1 වන කොටස

ශ්‍රී සද්ධර්මවරචක්‍රවර්ති වූ කරුණානිධාන වූ අමාවරදායක වූ ශ්‍රීමත් සුගත තථාගත ශාක්‍යමුනීන්ද්‍රවර අප ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ ළය මඬලින් උපන්නා වූ මොග්ගලීපුත්තතිස්ස මහා ඛීණාස්‍රවයන් වහන්සේ විසින් “භවත් මහරජාණෙනි, සර්වඥ වූ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයෙහි ද ඔබ හා සමාන වූ ත්‍යාගවන්තයෙකු නො සිටියේ ය.” යනුවෙන් යම් නරපතියෙකු පිළිබඳ කීර්තනය කරන ලද්දේ ද ඒ මහා නරදේවයාණෝ සම්බුදු සසුන් වංශ කථායෙහි අමරණීය නාමයක් උරුම කර ගත්හ. හෙතෙම කිසිකලෙකත් නො වූ පරිදි දඹදිව ගෞතම සසුන බැබළවූයේ ය. ඒ මිහිපති තෙමේ ලක්දිව බුදු සසුන පිහිටුවීමෙහි ද අතිශයින් ම උපකාරී වූයේ ය. එතුමන්ගේ උපත පිළිබඳ වෘතාන්තය නොයෙක් අද්භූත සිදුවීම්වලින් ගහන වූ අසිරිමත් කතා පුවතෙකි. මෙතැන් පටන් දිග හැරෙනුයේ ධර්ම විජයෙන් ලොව ජයගත් ඒ ධර්මාශෝක මහාධිරාජයන්ගේ චමත්කාරජනක ජීවන වෘත්තාන්තය යි.

නන්ද රාජ වංශයෙහි ආරම්භය

ඒ ධර්මරාජ වූ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් අනූවන වසර යි. එකල්හී මහා පින් ඇති කාලාශෝක නම් රජක්හු ජම්බුද්වීපයෙහි අග්‍රරාජ පදවියට පත් වූහ. ඉන් දස වසරකට පසු වජ්ජිපුත්‍රක නම් අලජ්ජී භික්ෂු පිරිස විසින් උපදවන ලද ශාසනික අර්බුදයෙහි දී, ගෞතම සම්බුදුරජුන්ගේ කලණ බුදු සසුන් වැට නො සිඳී පවත්වනු වස් කාකණ්ඩපුත්ත යස ආදි උතුම් රහතුන්ට දෙවන දහම් සංගීතිය උදෙසා රාජානුග්‍රහය සැපයූවාහු, ඒ කාලාශෝක මහා නරේන්ද්‍රයාණෝ ම ය.

එම කාලාශෝක මහ රජු හට භද්‍රසේන, කොරණ්ඩවර්ණ, මංගුර, සබ්බඤ්ජහ, ජාලික, උභක, සඤ්ජය, කෝරව්‍ය, නන්දිවර්ධන හා පඤ්චමක යනුවෙන් පුත්‍රයෝ දස දෙනෙක් වූහ. විසි අට වසරක් රාජ්‍යානුශාසනා කළ කාලාශෝක මහා නරේන්ද්‍රයන් දෙව්ලොව වැඩි පසු එම දසබෑ රජදරුවෝ පිළිවෙළින් වසර විසි දෙකක් මගධයෙහි රාජ්‍යය විචාළෝ ය. එම දසබෑ රජදරුවන්ගේ යුගයෙහි දී එක්තරා සොර මුලක් ගම් පහරමින් ඉතා බලවත් ව විසූහ. ඔවුහු ගම්වලට වැදී සොරකම් නො කරති. යම් ගමක් කොල්ලකෑම ඉදින් ඔවුනට රිසි නම්, ඔවුහු එම ගමෙහි වැසියන්ට තර්ජනය කොට ගම්වැසියන් ලවා ම ඔවුන් වසන කඳුකර ප්‍රදේශයට වස්තුව ගෙන්වා ගනිති. දිනක් එසේ සොර මුල කරා වස්තුව රැගෙන යන ගම්වැසියන් අතර වූ එක්තරා වගකීම් රහිත පුරුෂයෙකු සොරුන්ගෙන් මෙසේ විමසුවේ ය.

“එම්බා සොරුනි, තෙපි කවර කවර ලෙසකින් කාලය ගත කරව් ද?”

“හා…තොප එය දැන ගන්නට රිසියෙහි ද? අසව! අපි වනාහි ගොවිතැනක්, සත්ව පාලනයක් හෝ එබඳු වෙනයම් රැකියාවක් හෝ නොකරම්හ. මෙසේ සොරකම් කොට මත්පැන්, මස්මාංශ ආදිය රැස් කොට කමින් බොමින් සුවසේ දිවි ගෙවම්හ.”

“අනේ! කොතරම් සුවපහසු ජීවිතයක් ද? මව්පියන් නොමැති මා හටත් ගැළපෙන්නේ මෙබඳු නිදහස් ජීවිතයක් තමයි. මම් ද මොවුන් හා එක් වුව මනා ය… අනේ! පින්වත් සොරුනි, මා හට ද තොපගේ ඔය දිවිය ඉතා රිසි ය. ඉතින් තෙපි මාවත් තොපගේ සොර මුලට එකතු කර ගන්නහු ද?”

නොබෝ කලෙකින් ම එම පුරුෂයා ද සොර මුලෙහි එකකු බවට පත් වූයේ, දිනක් එම සොර මුල ගම්වැසියන් බියවැද්දීම පිණිස එක්තරා ගමකට ඇතුළු වූහ. එම ගමෙහි වැසියෝ කලින් ම සොරුන් පිළිබඳ ව දැනගෙන රැකසිටියහ. සොරුන් ගමට පිවිසෙත් ම, සොර නායකයා අල්වාගෙන ගෙල සිඳ ඔහුගේ දිවි තොර කළහ. අනෙකුත් සොරු දිවි බේරාගෙන පලාගොස් ඔවුන් වසන කඳුකර ප්‍රදේශයට රැස්ව හඬා වැලපෙන්නට වූහ.

“අයියෝ! දැන් ඉතින් අපි කාගේ අණ පිළිපදින්නමෝ ද? නායකයා නැති අපට දැන් ඉතිරිව ඇති එක ම දෙය විසිරයාමයි. ඉහි… ඉහි…”

එකල්හි අවසානයට ම සොර මුලට එක් වූ පුරුෂයා පිරිස මැදින් මතු වූයේ ය.

“හා… හා… දැන් ඉතින් ළදරුවන් සේ නාඬව්. දැන් කළ යුත්තේ විලාප තැබීම නොව ගම් පැහැරීමෙහි දී පෙරමුණ ගත හැකි අයකු තෝරා නායකත්වයට පත් කර ගැනීම නොවැ.”

“හානේ… එබඳු නිර්භීත පුරුෂයෝ තවත් මෙහි ඉතිරිව සිටිත් ද? අප සිතුවේ අපේ නායකතුමන් සමඟ සියලු වීරයන් පරලොව ගිය බවයි.”

“ඇයි බොලව්, මේ මා සිටින්නේ? මින් මතු නො තැවෙව්. මෙබඳු ක්‍රියාවන්හි මා හට වැඩි තරම් දක්ෂයෝ කොහි සිටිත් ද?”

සොරනායක බවට පත්වූ එම පුරුෂ තෙමේ සිය සොහොයුරන් ද සොරමුලට එක් කොටගෙන පිරිස් බලය සහිතව බොහෝ සේ ගම් පහරන්නට වූයේ ය. නොබෝ කලෙකින් ඔහුගේ සිතට අමුතු ම අදහසක් පහළ වූයේ ය.
“භවත්නී, මේ සොරකම වනාහී ඉතා නීච ක්‍රියාවකි. අප වැන්නවුන් හට මෙබඳු ක්‍රියාවන් නොගැළපෙයි. මෙබඳු ක්‍රියා ගැළපෙන්නේ දීනයන් හට ය. අප වැනි ශූර වීර පුරුෂයන් හට සුදුසු වන්නේ රජකම යි. කිම? රාජ්‍යය පැහැරගන්නමෝ ද?”

සොර මුල ද තම අදහසට එකඟකර ගත් හෙතෙම ජම්බුද්වීපයෙහි බොහෝ ජනයා ද තමා වෙත නතු කර ගත්තේ ය. අවසානයෙහි දී පාටලීපුත්‍රයට පැමිණි ඔවුහු දසබෑ රජවරුන් හට අයත් අවසාන රජු වූ පඤ්චමක නම් රජුගෙන් රාජ්‍යය පැහැරගත්හ. ඒ වනාහී තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් එකසිය හතළිස්වන වසර වූයේ ය. එතැන් සිට උග්ගසේනනන්ද නමැති එම හොර දෙටුවා ද ඔහුගේ සොහොයුරන් වූ පණ්ඩුකනන්ද, පණ්ඩුගතිනන්ද, භූතපපාලනන්ද, රට්ඨපාලනන්ද, ගෝවිසාණනන්ද, දස සිද්ධකනන්ද, කේවට්ටනන්ද හා ධනනන්ද යන නවනන්ද රජදරුවෝ වසර 22ක් මුළුල්ලේ මගධයෙහි රාජ්‍යය විචාළෝ ය.

ධනනන්ද රජු

ඒ අතුරෙන් ධනනන්ද නම් වූ අවසන් රජු අධික ලෝභියෙක් වූයේ ය. ධනනන්ද යන ඔහුගේ නාමය ද ඔහුගේ ක්‍රියාවන්ට අනුරූප වැ පටබැඳුණෙකි. හෙතෙම අසූ කෝටියක් පමණ ධනය රැස්කොට මෙම ධනයට සදාතනික ආරක්ෂාවක් සපයන්නේ කෙසේදැයි සිතුවේ ය. එසේ සිතන ඔහු හට අපූරු කල්පනාවක් සිත්හි පහළ වූයේ ය. හෙතෙම මහා ගංගාවක් වෙත ගොස් ගඟ හරහා අමුණක් බැඳ දිය පහර නවත්වා අලුතින් කපන ලද ඇලක් ඔස්සේ එම ජලය ගලා යන්නට සැලැස්වී ය. එවිට එතෙක් ගංගා ජලයට යට ව පැවැති මහා ගල් තලාවක් ගඟ මැදින් මතු විය. ඔහු එම ගල් තලාව මැදින් ගල් කඩා මහා වළක් සකසා අසූ කෙළක් ධනය එහි නිදන් කළේ ය.

ඉන්පසු එම වළ මත ගල් පුවරුවක් අතුරා ජලය කාන්දු නොවන සේ ඒ මත උණු කරන ලද ලෝහ වත් කළේ ය. නැවතත් ගල් ද උණු කරන ලද ලෝහ ද ඒ මත යෙදූ හෙතෙම ගල් තලාව ප්‍රකෘති තත්ත්වයට පත් වූ පසු අමුණ බිඳ ගංගාව ගලා යන්නට සැලැස්වී ය. ධනය සහිතව ගල්තලාව ජලයෙන් යටවී ගියේ ය. මොහු මෙසේ ධනය නිදන් කරන ලද්දේ එක් වරක් නො වේ. කිහිප වරක් ම මොහු මෙසේ ධනය තැන්පත් කළේ ය.

නමුත් කලක් ගත වන විට ධනනන්දයන්ගේ අධික මසුරු බව සන්සිඳී ගියේ ය. බ්‍රාහ්මණයන් හට දන්පැන් පිදීමට ඔහුට සිතක් පහළ විය. රජ මාළිගාවෙහි මිදුලේ ම දන්සැලක් කරවූ ඔහු නිතිපතා බමුණන් හට දන්පැන් පුදන්නට වූයේ ය. එහි දිනපතා දන් පිළිගැනීමට පැමිණ සිටින ජ්‍යෙෂ්ඨ ම බ්‍රාහ්මණයා හට කෝටියක් අගනා දාන වස්තූන් ද නවක ම බ්‍රාහ්මණයා හට දහසක් අගනා දාන වස්තූන් ද පුදනු ලබයි.

චාණක්‍ය බ්‍රාහ්මණයාගේ පිළිවෙළ කථාව

මේ කාලයෙහි දී ගාන්ධාර දේශයෙහි තක්සලා නුවර එක්තරා බ්‍රාහ්මණ වංශික කුලගෙයක එක් ළදරුවෙක් උපන්නේ ය. අපිරිසිදු වර්ණයෙන් හා වකුටු වූ අත්පා ආදියෙන් යුක්ත වූ ඒ දරු ශ්‍රී විෂ්ණුගෝප චාණක්‍ය කෞටිල්‍ය යනුවෙන් නම් කරන ලද්දේ ය. ශරීරය නොයෙක් දෝෂයන්ගෙන් යුක්ත වුව ද ඔහුගේ බුද්ධිය නම් කිසිසේත් ම දෝෂ සහිත නො වූයේ ය. ත්‍රිවේදයෙහි ද මන්ත්‍ර අධ්‍යයනයෙහි ද නීති ශාස්ත්‍රයෙහි ද පරතෙර දුටු එම දරුවා බලා අනාවැකිකරුවෝ “මේ වනාහි රජකම වුව ද දැරීම සඳහා මහා පින් ඇති දරු සිඟිත්තෙකු ය.” යැයි පැවසුවාහු ය.

නොබෝ කලෙකින් ම ඔහුගේ පියා පරලෝ සැපත් වූයේ ය. එතැන් පටන් චාණක්‍යයෝ සිය දිවි දෙවැනි කොට යාගහෝම ආදි පුද පූජාවන් සිදු කිරීමෙන් ලැබෙන ධනයෙන් තම මෑණියන් රැක ගත්හ. ළදරු වියෙහි දී ම සිය මව් පෝෂණය කරන ලද්දේ යැයි ඔහුගේ කිතුගොස දසදිග පැතිර ගියේ ය. දිනක් චාණක්‍යයන්ගේ මෑණියෝ හඬමින් හුන්නා ය.

“මෑණියෙනි, අනේ!… කිමෙක් ද මේ ශෝකයට කාරණය ?”

“දරුව, ඔබ ගැන පවසන ලද අනාවැකියක් සිහි වෙද්දී වාවාගත නො හැකි වූයේ ය.”

“නපුරක්වත් ද? මෑණියෙනි, අනේ! නොවලහා පැවසුව මැනව.”

“දරුව, ඔබව පිරික්සූ නිමිත්ත පාඨකයෝ ඔබ වනාහී රජකම් කිරීම පිණිස පිනැත්තෙකැයි පැවසුවෝ ය. ඉදින් ඔබ රජවුවහොත්…ඉහි…ඉහි… රජවරු වනාහී ළයෙහි ස්නේහ මාත්‍රයක් නැත්තෝ ය. ඔබ රජ වූ පසු මා පිළිබඳ ස්නේහය හැර දමා මා අත්හැර දැමුවොත්, මා අනාථ වී මහමග මිය යාවී… ඉහි… ඉහි…”

“හහ්… හා… ඉතින් දැන් නාඬන්න මෑණියෙනි, කිසිදාක එවැන්නක් සිදු නො වන බවට ඔබට සපථ කරමි. මෑණියෙනි, මා හට රජවීමට උපකාර වන පින ශරීරයෙහි කොතැනක පිහිටා තිබේදැයි දන්නවා ද?”

“එසේ ය දරුව, එය පිහිටා ඇත්තේ ඔබගේ (රදනක) උල්දත්වල ය.”

ඒ ක්ෂණයෙහි ම චාණක්‍යයෝ තම මව්ගේ සිත් සැනසීම පිණිස තෙමේ ම තම උල්දත් බිඳ ගත්තේ ය.

තවත් කොටසක් මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න…..

සටහන – රවීන් කෝදාගොඩ