highlights of the week
Home » කතුවැකිය » ඇසුරට අයෙක් නැති නම්…

ඇසුරට අයෙක් නැති නම්…

‘ඇසුර’ යන්න අර්ථ දැක්වෙන ආකාරයන් ගණනාවක් ලෝකයේ වේ. කථා බහෙන්, දර්ශනයෙන්, භාණ්ඩ හා අදහස් හුවමාරුවෙන් ආදි වශයෙන් ඒ ඒ ඇසුරු කිරීම් සමාජයේ දක්නට හැකි ය. ඒ ඇසුර ඍජුව ම යා වන්නේ සුජීවත් ව සිටින පිරිස් කෙරෙහි ය.

ඇසුරක් පවත්වා ගැනීමෙහි දී මූලික ව ම සලකා බැලිය යුතු කරුණ වන්නේ එකී ඇසුර අපගේ යහපත පිණිස පවතී ද යන්න යි. යම් ඇසුරක් අපට යහපත, හිතසුව පිණිස පවතී නම් එම ඇසුර නිසා ම අප තුළ ගුණදහම්හි දියුණුවක්, අභිවෘද්ධියක්, විපුල බවට පත් වීමක් ඇති විය යුතු ය. යම් ඇසුරකින් එවැනි යහපතක් අපට ලැබේ නම් නිසැකයෙන් ම අපට ඇසුරු කරන්නට ලාභය ලැබී තිබෙන්නේ සීලයෙන් ද ගුණයෙන් ද ප්‍රඥාවෙන් ද අපට වඩා උසස් අයෙකි. එහෙත් අද සමාජයේ අප නිතර දෙවේලේ ගැවසෙන ස්ථානවල එවැනි උතුම් සත්පුරුෂයන් මුණගැසෙන්නේ නැත.

රැකියා ස්ථානයේ, කඩපිළේ, මගතොටේ, රථවාහනවල පමණක් නොව පුද්ගලික ජීවිතයේ බොහෝ කාරණාවල දී අපට මුණැසෙන්නේ වේගයෙන් තරගකාරීත්වය හඹා යන පිරිස් නො වේ ද? ඔවුනට ද නිවීමක්, සන්සිඳීමක් නැති කල්හි ඔවුන් කෙසේ නම් අප ව නිවා සන්සිඳවන්න ද? එනිසා ම අපට සිදුවන්නේ ඔවුන් සමඟ ම හැල්මේ දිවයන්නට ය. නො එසේ නම් ඔවුන්ගේ සමාගමයෙන් ඉවත් වී තනි වන්නට ය. සැබෑ දියුණුව අභිවෘද්ධිය කැමැත්තේ නම් එවන් සමාගමයන්ගෙන් ඉවත් වීමේ දොසක් නුවණැතියන් දකින්නේ නැත.

“නෝ චේ ලභේථ නිපකං සහායං
සද්ධිං චරං සාධුවිහාරි ධීරං
රාජා’ව රට්ඨං විජිතං පහාය
ඒකෝ චරේ මාතංගරඤ්ඤේ’ව නාගෝ”

“යම් හෙයකින් තැනට සුදුසු ප්‍රඥා ඇති, යහපත් හැසිරීම් ඇති, තමා සමඟ වාසය කරන්ට සුදුසු බුද්ධිමත් මිත්‍රයෙක් ව මුණගැහෙන්නෙ නැත්නම්, ජයගත්තු රට අත්හැරලා යන රජෙක් වගේ, රැලෙන් වෙන් වෙලා වනයේ තනියම ජීවත් වෙන මාතංග හස්තිරාජයා වගේ තනියමයි ඉන්ට ඕනේ.”

(ධම්මපදය – නාග වර්ගය)

අපට හිමි, ජීවිතය සැපවත් කරවීම පිණිස අපමණ වෙහෙස දරා බොහෝ කැප කිරීම් සිදු කළ යුතු වටපිටාවකි. එවැන්නක් වෙනුවෙන් අප අප ව කුසල ධර්මයන්හි විපුල බවට පත් නො කරවන පිරිසක් අත් හැරීමට පසුබට විය යුතු ද?
භාග්‍යවතුන් වහන්සේ ව ඇසුරු කිරීම ගැන ද අපි ධර්මය තුළ අසා ඇත්තෙමු. ඇසුර සෑමවිට ම යාවත්කාලීන වන්නේ සුජීවත් ව සිටින්නවුන් සමඟ ය යන යථෝක්ත නිර්වචනය පිළිගන්නේ නම් අපට මෙකල භාග්‍යවතුන් වහන්සේගේ ඇසුරක් ලැබිය නො හැකි ය. ඇසුර යනු ‘යම් කෙනෙකු විසින් පවසන දෙය අනුගමනයට යොමු වීම’ යන්න නිර්වචනය ලෙස පිළිගතහොත් අපට මෙකරුණ පැහැදිලි කර ගත හැකි ය. එකී නිර්වචනය ම සිත්හි දරා ගැනීමෙන් අපට බොහෝ පිරිස් මධ්‍යයේ වුව ද හුදෙකලා සිතින් යුතු ව සිටිමින් ඇසුරු කිරීමට ඒකාන්තයෙන් ම සුදුසු වූ උතුමන් සොයා ගත හැකි ය.

අප තුළ උපන් අකුසලයන් ප්‍රහාණය කරලන්නට ද නූපන් අකුසලයන් නූපදවන්නට ද උපන් කුසලයන් වැඩි දියුණු කරන්නට ද නූපන් කුසලයන් උපදවන්නට ද මහෝපකාරී වන්නේ ඒ ශාස්තෘන් වහන්සේගේ ද ශ්‍රී සද්ධර්මයේ ද ආර්ය මහා සංඝරත්නයේ ද උතුම් ඇසුර ම ය. ඒ තෙරුවනේ අවවාද අනුශාසනයන්ගේ පිහිටිය හැකි නම් අප කිසි කලෙක ඒ ඇසුරින් ඈත් වන්නේ නැත. අප ව දුකින් මිදවීමට සමත් ඒ ඇසුර අපෙන් කිසි කලෙක නොගිලිහේ නම් එයට වඩා ලැබීමක් තවත් නැත.

– මහාමේඝ –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ඡන්දයෙන් දිනමු…!

"දේශපාලනික ඡන්දය අප අගතිය කරා ගෙන යද්දී කුසලය කෙරෙහි වන ඡන්දය අප ව සුගතිය සහ නිවන කරා යොමු කරවයි. ශබ්ද රසයෙන් එකක් වූව ද මෙය පරතරය මෙතෙකැයි කිව නො හැකි අර්ථ රසයක් ඇති ව්‍යවහාරයන් දෙකකි."