ම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයේ පහළ වුණ අසිරිමත් යුගයක, මනුෂ්‍ය ජීවිතයක් ලබලා සම්බුදු දහම ඇසෙන රටක ඉපදෙන්න ලැබුණ භාග්‍යය ගැන ඔබට වගේ ම මටත් ලොකු සතුටක් තියෙනවා. මා උපන් මේ රට ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරය වීම අපට අභිමානයක්.

ධර්මය විසින් ශ්‍රේෂ්ඨ ජනකායක් කරවන ලද අපේ පරපුරට එදා මෙදා තුර බුදු සිරිත සිහි කරලන්නට දායාද වූ මහානීය පූජා වස්තු සමුදායක් තිබෙනවා. ඒ එකිනෙක සිහිපත් කරද්දී මා උපන් මේ රට ගැන අප තුළ මහත් ගෞරවයක්, සුරක්ෂිත හැඟීමක් ජනිත කරවන සුපූජනීය සටහනක් අහසේ ද පොළවේ ද තිබෙන බව කිසිසේත් ම අමතක කළ නො හැකි යි.

කැලණි ගං පතුලේ නා විමනේ පිදෙන කඩුපුල්, මිණි, මුතු මැද සැදැහැති නාගයින්ගේ ද ඍද්ධිමතුන්ගේ ද බොහෝ පුද සත්කාර ලබනා ඒ ශ්‍රී පාද ලාංඡනයට මාගේ නමස්කාරය වේවා! අහස් ගව්වට ඉහළින් සමනොළ ගිරි මස්තකයේ නීල මාණික්‍යය මත සුපිහිටා දෙව් බඹුන්ගේ ද මිනිසුන්ගේ ද මහත් පුද සත්කාර ලබනා ඒ ශ්‍රී පාද ලාංඡනයට ද මාගේ නමස්කාරය වේවා!

මේ උඳුවප් මාසය සමනල ගිරි හිස සිරිපා කමල වන්දනා කරන්නට මිනිසුන් හට වාසනාව ලැබෙන සිරිපා වාරය. සිරිපා කරුණා කරන්නට කාට කාටත් මේ සිරිපා වාරයේ සුමන සමන් දෙව් කරුණාවෙන් ඉඩ ප්‍රස්තාව ලැබේවා යන ප්‍රාර්ථනය ඇතිව සිරිපා වරුණ ලියන්නයි අපි සූදානම් වෙන්නේ…

යළි යුගයක් ආවා ලොව සම්බුදු…

දෙව් මිනිස් ලෝකයට යහපත හිතසුව පිණිස යළිත් වරක් මේ මිහිමත සම්බුද්ධ රාජ්‍යයක් බිහි වුණා. ඒ සම්බුද්ධරාජයාණන් වහන්සේගේ බුද්ධ ශාසනය සම්බුදුරජාණන් වහන්සේගේ ද සම්මුඛී මහරහන් වහන්සේලාගේ ද පිරිනිවන් පෑමෙන් පසුව වුවත් බොහෝ කාලයක් පවතිනු පිණිස දේශනා කරන ලද ප්‍රාතිමෝක්ෂය සහිත වූවා.

තුන්ලොව තුන්කල් විනිවිද දකිනා අනාවරණ ප්‍රඥා ඇති ඒ බුද්ධරාජයාණන් වහන්සේ සෑම කල්හි ම සම්බුදුවරුන් ලොව පහළ වන මධ්‍ය දේශයට දකුණු දෙසින් පිහිටි පින්බර දිවයින ගෞතම සම්බුද්ධ ශාසනයේ නිර්මල ධර්ම සම්ප්‍රදායයන් චිරාත් කාලයක් ජීවමාන කරවන වාසනා මහිමය දරා සිටින බව දුටුවා. ස්වකීය ඤාති වර්ගයාට දහම් දෙසන්නට කිඹුල්වතට වැඩම කරන්නට පළමු ව සම්මා සම්බුද්ධත්වයෙන් අට මසක් ගෙවී යන කල්හි ඒ බුද්ධ දිවාකරයාණන් වහන්සේ මෙපින්බිමට වැඩම කළා. අද මහියංගණ මහා සෑරජාණන් වහන්සේ විරාජමාන ව වැඩ සිටින්නේ එදා සම්බුදුරජුන්ගේ සිරිපා කමල් සිපගත් භූතලය මතයි. සම්මා සම්බුද්ධත්වයෙන් පස් වන වර්ෂයේ දී නා රජවරුන්ගේ අරගලය සන්සිඳවමින් සම්බුද්ධරාජයාණන් වහන්සේ නාගදීපයට වැඩම කළා. අද නාගදීප සෑරජුන් වැඩ සිටින්නේ එදා නාරජවරුන් හට සම්බුදුරජාණන් වහන්සේ දහම් දෙසා වදහළ භූතලය මතයි.

සම්මා සම්බුද්ධත්වයෙන් වසර අටකට පසු යළිත් වරක් සම්බුද්ධ සිරිපා කමල පහස ලබන්නට මේ රට පින්වන්ත වුණා. කැලණි නදී අසබඩ මණිඅක්ඛික නාරජුන්ගේ රාජධානියේ එදා සම්බුදු සිහනද නැගුණ භූතලය මත අද කැලණි සෑරජුන් විරාජමාන වනවා. එදා පැන්පහසු වන්නට කැලණි ගංදියට බට සම්බුදුරජාණන් වහන්සේ නා විමනේ සිරිපා සටහන පිහිටුවා වදාළා. ඉන් අනතුරුව පන්සියයක් රහතන් වහන්සේලා පිරිවරාගෙන සිරිලක දහම්ද්වීපයේ සීමා මායිම් සලකුණු කළ පින්බර චාරිකාව ඇරඹුණා.

සමිඳාණනි සමන්ගිරේ තබන්න ඔය සිරිපා…

සම්බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනයේ දී ම ධර්මය ශ්‍රවණය කොට සතර අපායේ fදාරටු සදහට ම වසා දමමින් දහම් ඇස පහළ කර ගත් සුමන සමන් නම් භූමාටු දිව්‍ය පුත්‍රයා මේ චාරිකාව දෙස බලා සිටියේ අපරිමිත සතුටකින් යුතුව. එයට හේතුවක් තිබුණා. ඔහුගේ වාසභවනය වුණ සමන් ගිර මස්තකය වෙත වැඩම කරන්නට කියා ඔහු විසින් කළ ආරාධනාව සම්බුදුරජුන් මෙත් සිතින් යුතු ව පිළිගෙන වදාළා. ඈත හිමයේ මිනිස් වාසයෙන් දුර බැහැර වූ, හුදෙකලාවේ සොබාසිරි මවමින් දෙවි බඹුනගේ ද ප්‍රිය භාවයට පත් වූ සමන් ගිර වෙත සම්බුදුරජුන් වැඩම කළේ පන්සියයක් රහතන් වහන්සේලා පිරිවරාගෙන, පා ගමනින්. ඒ මහරහත් පිරිවර අතරේ අග්‍රශ්‍රාවක වූ සාරිපුත්ත මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වැඩ සිටින්නට ඇති. ගෞතම සම්බුදු සසුනේ තෘතීය ශ්‍රාවක වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටින්නට ඇති. අනුරුද්ධ, අංගුලිමාල මහරහතන් වහන්සේලා වැඩ සිටින්නට ඇති.
ඒ මහරහත් පිරිවර පෙරටුවෙන් අපගේ ශාස්තෘන් වහන්සේ මේ ගිරි ශිඛරය තරණය කරද්දී තරු පිරිවැරූ පුන්සඳ මඬල සේ විරාජමාන වූ ඒ සම්බුද්ධ පෙළහරේ රූ සිරි ශෝභා දැක සුමන සමන් දෙවිඳුගේ සිත කොතරම් නම් සතුටු වන්නට ඇති ද…!

ස්වකීය වාසභවනයේ වූ ඉන්ද්‍රනීල මාණික්‍යය මත සම්බුදුරජුන්ගේ සිරිපා සටහන් පිහිටුවා වදාරන්නට කියා සුමන සමන් දෙවිඳුන් ආරාධනා කළේ ගෞතම සම්බුද්ධ ශාසනය ලොව පවතින තාක් කල් දෙව් මිනිසුන්ට වන්දනාමාන කොට පින් රැස්කර ගන්නට ඉඩ ලබා දීමේ අරමුණින්. සම්බුදුරජුන් ඒ ආරාධනාව ඉවසා වදාළා. ඒ ඉන්ද්‍රනීල මාණික්‍යය මත, අටෝරාශියක් මඟුල් ලකුණින් විසිතුරු වූ, සම ව පිහිටි, දහසක් සක් වළලු ඇති, සුරත් පැහැ වාම ශ්‍රී පාදය තබා – අහසේ හිඳ මේ ගෞතම සම්බුදු සසුන් කෙතේ ධර්ම භාණ්ඩාගාරය මතු සුරකින පාසටහන සම්බුදුරජාණන් වහන්සේ පිහිටුවා වදාළා…!

පුලුන් රොදක් සේ ගෙන යමි සිරසට…

සොබා සිරියෙන් අනූන වූවත් සමන් ගිරි හිස වෙත පා ගමන සැබැවින් ම දුෂ්කරයි. කටුකයි. දිවි පරදුවට තබා යා යුතු ගමනක් ඒ. මහරහත් මුනිවරුන් සමඟ පා ගමනින් ම එහි වැඩම කළ සම්බුදුරජුන් මේ අති මහත් වූ දුෂ්කරතාවයන් විඳ දරා ගනිමින් සැදැහැතියන් මෙහි පැමිණෙන කල්හී බොහෝ ගැහැට විඳිය යුතු බව දැක සුමන සමන් දෙව් පුතුගෙන් මෙසේ විමසුවා.

“පින්වත් දෙවිඳ, මේ ගිරි හිස තරණයට ඉතා දුෂ්කර වූවක්. බොහෝ වෙහෙස ගෙනයි මෙහි පැමිණිය යුත්තේ. ඉදින්, මෙවන් ගිරි හිසක සිරිපා සටහනක් පිහිටවූ විට සැදැහැතියන්ට වන්දනාවන් පිණිස ගමනේ දී බොහෝ දුෂ්කරතා දරන්නට වනවා. ඔවුන්ට මේ ගමන බොහෝ අපහසුකම් ඇති කරනවා නො වේ ද?”

මාර්ග ඵලලාභී සම්බුදු ශ්‍රාවකයෙකු වූ සුමන සමන් දෙවිඳු ඒ මොහොතේ දී සිරිපා කමල අබියස සිරසින් වන්දනා කොට පුණ්‍ය චාරිකාවන්ගේ නියැළෙන සැදැහැතියන් වෙනුවෙන් ඇපකාරයෙකු බවට පත් වූවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, යම් මේ අයෙක් ශ්‍රද්ධා භක්තිය සිත්හි දරාගෙන සිරිපා කමල සිරසින් වන්දනා කරන්නට මෙහි පැමිණෙන්නේ නම් ගිරි හිස පාමුල සිට ගිරි හිස මුදුනට මම ඔහු ව පුලුන් රොදක් සේ ගෙනවිත් වන්දනාමාන කරන්නට සලස්වා නැවත හැරලවන්නෙමි.”

සත්‍යවාදී වූ සම්බුදු සමිඳුන්ගේ ශාසනයේ නො බිඳෙන සිල් ඇති ශ්‍රාවකයෙකු විසින් එසේ ඇප වී සැදැහැතියන්ගේ වන්දනාමානයට විවර කළ ලොව එක ම බිම්කඩ වන්නේ මේ සිරිපා මස්තකය යි…!

සකිසඳ පෙනේ සමනොළ ගිර…

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට තමයි ශ්‍රී පාදය භූගෝලීය වශයෙන් අයත් වන්නේ. උසින් මීටර 2243ක් වන මෙම ගිරි හිස ශ්‍රී ලංකාවේ කඳු අතර උසින් හතරවන ස්ථානය ගනු ලබනවා. එය සම්පූර්ණයෙන් ම කඳු වළලුවලින් වටව යි පිහිටා තිබෙන්නේ. ඒකදේශීය සත්ව විශේෂ සහ ශාක විශේෂ බොහොමයක් මේ භූමිය තුළ දැක ගන්නට පුළුවනි.

සියවස් ගණනාවක් පුරා කෝටි සංඛ්‍යාත බැතිමතුන්ගේ පා පහස ලැබූ ප්‍රධාන මාර්ග හතක් ශ්‍රී පාදය වෙත යොමු වනවා. එයින් හැටන් නල්ලතන්නි මාර්ගය වන්දනාකරුවන් අතර ඉතා ජනප්‍රිය යි. පඩි පෙල් ඉදි කර තිබෙන නිසාත්, දුර ප්‍රමාණය සාපේක්ෂ ව අඩු නිසාත්, පහසුකම් සහිත නිසාත් වාර්ෂික ව වැඩිම වන්දනාකරුවන් පිරිසක් සිරිපා මළුවට ළඟා වන්නේ මේ නල්ලතන්නි පාරෙන්.

මේ සියලු මාර්ග අතරින් දිගු ම මාර්ගය වන්නේ එරත්න කුරුවිට මාර්ගය. එහි තැනිතලා භූමි ප්‍රමාණය විශාලයි. ස්වභාව සෞන්දර්යයෙන් අනූනයි. සිරිපා කරුණා කරන්නන් අතරේ මේ මාර්ගයත් ජනප්‍රිය යි.

අතීත රජ දරුවන් විසින් සිරිපා මළුව වෙත ගමන් කරන්නට භාවිත කළ මාර්ගයට සමීප ව සහ සමාන්තර ව වැටී ඇති මාර්ගය අද හඳුන්වන්නේ ‘රජ මාවත’ කියල යි. පළාබද්දල (පළාබත්ගල) හරහා වැටී තිබෙන මේ රජ මාවතෙනුත් දැනුත් විශාල පිරිසක් සිරිපා මළුව වෙත රජ ගමනේ යෙදෙනවා.

මේ ජනප්‍රිය මාර්ග තුන හැරුණු කොට සිරිපා වන්දනාවට තිබෙනා අනෙක් මාර්ග හතර වන්නේ දෙහෙනකන්ද මාර්ගය හෙවත් මූක්කුවත්ත මාර්ගය, මරේවත්ත මාර්ගය හෙවත් රාජමලේ මාර්ගය, දැරණියගල මාර්ගය හෙවත් මාලිබොඩ මාර්ගය සහ ගවරවිල මස්කෙළිය මාර්ගය හෙවත් ඌව මාර්ගය යි.

සිරිපා කරුණා කළ හෙළ රජ දරුවෝ

ජාතියක ශ්‍රේෂ්ඨත්වය ලොවට විවරණය කළ වංශකථාව වන මහාවංශයේත් සිරිපා පුදබිම ගැන ලියැවී තිබෙනවා.

ගාමණී අභය රජුගේ පින්පොතේ ලියැවී තිබුණ අන්දමට එතුමාගෙන් ඇඹුල් කැඳක් පිළිගත් මලියදේව නම් මහාස්ථවිරයන් වහන්සේ සමන්ගිරි පව්වේ නවසියයක් ස්වාමීන් වහන්සේලාට පිළිගන්වා එය වැළඳූ බව සඳහන්.

පොළොන්නරුව රාජධානියේ රජ කළ පළමුවන විජයබාහු රජු හෙළ බොදුනුවන්ගේ චිරපැවැත්ම පිණිස කුදුමහත් මෙහෙවරක් ඉටු කරලන අතරේ ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කරන සැදැහැතියන්ගේ සුවපහසුව පිණිස බොහෝ කටයුතු යෙදූ බව චූලවංශයේ සඳහන් වනවා. පොළොන්නරු රාජධානියේ ම රාජ්‍යය කරවූ පළමුවන පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල යන රජවරුන් ද සිරිපා වන්දනාවේ යෙදී තිබේ. දඹදෙණි යුගය සශ්‍රීකවත් කළ දෙවැනි පරාක්‍රමබාහු රජු සිව්රඟ සෙන් පිරිවරා සිරිපා කරුණා කළ බව පූජාවලියේ දැක්වෙනවා. ඒ රජුගේ අමාත්‍යවරයෙකු වූ දේවප්‍රතිරාජයන් හට පැවරුනු රාජ නියෝග අනුව සිරිපා වන්දනාවට රජ මාවතත්, ශාසනික අභිවෘද්ධිය උදෙසා දේවප්‍රතිරාජ නමින් පිරිවෙන් හතරකුත් ඉදි කළ බව ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දෙනවා. ‘සමන්තකූට වර්ණනාව’ ලියැවුණේ ද පළාබත්ගල පිහිටි දේවප්‍රතිරාජ පිරිවෙනේ දී.

කුරුණෑගල රාජධානිය සමයේ හතරවන පරාක්‍රමබාහු රජුත්, ගම්පොළ රාජධානිය සමයේ හතරවන බුවනෙකබාහු රජුත්, සෙංකඩගල රාජධානියේ රජකම් කළ වීර පරාක්‍රම රජුත්, මහනුවර යුගයේ දී පළමුවන විමලධර්මසූරිය රජුත්, දෙවන විමලධර්මසූරිය රජුත්, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුත් සිරිපා පුද පිණිස ගොස් තිබෙනවා.

ශ්‍රී පාදස්ථානයේ අයිතිය ශිව භක්තික ආඬිනට පවරනු ලැබුවේ ශිව ආගම වැළඳගත් සීතාවක රාජසිංහ රජු විසින්. ශිව භක්තිකයන්ගේ ග්‍රහණයෙන් ශ්‍රී පාදය නිදහස් කර ගනු ලැබුවේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවසේ, වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ද උපකාර ඇතිව යි…

සුරඟනගෙන් පාර අසාගෙන සිරිපා මළුවට…

අප ජීවත් වන මේ කාලවකවානුව බුද්ධ ශාසනයේ බැබළීමක් දකින්නට පුළුවන් කාලයක්. ස්වර්ණමාලී මහා සෑය, මහියංගණ මහ සෑය, සෝමාවතිය මහා සෑය, සේරුවිල මංගල මහා සෑය ආදි සෑරජාණන් වහන්සේලා සුfදා් සුදු පැහැයෙන් විරාජමාන ව නැගී සිටිනවා අපට දකින්නට පුළුවනි. එහෙත් මීට සියවසකට පෙර මේ කිසිදු සෑයක් මේ සශ්‍රීකත්වයෙන් දැකගන්නට හැකි වුණේ නැහැ. බොදු පුද බිම් කාලයේ පහර කෑමෙන් පිරිහී ගිය, වන වැදුනු, මිනිස් ඇසේ රැකබලා ගැනීමෙන් තොර වුණු කාල සීමාවන් කොතෙකුත් තිබුණා. සදහම් යළි ඇසෙන විට, දහමට දිවි පිදූ සංඝ පීතෘවරුන්, උපාසක පිරිස් බිහි වන විට ඒ බොදු පුදබිම් යළි කලඑළි වූවා. සිරිපා මස්තකයටත් මේ කරුණ පොදු වූවක්…

පොළොන්නරු යුගයේ රජකම් කළ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුගේ සමයේ දී සිරිපා කමල යළි මිනිස් වන්දනාමානයට විවෘත වුණේ දෙවිවරුන්ගේ මඟ පෙන්වීමෙන් බව කියැවෙන ජනප්‍රවාදයක් තිබෙනවා. ඒ ජනප්‍රවාදයට අනුව කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුගේ පරිහරණය පිණිස සමන් මල් වවන ලද මල් වත්තක් පවත්වාගෙන ගොස් තිබෙන්නේ රජමාවතේ පිහිටි ගිලීමලේ ප්‍රදේශයට සමීපව යි. මේ මල් වත්තේ පිපෙන සුවඳැති සමන් මල් කිසියම් පිරිසක් විසින් නිරන්තරයෙන් සොරකම් කරනු ලැබුවේලු. ඒ සොරුන් කවුරුන්දැයි සොයා ගන්නට උයනේ නැවතී සිටි මුරකරුවා අත් පා අහිමි අයෙක්. ඔහු විසින් මිහිරට සතිපට්ඨාන සූත්‍රය සජ්ඣායනා කරමින් මල්වත්ත මුර කිරීමේ යෙදී සිටියා. ඒ මිහිරි සජ්ඣායනය අසා සතුටට පත් ‘මල් සොරුන්’ ඔහුගේ සමීපයට ම පැමිණි නිසා ඔහු ඒ සොරුන්ගෙන් අයෙකු ග්‍රහණයට ගත්තා.

මේ සොරු අන් කවුරුන්වත් නො ව සිරිපා වන්දනාව පිණිස යන දිව්‍යාංගනාවන් බව දැනගන්නට ලැබී තිබෙන්නේ එහිදී යි. ඒ දිව්‍ය පිරිස මේ අත්පා අහිමි මුරකරුවා ව දිව්‍යානුභාවයෙන් සිරිපා මස්තකයට ගෙන ගොස් වන්දනා කරවා නැවත ඇරලුවා. ඔහුගෙන් ලද තොරතුරු අනුව සිරිපා මළුව සොයා රජු නික්ම ගිය ගමනේ දී දිව්‍ය පිරිස මාවත මල්වලින් සලකුණු කළ බවයි කියැවෙන්නේ…

කරුණාවයි! කරුණාවයි! සමන් දෙවිඳු කරුණාවයි!

ලෝකයේ අන් කිසිදු ගමනක දී භාවිත නොවන අපූරු ව්‍යවහාරයක් සිරිපා ගමන හා සබැඳෙනවා. සමනල ගිරි හිස තරණය කිරීමට කියන්නේ ‘කරුණා කරනවා’ කියලයි. මේ ගමනට පළමු වරට එක්වන පිරිස ‘කෝඩුකාරයන්’ කියා හඳුන්වනවා. ඒ, දරුවන් නම් ඔවුන්ට කියන්නේ ‘කිරිකෝඩු’ කියලයි. පළමුවරට කරුණා කරන වැඩිහිටියන් ‘දඬුකෝඩු’ ලෙසින් හඳුන්වනවා. කොයි තරම් බර වුණත් මේ ගමනට ගෙන යන ගමන් මල්ල හඳුන්වන්නේ ‘සැහැල්ලුව’ කියලයි.

සිරිපා කරුණා කරනකොට සිරිපා මළුවට යොමුවන ප්‍රධාන මාර්ග තුනේ ම සීත ගඟුල සහ ගෙත්තම්පාන මුණගැසෙනවා. සීත ගඟුලෙදි නාලා කියලා සුදු ඇඳුම් හැඳ පැලඳගෙන සූදානම් වීම හඳුන්වන්නේ ‘පිරුවට හැඳ පේවීම’ කියලයි.
ගෙත්තම්පානෙදි සුගත තථාගත මුනිරජාණන් වහන්සේ චීවර ධාතුව මසා පිළියම් යෙදූ බවක් ජනප්‍රවාදයේ කියැවෙනවා. ඒ නිසා මෙතැන දී ඉදිකටුවකට ඇමිණූ නූලක් ඇදගෙන යාම අදටත් සිදු කෙරෙනවා.

සිරිපා කරුණා කරනකොට මුණගැසෙන අමාරු ම කොටසක් තමයි මහගිරිදඹේ කියන්නේ. දළ බෑවුමක්. ඒත් ඉතින් ‘අපේ බුදුන් අපි වඳින්ට – පෙරලි පෙරලි අපි වඳින්ට’ කිය කියා බොහොම උද්‍යෝගයෙන්, ‘සමන් දෙවියො පිහිට වෙන්ට’ කිය කියා සමන් දෙවිඳුගේ උපකාර ප්‍රාර්ථනා කරමින්, නුදුරින් පේන සිරිපා මළුවට දෑස් දිගු කරමින්, ඝණ්ටාර නාදයෙන් සවන් පිනවා ගනිමින් සිදුකරන මේ ගිරි තරණය ගමනේ ආස්වාදජනක ම සිහිවටනයක් බවට පත් වනවා. පුලුන් රොදක් සේ සැහැල්ලුවෙන් ශ්‍රද්ධාවන්තයන් ව සිරිපා මළුවට ගෙන යන්න ඇප වුණ සුමන සමන් දෙවිඳු සැබෑවට ම මේ දුෂ්කර ගිරි තරණයේ දී රැකවරණ සලසනවා විය යුතුයි…

මුනි සිරිපා සිඹිමින්නේ…!

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා වැනි ලෝක බලවතුන්, ඉබන් බතූතා වැනි දේශ සංචාරකයන් අත්නොහැරි සිද්ධස්ථානයක් වන ශ්‍රී පාදය මේ වන විට දෙස් විදෙස් බෞද්ධ, අබෞද්ධ අධික ජනකායකගේ වැඳුම් පිදුම්වලට පාත්‍ර වනවා. තම තමන්ගේ ඇදහීම් අනුව ශ්‍රී පාදය තමන්ගේ ආගමික ඉතිහාසයට යා කොට ඔවුන් විවිධ පුවත් නිර්මාණය කොට තිබෙනවා. නමුත් ඔවුන්ගේ ඇදහීම් ලෝකයට පැමිණීමටත් සියවස් දහයකට පමණ පෙර පටන් සමනල ගිරි හිස සලකුණු වී දෙව් මිනිසුන්ගේ බුහුමනට පාත්‍ර වූ මේ සිරිපා කමල මහා භද්‍ර කල්පයේ සතරවනුව ලොව පහළ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ ම බව කියන්නට හෙළයේ වංශකථාවත්, දැනට සොයාගෙන තිබෙන ගණනින් දහයක් වූ සෙල්ලිපිත්, ජනප්‍රවාදත් සාක්ෂි දරනවා.

සිරිපා කරුණා කරන වාරයේ දී සුදු පාට සමනල් රෑන් විශාල වශයෙන් රටේ නොයෙක් දෙසින් ශ්‍රී පාදය දෙසට ගමන් කරන අපූර්ව දර්ශනට අදටත් දැකගන්නට පුළුවනි. ‘සමන් ගිර’ නම් වූ මේ කඳු සිරසට ‘සමනල’ යන නම යෙදෙන්නට මෙයත් හේතුවක් වන්නට ඇති. සමනල අඩවිය දෙසට පියඹා යන මේ සුදු සමනලුන්ගේ ඉරණම කුමක් ද යන්න අප දන්නේ නැහැ. තිරිසන් අපායේ උපතක් ලද ඔවුන්ට මේ ගිරි හිස වෙත සමීප වූවා කියා ඇති විශේෂත්වයක් ද නැහැ. නමුත්… සම්බුද්ධ රාජ්‍යයක පුරවැසියන් වෙමින් ඒ සම්බුදුරජුන් සරණ ගිය ශ්‍රාවකයන්ට මේ ගමන සුවිශේෂයි.

සම්බුදුරජුන් පිරිවරාගෙන මහරහත් මුනිවරුන් වැඩම කළ පින්බර මාවතේ ඉදිරියට තබන පියවරක් පාසා පැහැදුනු සිතක් විසින් පින් අස්වනු නෙළා ගන්නවා. මේ ගිරි හිස තරණය දුෂ්කරයි. සංසාර ගමන ඊට වඩා බොහෝ දුෂ්කරයි. සතර අපායේ වැටෙමින්, බොහෝ දුක් විඳිමින්, කෙලෙස් බර ඔසවාගෙන සසර සරා පැමිණි අපට ඒ බර විසි කොට දමලා සංසාර ගිරි දුර්ගය තරණය කරලා සැහැල්ලුවෙන් පිරිනිවනට වඩින මාවත තමයි සම්බුදුරජාණන් වහන්සේ විවර කර දුන්නේ. ඒ මුනිරජුන්ගේ පා සටහන් සිපගත් බිම මතින්, ඒ සිරිපා කමල මත නළල තබා වන්දනා කරන්නට යන අතරේ ශ්‍රද්ධාව ම පෙරටු කරගෙන සතර අපායේ fදාරටු සදහට ම වසා දමන පිනැත්තෙක් වෙන්න අපට හැකි වුණොත්…! මේ සුපින්බර සිරිපා සමයේ ඒ සිරිපා කමල මනා වූ පරිද්දෙන් ම පුද දෙන බුද්ධ ශ්‍රාවකයා බවට අප පත් වනවා.

ඉතින් එන්න… සුමන සමන් දෙවි කරුණාවෙන් මේ සිරිපා වාරයේ අපිත් සිරිපා කරුණා කරමු…!

අපගේ ශාස්තෘ වූ සුගත තථාගත ගෞතම මුනීන්ද්‍රයාණන් වහන්ස, දිගු කළ මැනැව ඔය රන්වන් සිරිපා කමල… අපත් කැමතියි ඒ සිරිපා සිරසින් වන්දනා කරන්නට…!

සටහන – උදුලා පද්මාවතී