාධක පැමිණෙනවා. එහි දී අවස්ථාවෝචිත නුවණින් තොරව කටයුතු කළොත්, එම ගුණය පිරිහී යනවා. එකරුණෙහි ලා අවස්ථාවෝචිත ප්‍රඥාව අපි කාටත් ඉතා වැදගත්. ගුණදහම් වැඩීමෙහි දී උපක්‍රමශීලි ව ඇති කර ගන්නා පාරිහාරිය ප්‍රඥාව නම් වූ ඉදමට්ඨිතාවය පස්වන ධුත ධර්මය යි. ඒ සඳහා අමෝහය මූලික වෙනවා.

මහසඟරුවන පරිහරණය කරන සිව්පසයෙන් දෙවැන්න වන්නේ පිණ්ඩපාතය යි. උන්වහන්සේලා පිණ්ඩපාතය පරිහරණය කරන්නේ දහමේ හැසිරීමට කාය බල උපදවා ගැනීම පිණිස පමණක් ම යි. එහිලා කාය බලය නම් වූ අර්ථය සම්පූර්ණ වන කවර වර්ගයේ ආහාරයකින් හෝ භික්‍ෂුව සෑහීමට පත් වෙනවා. අප්‍රණීත ආහාරයකින් හෝ භික්‍ෂුව සෑහීමට පත් වෙනවා. ප්‍රණීත ආහාරපාන සොයා යාමට වෙහෙසවන්නේ නෑ,

“පින්වත් භික්‍ෂුව, මෙහි එන්න. අවබෝධයෙන් යුක්ත ව දන් වළඳන්න. ඒ කියන්නේ නුවණින් විමසමින් ම ආහාර ගන්න. ‘මේ ආහාර ගන්නේ ජවය පිණිස නො වෙයි. මත්වීම පිණිස නො වෙයි. ඇඟපත සැරසීමට නො වෙයි. අඩු තැන් පුරවා ගැනීමට නො වෙයි. මේ ශරීරයේ පැවැත්ම පිණිස විතරයි. යැපීම පිණිස විතරයි. වෙහෙස සන්සිඳවා ගන්න විතරයි. බඹසර ජීවිතයට රුකුල් දීම පිණිස විතරයි. මේ අයුරින් පැරණි බඩගිනි වේදනා මං බැහැර කරනවා. අලුතින් බඩගිනි වේදනාවක් උපදවන්නේ නෑ. මගේ ජීවිතය නිවැරදි ලෙස පහසුවෙන් පවත්වාගෙන යනවා’ කියලා.”

(ගණක මොග්ගල්ලාන සූත්‍රය, ම. නි. 2)

පිණ්ඩපාතය ලැබෙන ආකාර (පිණ්ඩපාත ක්ෂේත්‍ර) 15 ක් ද තිබෙනවා. ඒවා මෙසේ යි:

  1. සංඝයා උදෙසා පොදුවේ පූජා කරන දානය
  2. භික්‍ෂුන් කිහිපනමක් උදෙසා පූජා කරන දානය
  3. සංඝයාට ආරාධනා කොට දෙනු ලබන දානය
  4. සලාක ක්‍රමයට පුදන දානය
  5. දින 15කට වරක් පක්ෂයක දී පුදන දානය
  6. පෝය දිනයෙහි පුදන දානය
  7. ආගන්තුක ව වැඩම කරන භික්‍ෂූන් හට පුදන දානය
  8. ගමනක් වැඩීමට සූදානම් වන භික්‍ෂුවට පුදන දානය
  9. ගිලන් වූ භික්‍ෂූන් හට පුදන දානය
  10. ගිලන් භික්‍ෂූන්ට උවටැන් කරන භික්‍ෂූන් උදෙසා පුදන දානය
  11. දිනපතා පුදන දානය
  12. විහාරයක වැඩ වසන භික්‍ෂූන් හට පුදන දානය
  13. කුටියක වැඩ වසන භික්‍ෂුවකට පුදන දානය
  14. වාරයෙන් වාරයට පුදන දානය
  15. පුර පක්‍ෂයෙහි හෝ අව පක්‍ෂයෙහි පළමුවැනිදා (පෑළවිය දා) පුදන දානය ද පිණ්ඩපාත ක්ෂේත්‍රයට ඇතුළත් වෙනවා

සසරෙහි බිය දැක සසුනට ඇතුළත් වන උතුමන් වහන්සේනමක් උපසම්පදා භූමියට පත්වන අවස්ථාවේ දී, මහ තෙරුන් වහන්සේලා උන්වහන්සේට නිස්සය ධර්ම නමින් කරුණු හතරක් කියා දෙනවා. එම කරුණු හතර ඇසුරු කරගෙනයි මූලික වශයෙන් පැවිද්ද පවතින්නේ. ඒවා මෙසේ යි:

  1. පැවිද්ද වනාහි පිඬුසිඟා ලද භෝජනය නිසා පවතින්නේ ය.
  2. පැවිද්ද වනාහි පංසුකූල චීවරය නිසා පවතින්නේ ය.
  3. පැවිද්ද වනාහි රුක්මුල් සෙනසුන නිසා පවතින්නේ ය.
  4. පැවිද්ද වනාහි පූතිමුත්ත භේසජ්ජ නම් සරල ඖෂධය නිසා පවතින්නේ ය.

සසුනට පිවිසෙන භික්‍ෂුව සරල වූ සිව්පසයෙන් සෑහී, නිවන් මඟට මූලික අවධානය යොමු කළ යුතු බව සිහි ගන්නවමින් මෙකරුණු වදාරණ ලද්දේ මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ විසිනුයි. ඉහත කරුණු සතරින් පරිබාහිර ව සඟරුවනට ලැබෙන සියලු ලාභයන් අතිරේක ලාභ යනුවෙන් හඳුන්වනවා. පැවිද්දකු විසින් හැකි කාත් උත්සාහ කළ යුත්තේ, ඉහත කරුණු සතරින් යුක්ත ව දිවි පැවැත්වීමට යි.

පිණ්ඩපාතය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඉහත සඳහන් කළ පිණ්ඩපාත ක්ෂේත්‍රයන් අයත් වන්නේ අතිරේක ලාභයන්ට යි. යම් භික්‍ෂුවක් එම ක්‍රමයන්ගෙන් බැහැර ව, ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා වැඩම කොට ආහාරය සපයා ගන්නේ නම්, එය පිණ්ඩපාතිකංගය යනුවෙන් හඳුන්වනවා.

“මහණෙනි, දානය අතුරින් පිඬුසිඟා යෑමෙන් ලත් ආහාරය අල්ප වූයේත්, සුලභ වූයේත් වෙයි. එය වරදින් තොර වූ දෙයකි.”

(සන්තුට්ඨි සූත්‍රය, අං. නි. 2)

පිණ්ඩපාතිකංගය උසස් ලෙස සම්පූර්ණ කරන භික්‍ෂුව, උපාසකයෙකු දානය විහාරයට ගෙන එන බව පවසා විහාරයෙහි නැවතීමට ආරාධනා කළ ද එසේ නො නවතියි. අද දිනය සඳහා සිදු කරන එබඳු ආරාධනාවක් යම් භික්‍ෂුවක් පිළිගනී නම්, එය මධ්‍යම අයුරින් පිණ්ඩපාතිකංගය සම්පූර්ණ කිරීම යි. හෙට දිනය සඳහා ද විහාරයෙහි නැවතීමට කරන ආරාධනය යම් භික්‍ෂුවක් පිළිගනී නම් එය ලිහිල් අයුරින් පිණ්ඩපාතිකංගය සම්පූර්ණ කිරීමකි.

පෙර මේ සිරිලක්දිවෙහි මහා දම් දෙසුමක් පැවැත්වුණා. උසස් ලෙස පිණ්ඩපාතිකංගය පූරණය කරන එක්තරා තෙරනමක් පිණ්ඩපාතිකංගය පුරන තවත් දෙනමක් අමතා “අපිත් බණ අසන්නට යමු.” යි වදාළා. ඉන් එක්නමක් “අනේ! ස්වාමීනි, අද දිනයේ එක්තරා උපාසකයෙක් මා උදෙසා දානය රැගෙන වෙහෙරට එනවා නොවැ. එබැවින් මා මෙහි ම සිටිය යුතුයි.” කියා පැවසුවා. අනෙක් භික්‍ෂුව පැවසුවේ “ස්වාමීනි, එක්තරා උපාසකයෙක් මා උදෙසා දානයක් රැගෙන හෙට වෙහෙරට එනවා නොවැ. එනිසා දුර ගිහින් බැහැ.” කියායි. කිසිඳු බැඳීමක් නැති, උසස් ලෙස පිණ්ඩපාතිකංගය පුරන තෙරනම එහි ගොස් රිසි සේ දහම් රස විඳ ගත්තා. නමුත් අනෙක් දෙනමට සිදු වූයේ දහම් රසයෙන් පිරිහීමට යි. මෙයින් පැහැදිලි වන්නේ උසස් ලෙස පිණ්ඩපාතිකංගය සපුරන භික්‍ෂුව බොහෝ ප්‍රතිලාභයන් ලබන බව යි.

එසේ ලබන ප්‍රතිලාභයන් වන්නේ පිඬුසිඟා වඩින භික්‍ෂුව,

  1. පැවිද්ද මූලික වශයෙන් පිඬුසිඟා වැඩීම ඇසුරු කරගෙන සිටින බැවින්, එයට අනුගත වෙයි.
  2. පිණ්ඩපාත ආර්යවංශයෙහි පිහිටන්නේ වෙයි.
  3. අනුනට යටත් නො වන ස්වාධීන පුද්ගලයෙකු වෙයි.
  4. සම්බුදුරජුන් විසින් ප්‍රශංසා කරන ලද පිණ්ඩපාතය වළඳන්නේ වෙයි.
  5. පිරිසිදු ජීවිතය ඇත්තේ වෙයි.
  6. කුසීත බව මැඬලන්නේ වෙයි.
  7. හික්මීමට අදාළ පිළිවෙත් පුරන්නේ වෙයි.
  8. අනුනට අනුග්‍රහ කරන්නේ වෙයි.
  9. මානය දුරු කරන්නේ වෙයි.
  10. රස තෘෂ්ණාව දුරු කරන්නේ වෙයි.
  11. අනුන් විසින් පෝෂණය නො කරන කෙනෙක් බඳු වෙයි.
  12. පිණ්ඩපාතය හේතුවෙන් ඇවැත්වලට නො පැමිණෙන්නේ වෙයි.
  13. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල ව පවතින්නේ වෙයි.
  14. ඉතා යහපත් ප්‍රතිපත්තියක සිටින්නේ වෙයි.
  15. පසුකාලීන භික්‍ෂූන් ද පිණ්ඩපාතිකංගයෙහි උත්සාහවත් කරන්නේ වෙයි.

මෙබඳු වූ පිණ්ඩපාතිකංගය ඕනෑ ම පැවිද්දෙකු හට සම්පූර්ණ කිරීමට අවස්ථාව තිබෙනවා.

පිඬුසිඟා වැඩීම ඉතා අසිරිමත්. බොහෝ ගුණ සම්පත් වැඩෙන පිණ්ඩපාතය, භාවනාවක් ආකාරයෙන් සිදු කිරීමට නුවණැති භික්‍ෂුව පෙළඹෙනවා. එකරුණෙහි ලා පිණ්ඩපාතයේ වැඩීමට සිතුවිල්ල උපදවීමේ සිට, ලද ආහාරය බෙදාහදාගෙන වැළඳීම දක්වා බොහෝ ගුණසම්පත් වැඩෙන ආකාරයට කටයුතු කරන හැටි පසළොස් වැදෑරුම් පිණ්ඩපාත සන්තෝෂය නමින් ධර්මයෙහි සඳහන් වෙනවා. ඒවා මෙසේ ය:

එහිලා භික්‍ෂුව,

  1. රස තෘෂ්ණාවෙන් තොර ව පිඬු පිණිස වැඩීමට විතර්ක කිරීමෙන් ප්‍රීති වන්නේ ය.
  2. කමටහන් වඩමින් පිඬුසිඟා වැඩීමෙන් ප්‍රීති වන්නේ ය.
  3. සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂූන් සමඟ පිඬුසිඟා වැඩීමෙන් ප්‍රීති වන්නේ ය.
  4. කුමන ආහාරයක් හෝ ලැබීමෙන් ප්‍රීති වන්නේය.
  5. සම සිතින් යුතුව රසවත් හෝ නීරස හෝ ආහාර පිළිගැනීමෙන් ප්‍රීති වන්නේ ය.
  6. පමණ දැන බොජුන් පිළිගැනීමෙන් ප්‍රීති වන්නේ ය.
  7. ආහාර උදෙසා ඇති ලොල් බව දුරු කිරීමෙන් ප්‍රීති වන්නේ ය.
  8. රසවත් හෝ නීරස හෝ ලැබුණු ආහාරයෙන් ප්‍රීති වන්නේ ය.
  9. ශරීරයට පහසුව ඇති වන පරිද්දෙන් දානය වැළඳීමෙන් ප්‍රීති වන්නේ ය.
  10. ලැබුණු රසවත් ආහාර ගුණවත් ස්වාමීන් වහන්සේලාට පූජා කිරීමෙන් ප්‍රීති වන්නේ ය.
  11. බඹසර ජීවිතයට උපකාරයක් වශයෙන් දකිමින් දන් වැළඳීමෙන් ප්‍රීති වන්නේ ය.
  12. පමණ දැන වැළඳීමෙන් ප්‍රීති වන්නේ ය.
  13. ශික්‍ෂාපදයන් සුරකිමින් සිහි නුවණින් යුතු ව දන් වැළඳීමෙන් ප්‍රීති වන්නේ ය.
  14. ආහාර රැස්කර ගැනීමෙන් වැළකීම නිසා ප්‍රීති වන්නේ ය.
  15. සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ ආහාර බෙදාහදා ගැනීමෙන් ප්‍රීති වන්නේ ය.

අතීතයේ වැඩ විසූ මහෝත්තමයන් වහන්සේලා පිණ්ඩපාතයේ අසිරිමත් බව සඳහන් කරන ලද්දේ මේ අයුරිනුයි.

පිණ්ඩියාලෝප සන්තුට්ඨෝ – අපරායත්ත ජීවිකෝ
පහීණාහාර ලෝලුප්පෝ – හෝති චාතුද්දිසෝ යති

පිඬුසිඟා වැඩීමෙන් සතුටු වන, අනුන් මත රඳා පවතින ජීවිතයක් නොමැති, ආහාර පිළිබඳ ඇල්ම දුරු කළ භික්‍ෂු තෙමේ සතර දිශාවෙහි ම වාසයට සුදුසු වෙයි.

විනෝදයති කෝසජ්ජං – ආජීවස්ස විසුජ්ඣති
තස්මාහි නාතිමඤ්ඤ්‍යය – භික්ඛාචරියං සුමේධසෝ

කුසීත බව දුරු කරන ඔහුගේ දිවි පැවැත්ම ඉතා පිරිසුදු ය. එබැවින් යහපත් ප්‍රඥා ඇති භික්‍ෂුව පිඬුසිඟා හැසිරීම ඉක්මවා නො යන්නේ ය.

සටහන – රවීන් කෝදාගොඩ