highlights of the week
Home » කතුවැකිය » රැස් කරනව ද? අත්හරිනව ද?

රැස් කරනව ද? අත්හරිනව ද?

සිහින සටහනක කාල සටහනක් දකින්නවුන් ලෙස ලොව සියලු සත්වයන් අතර මනුෂ්‍ය වර්ගයාට හිමි තැන අසම වූවකි. දින වකවානු ගනිමින්, කාලානුරූප ව කටයුතු කරමින් ස්වකීය අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම පිණිස මිනිසුන් තරම් වෙර දරන වෙනත් සත්ව කොට්ඨාසයක් ලොව නැත. එහෙයින් ම; එක් ව්‍යවහාරික වර්ෂයක් අවසන් ව තවත් ව්‍යවහාරික වර්ෂයක් උදා වන්නේ ය කියා විශේෂයක් දකින මිනිසුන් මේ අවස්ථාව තම ජීවිත තුළ යම් යම් ඉලක්ක ජයගැනීම පිණිස වූ සන්ධිස්ථානයක් ලෙසින් ගෙන කටයුතු කරති.

එවැනි සන්ධිස්ථාන බොහෝ ගණනක් අප ගෙවා දැමූ ජීවිත කාලය තුළ තිබිණි. දින වකවානු වශයෙන් සනිටුහන් කර ගනිමින් අලුත් වන්නට, වෙනස් වන්නට, සාර්ථකත්වය කරා නව මංපෙතක් විවර කර ගන්නට අප අදිටන් කර ගන්නා තවත් එවන් අවස්ථා වේගයෙන් අප කරා ඇදී එයි. 2017 ගෙවී 2018 වර්ෂාරම්භය පැමිණ තිබේ. දින වශයෙන් 365 වරක් හිරු නැගී බැස ගොස් තිබෙන්නේ ඉතා වේගයෙන් නො වේ ද? සෑම දවසකටම ම විසි හතර පැයක් අන්තර්ගත වන නිසාවෙන් කාලය වේගයෙන් යනවා කියා හෝ හෙමින් යනවා කියා හෝ අපට සිතෙන්නේ නැත. එහෙත්… සූර්යයා අප මෙන් විඩාපත් ව, විවේකය සොයමින් නැවති නැවතී ගමන් කරන්නේ නැත. අඛණ්ඩව ම සිදු වන ඒ ගමන හමුවේ කිසි නැවතීමකින් තොරව කාලය සූර්යයා ගමනේ යෙදෙන වේගයෙන් ම ගත වී යයි.

මේ වේගයෙන් ගෙවී යන්නේ කාලය පමණක් ම නො වේ; මේ ගෙවී යන්නේ මිනිස් ලොව අපගේ ආයුෂය යි. ජරාව, මරණය වේගයෙන් අප ව යට කර දමනවා මිස අප ඒවායින් ඈතට වන්නේ නැත. කවරක් වුව ද කරන්නට ඇති කාලය ක්‍රමයෙන් අපට අහිමිව යයි. කවර අදිටනකින්වත්, කවර වෙනසකින්වත් ඒ අහිමි වීම නවතාලන්නට නො හැකි ය.

අහිමි වී යන කාල පරාසයක් ඇතිව හිඳිමින් අප ඉලක්ක ලෙස තබාගෙන සොයන්නේ ද අහිමි වී යන දේවල් ම නො වේ ද? අපට වුවමනා – අප මහත් කැමැත්තෙන් රැස් කරන යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, වස්තු සම්භාරයන්, ලේ ඤාතීන් ආදී සියල්ල ද අහිමි වන දේවල් ය. එනිසා, එසේ අප ක්‍රමයෙන් රැස් කර ගන්නා සියල්ල ක්‍රමයෙන් ජීවිතයෙන් අස් කෙරෙයි. එක්කෝ අප සිටිය දී ඒවා නැති ව යයි, නොඑසේනම් ඒවා ඉතිරිව තිබිය දී අපට යන්නට සිදු වෙයි. එයින් කවරක වුව ද ප්‍රතිඵලය අප ආශාවෙන් රැස් කළ දෙය අපට අහිමි වීම ම ය. කාම ලෝකයේ උපත ලබා සිටින අප අත්පත් කර ගැනීමට උනන්දු වන සියලු කාමයන් අයිති දුකට ය. එනිසා, පතන්නේ හෝ සොයන්නේ හෝ මේ ජීවිතයේ මෙතෙක් නොලද කාම සම්පත්තියක් වූවා කියා ඒ සමඟ දුක උරුම නො වී තිබෙන්නේ නැත.

මොහොතින් මොහොත ගෙවී යන ආයුෂය ඇතිව මරණය කරා එක එල්ලේ ගමන් කරමින් සිටින අප කළ යුත්තේ සැලසුම් සහගත ව දුක රැස් කිරීම ද? උපායශීලී ව දුකෙන් නිදහස් වීම ද? දුකට අකැමැති නම් අප කළ යුත්තේ රැස් කිරීම නොව අත්හැරීම ය.

“කාලය වේගයෙන් ගෙවිලා යනවා. රැය පහන් වෙන්නේ ජීවිතය ගෙවාගෙනයි. ජීවත් වෙන්න තියෙන කාලය ටිකෙන් ටික අහිමි වෙනවා. මරණය අබියස තියෙන මේ බිය දකින කෙනා, ඒ අමා නිවන් සුව ලබන්න කැමැත්තෙන් ලෝකාමිසය අත්හරින්න ඕන…”

(අච්චෙන්ති සූත්‍රය – සං. නි. 1)

2018 ව්‍යවහාරික වර්ෂයේ පළමු දිනය ම පුන්සඳ නැගි පුන් පොහෝ දිනයක් වීම, මේ ශාස්තෘ අවවාදය සිත්හි දරාගන්නවුන්ට කොතරම් භාග්‍යයක් ද…!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

නැව පැමිණ තිබේ…

"කල්ප සියයක් පුරා අප වෙත එළඹියේ මෙවන් නෞකාවෝ සතක් පමණකි. මේ පරම දුර්ලභ ලාභය ජීවිත තුළට පමුණුවාගෙන වහා වහා එතෙරට නොගියහොත් එකී ප්‍රමාදය විසින් අප ව ඇද දමන්නේ සතර අපා දුකින් නිදහස් නො වූ, ඒ වෙත ම නැඹුරු වූ සසර ගමනට ය."