බල රහිත ව, වීර්යය රහිත ව, ගොඩට පැමිණිය නො හැකි ව මඩෙහි ම ලැග සිටින මහලු මී ගොනුන් සේ කෙලෙසුන්ගෙන් මිදීමක් ගැන සිතීමට පවා නො හැකි ව, කෙලෙසුන් තුළ සතුටු වෙමින්, කුසීත ව ලෝක සත්වයා වාසය කරනවා. මෙසේ වූ ලෙව් සතුන් අතර මහා වීර්යවන්ත උතුමන් කලාතුරකින් පහළ වෙනවා. උන්වහන්සේලා උපදවාගන්නා ලද කුසල ධර්මයන් තුළින් කෙලෙසුන් ඉක්මවා යමින් ලෝකයෙහි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ලෝකයෙහි මුදුනින් වැඩ සිටිනවා. උන්වහන්සේලා හඳුන්වනු ලබන්නේ ‘ආර්ය’ යන නාමයෙනුයි.

අර්ථය තුළ වැඩ සිටි, ලෝකයා අතර පූජනීයත්වයට පත් වූ සියලු බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ආර්ය උතුමෝ වෙති. ලොව වැඩ සිටි, සියලු ආර්යයන් වහන්සේලා විසින් අත් නො හරින ලද ගුණධර්ම සතරක් ආර්යවංශ නමින් අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. ශාක්‍යමුනි සම්බුදුරජාණෝ ඒ පිළිබඳ මෙසේ වදාළ සේක.

“මහණෙනි. මේ අරියවංශ ප්‍රතිපදාවෝ සතරකි. මෙම අරියවංශ ප්‍රතිපදාව අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නො වන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරුන් විසිනුත් බැහැර නො කළ දෙයකි. මෙකල්හි ද බැහැර නො කරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නො කරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නින්දා නො කරන ලද දෙයකි.”(අරියවංස සූත්‍රය, අං. නි. 2)

එම අරියවංස ප්‍රතිපදාවන් ලෙස සඳහන් වන්නේ මේවායි.
1. ලැබුණු සිවුරකින් සතුටු වන්නේ වෙයි.
2. ලැබුණු ආහාරයකින් සතුටු වන්නේ වෙයි.
3. ලැබුණු සෙනසුනකින් සතුටු වන්නේ වෙයි.
4. භාවනාවෙහි ඇලී වසන්නේ වෙයි.

මෙම ධර්මයන් 4 සම්පූර්ණ වන පරිදි, මේ සතරට අදාළවයි බුදුරජුන් ධුතාංග ධර්මයන් පනවා වදාළේ. ලැබුණු සිවුරකින් සතුටු වීමට අදාළ ධුතාංග 2 අපි කලින් ඉගෙනගත්තා. දැන් අපි ලැබුණු ආහාරයකින් සතුටු වීමට අදාළ ධුතාංග 5 ඉගෙනගනිමිනුයි සිටින්නේ.

කපිලවස්තු නගරයේ දී පිඬුසිඟා වැඩි අපගේ ශාස්තෘන් වහන්සේ සුද්ධෝදන මහරජාණන්ට වදාළේ “පිණ්ඩපාතික භෝජනය වනාහි බුද්ධ වංශය යි. බුදුවරුන්ගේ පරම්පරාවට අයත් දෙයයි.” කියා ය. ඉතින් මෙම පිණ්ඩපාතයට අදාළ ධුතාංග සම්පූර්ණ කරන කෙනා ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨිතා නම් වූ ආර්යවංශ ප්‍රතිපදාවට පැමිණ වාසය කරනවා.

“තවද මහණෙනි, භික්‍ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් පිඬු සිඟීමෙන් ලත් ආහාරයකින් සතුටු වෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. ආහාරයක් උදෙසා භික්‍ෂූන් හට අයෝග්‍ය වූ, නොසරුප් දෙයකට නො පැමිණෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයක් නො ලැබුණේ වුව ද එයින් කම්පා නො වෙයි. පිඬුසිඟීමෙන් ලත් ආහාරයක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නො වෙයි. එයින් මුසපත් නො වී, එහි නො බැසගෙන, ආදීනව දකිනා සුලු ව, එහි ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ පිඬු සිඟීමෙන් ලත් ආහාරයෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නො දක්වන්නේ වෙයි. අනුන් හෙළා නො දකියි. ඒ භික්‍ෂුව පිඬු සිඟීමෙන් ලත් ආහාරයෙන් සතුටු වීමට දක්‍ෂ වූයේ, අලස නො වූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ඉතා පැරණි වූ, අග්‍ර යැයි දන්නා ලද ආර්යවංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.”
(අරියවංස සූත්‍රය, අං. නි. 2)

දැන් ඔබ ඉගෙනගන්නට යන්නේ පත්තපිණ්ඩිකංගය පිළිබඳ ව යි. පෙර ධුතාංග සේ ම මෙයත් සිව්වණක් පිරිසට ම අරක්‍ෂා කර ගන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේ ගිහි පිරිසට ආරක්‍ෂා කිරීමට අවසර දී තිබෙන්නේ මේ ධුතාංගයන් 2 පමණ යි.

වැළඳීමෙහි දී දෙවන භාජනයක් නො සොයා එක ම බඳුනක වැළඳීම සිදු කරයි නම් එය පත්තපිණ්ඩිකංගය යි. සිල් සමාදන් වීමට යාමේ දී පවා බොහෝ දෙනා විවිධාකාර බඳුන් රැගෙන යනවා. ඇතැම් විටෙක මෙය තමන්ටත් බරක්, අනුන්ටත් හිරිහැරයක්. අවසානයේ දී බොහෝදෙනාට සිදු වන්නේ බණ භාවනා කිරීමට නො ව රැගෙන ආ භාජන පරෙස්සම් කිරීමටයි. රැගෙන ගිය භාජන තබාගන්නට විහාරයෙහි බොහෝ ඉඩකඩත් යනවා. නිවන් මග හැසිරෙන කෙනා ව මේ කරදරවලින් බේරාගැනීමට යි, භාග්‍යවතුන් වහන්සේ මේ ධුතාංගය පනවා වදාළේ.

මෙහි දී මිශ්‍ර වූ කල්හි පිළිකුල ඉපදෙන කිරි, කැඳ, මස්, ව්‍යංජන ආදිය වරින්වර එක ම බඳුනට ගෙන වැළඳිය හැකි යි. නමුත් එසේ පිළිකුල නූපදින මී පැණි, සකුරු ආදිය මිශ්‍ර කරගෙන වැළඳීම සුදුසු යි. මිශ්‍ර නො වූ පිරිසිදු ජලයත්, ගිලන්පසත්, ඕනෑ ම වෙනත් බඳුනක වැළඳීමට අවසර තිබෙනවා. මෙහි දී සලකා බැලෙන්නේ ආහාර වර්ග ගැන පමණ යි.

උසස් ලෙස පත්තපිණ්ඩිකංගය පුරන උතුමා බත්, මස්, මාළු, කැවුම්, පලතුරු ආදි සියල්ල අතින් කැඩීමක් නො කොට, මිශ්‍ර කර වළඳනවා. එබඳු පුද්ගලයෙකුට වළඳා නිම වූ පසු පාත්‍රයෙන් බැහැර ලන්නට ඉතිරි වන්නේ උක් හපය පමණක් බව සඳහන්. පාත්‍රයෙහි තිබෙන ආහාර වර්ග එක් අතක් භාවිත කරමින් කඩා වළඳන පුද්ගලයා මධ්‍යම අයුරින් ධුතාංගය පුරන්නා යි. හස්තයෝගී යනුවෙන් ද ඔහු හඳුන්වනු ලබනවා. ආහාර වර්ග මිශ්‍ර කිරීමකින් තොර ව අත්වලින් හෝ දත්වලින් ඒවා කඩා වළඳන පුද්ගලයා පාත්‍රයෝගී තැනැත්තා යි. ඔහු මෙම ධුතාංගය පුරන්නේ ලිහිල් ලෙස යි. මේ අසිරිමත් පත්තපිණ්ඩිකංගය සම්පූර්ණ කරන්නා මහත් වූ අනුසස් ලබනවා. හෙතෙම,

1. නොයෙක් ආකාරයේ රසයන් විඳීමට ඇති ඇල්ම දුරු කරයි.
2. ලැබුණු දෙයින් සෑහීමකට පත් නො වී වඩා හොඳ දේවල් සොයන ස්වභාවය වූ මහේච්ඡතාව නැත්තේ වෙයි.
3. දිවි පැවැත්වීමට පමණක් ම බොජුන් වළඳන්නේ වෙයි.
4. පිඟන් ආදි විවිධ බඳුන් පරිහරණයෙන් වන කරදර නැත්තේ වේ.
5. සියලු බොජුන් එක බඳුනෙහි තිබෙන බැවින් නො විසිරුණු බොජුන් ඇත්තේ වෙයි.
6. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල ව පවතින්නේ වෙයි.

පොහෝ දිනවල දීවත් මෙම පත්තපිණ්ඩිකංගය සම්පූර්ණ කිරීමට කැමති පිරිස පහත ගාථාවන් නිතර නිතර සිහිපත් කරන්න.

නානා භාජන වික්ඛේපං – හිත්වා ඔක්ඛිත්ත ලෝචනෝ
ඛණන්තෝ විය මූලානී – රස තණ්හාය සුබ්බතෝ

“නොයෙක් බඳුන්වල විසිරුණු බොජුන් ඇති බව හැර දමා, රස තෘෂ්ණාවෙහි මුල් සාරා දමන්නාක් මෙන් යහපත් ව්‍රත ඇති, යට හෙළාගත් ඇස් ඇත්තා වූ…”

සරූපං විය සන්තුට්ඨිං – ධාරයන්තෝ සුමානසෝ
පරිභුඤ්ජෙය්‍ය ආහාරං – කෝ අඤ්ඤෝ පත්තපිණ්ඩිකා

“ලද දෙයින් සතුටුවීමේ ප්‍රතිමූර්තියක් බඳු වූ, යහපත් සිත් දරන, එක් බඳුනෙහි වළඳන තැනැත්තා හැර ආහාර වළඳන්නට සමත් වන්නෝ කවරහු ද?”

සටහන – රවීන් කෝදාගොඩ