ආදරණීය අම්මේ, තාත්තේ, ඔබ මේ ගැන දැනුවත් ද?
ඔබ ඔබේ දරුවා ගැන අවධානයෙන් සිටිනවා ද?

වත්මන් සමාජය දෙස මැනවින් අවධානය යොමු කොට බලන කෙනෙකුට සිදුවෙමින් පවතින පරිහානිය ගැන හොඳ වැටහීමක් ලබා ගත හැකි ය. මීට අවු 10කට පෙර තිබූ සමාජය අද වෙනස් වී ගොසින් ය. තවත් අවුරුදු 10ක් ගෙවී ගිය පසු සමාජය තවත් අගාධයට ඇද වැටී ඇති අයුරු දැක ගත හැකි වේවි. වේගයෙන් පිරිහී යන සමාජ රටාවේ ගොදුරු බවට පත් වන්නේ මේ කිසිවක් ගැන කිසිම අවබෝධයක් නැති, අනාගතය බාර ගන්න සිටිනා දරුවන් ය. ඔවුන් ද වැඩිහිටියන් වූ පසු තවත් මේ තත්ත්වය බැරෑරුම් තත්ත්වයකට ඇද දමනවා මිස යහමගකට රැගෙන නොයාවි.

අප ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ලෝකයට ඇති මේ අනතුර ගැන පෙන්වා වදාළ සේක. චක්කවත්ති සීහනාද සූත්‍රයේ පරිදි මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට අවම වන තුරු මිනිසුන්ගේ ගුණධර්මයන්ගේ පරිහානියක් මිස වර්ධනයක් බලාපොරොත්තු විය නො හැකි වේවි. නමුත් එවන් අවස්ථාවක වුව ද ධර්මයේ හැසිරෙමින් පින් රැස් කර ගැනීමට අවැසි වාසනාව ලද අය මේ වන තුරුත් මේ මිහිමඬල තුළ නොසිටිනවා නො වේ. ඔවුන්ට තවමත් ගෞතම බුදු සසුනේ කල්‍යාණමිත්‍ර ඇසුර ලැබෙන්නේ ය. ඒ උතුම් ක්ෂණ සම්පත්තිය අනාගතයේ ලැබිය හැකි අය තව කොතෙකුත් මේ ලෝකයේ සිටිනවා ඇත්ද… ඔවුන්ට මේ ධර්මය මුණනොගැසුනහොත් මේ යන සමාජ රටාවේ ම ගොදුරු බවට පත් වී ඔවුන්ගේ ජීවිත ද පිරිහී යාවි.

අද ‘සත්‍ය කතාවක්’ විශේෂාංගයෙන් අප ඉදිරිපත් කරන්නේ මේ පිරිහුණු සමාජයේ ගොදුරක් බවට පත් වූ දැරිවියකගේ ජීවිත කතාව ගැනයි. ජීවිතය ලොකු අනතුරකට වැටෙන්න තිබියදී ඇයට අවසානයේ ධර්මය මුණගැසේ. ඇයගේ ජීවිත කතාව ම ජීවිත කතාව කර ගත් තවත් දැරිවියන් අප අතර තවත් බොහෝ සිටිති. නමුත් ඔවුන්ට මේ කතාවේ දැරිවියට පරිදි ධර්මය මුණගැසෙන්නේ නැත. ඔවුන්ට අත්වන ඉරණම කුමක් වේවි ද?

මඳක් අපි වත්මන් සමාජය දෙස බලමු. වත්මන් සමාජය තුළ අහිංසක දරු දැරියන්ගේ ජීවිත වගේ ම තරුණ තරුණියන්ගේ ජීවිත කොතරම් නම් ඛේදවාචකයන්ට ලක් වෙනවා ද? දරුවන් කුඩා කලදී ම අපචාරයට ලක් වීම, මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, සියදිවි හානි කර ගැනීම් ආදි නොයෙක් ඛේදවාචකයන් ජනමාධ්‍ය හරහා නිතර නිතර අසන්නට දකින්නට ලැබීම නිසා වත්මන් මිනිසාට එවැනි සිදුවීම් සාමාන්‍ය දේවල් බවට පත්ව තිබේ. මෙවැනි සිදුවීම්වල දිනෙන් දින වැඩි වීමක් මිස අඩු වීමක් නම් පෙනෙන තෙක් මානයක නැත.

අද පුංචි දරුවන් පවා තාක්ෂණික මෙවලම් ඔස්සේ තම ජීවිතයට එකතු කර ගන්නේ යහපත් දේවල් නම් නො වේ. සමහර විට ඒ තාක්ෂණික මෙවලම් ඔවුන් අතට පත් කරවන්නේ ඔවුන්ගේ ම දෙමව්පියන් විසින් ය. දෙමව්පියන් සිතන්නේ වත්මන් වේගයෙන් දියුණු වෙන සමාජ රටාවට අනුව තම දරුවා හැඩගස්වන්න නම් ඒ තාක්ෂණික මෙවලම් (ස්මාර්ට් ෆෝන්, ටැබ්, පරිගණක ආදිය) තම දරුවන් අතට පත් කරවිය යුතු ම කියා ය. අවසානයේ දෙමව්පියන්ට පසුතැවෙන්න සිදු වන්නේ ඒ අනුවණ ක්‍රියාකලාපය නිසා ම ය.

දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් මේ පිළිබඳ සැලකිලිමත් වීම මගින් මෙකී සමාජ පරිහානිය අවම කර ගත නොහැක්කක් නො වේ. සමහර දරුවන් නොයෙක් වැරදි ඇබ්බැහිවීම්වලට පෙළඹෙන්නේ ඔවුන් කෙරෙහි අවධානයක් වැඩිහිටි පාර්ශවයෙන් නොමැති නිසාවෙනි. එලෙස අනතුරකට වැටී නූලෙන් බේරුණ දැරිවියකගේ ජීවිත කතාවයි මේ…

ඇය නවය වසරේ ඉගෙනුම ලබන ගැහැනු දැරියකි. ඈ ගියේ අනුරාධපුර ප්‍රදේශයේ පාසලකට ය. අධ්‍යාපනය ලබන අතර පාසලේ ඇතැම් ළමුන් විවිධ අතවරවලට ලක් විය. අපගේ කතානායිකාව ද ඒ අතර විය. පෙනුමෙන් ඇය රූමත් යුවතියකි. දිනක් ඇගේ පාසලේ උසස් පෙළ පන්තියේ අක්කා කෙනෙක් බෙහෙත් පෙත්තක් දී ඇයට කියා සිටියේ “මේක බොහොම වටිනා බෙහෙතක්. මේක බිව්වොත් තවත් ලස්සන වෙනවා, ඒ වගේ ම කිසිම අතුරු ආබාධයක් නැති බවයි”. ඇගේ පන්තියේ සෙසු දැරියන් ද මෙම පෙත්ත බොන බව දැනගත් ඇය ද කිසිදු පැකිලීමකින් තොරව පාසලේදී ම මෙය ගත්තා ය. එය කටේ දමාගත් පසු දිය වෙන නිසා වතුර ද අවශ්‍ය නො වී ය. ඉන් පසු ඇයට ක්ලාන්තයක් සමඟ වමනය වන්නට වූ බැවින් පෙත්ත ලබා දුන් අක්කාගේ උපදෙස් පරිදි පැනඩෝල් 3ක් බිව්වා ය. පසුව ඒ අපහසුව ද මග හැරී ගියේ ය.

පෙත්ත ගත් තැන පටන් ඇයට නිදිමත දැනෙන්නට විය. කරන කියන කිසිවක් ගැන හැඟීමක් දැනීමක් නොමැති විය. සිරුර තුවාල කර ගත්ත ද වේදනාවක් නැත. ඉන් පසු ඇයට ඒ මත්පෙති නොගෙන ඉන්නට බැරි විය. පෙති නොගත් විට දහඩිය දමා මුළු ශරීරය ම වෙව්ලන්නට විය. මේ නිසා ඇයගේ මත්පෙති වුවමනාව සපුරා ගත්තේ පාසල අසලට පැමිණි බස්රථයේ කොන්දොස්තරගෙනි. මුදල් නොමැති වුවත් එම කොන්දොස්තර ඇයට මත්පෙති සැපයුවේ ය.

පෙතිවලට අමතරව බාබුල්, මාවා වැනි මත්ද්‍රව්‍ය ද ඔවුහු ගැහැනු දරුවන්ට ලබා දුන්හ. පිරිමි ළමුන්ට හෙරොයින් පවා ලබා දී ඇත. බොහෝ විට එම බස්රථයට නංවා ගත්තේ මත්ද්‍රව්‍ය ගන්නා ළමුන් පමණි. ඊට හේතුව වූයේ ඔවුන්ගේ ජාවාරම අන් කිසිවෙක් දැනගන්නට ඉඩ ඇති බැවිනි. එමෙන්ම 6, 7 වසරේ පටන් මෙම පාසලේ බොහෝ දරුවන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බව ඇයට දක්නට ලැබී ඇත. මේ අයුරින් මත්ද්‍රව්‍ය සපයන බස් දෙකක් තිබූ අතර ඒ බස්රථ දෙක ම උදේ සවස දෙකේම අනිවාර්යයෙන් ම ධාවනය වෙමින් පැවතිණි.

අපගේ කතානායිකාව දිනක් සවසක එම පෙති බී යහළුවන් සමග නගරයේ ඇවිද රෑ බෝ වන විට ගෙදරට පැමිණියා ය. නිවසට එන්නට ප්‍රමාද වූ නිසා ඇගේ මව ඇයට බැණ පහරක් ගසා ඇත. ඇය ද පෙරළා මවට පහර දී කෝපයෙන් තියුණු තලයකින් අත කපා ගත්තා ය. ඒ අසල සිටි ඤාති සොහොයුරෙක් පැවසුවේ මේ අයුරින් අත කපා ගත හැක්කේ මත්ද්‍රව්‍ය ගත් කෙනෙක්ට විතරක් බවයි. දියණිය මත්ද්‍රව්‍ය ගන්නා බව මව දැනගත්තේ ඉන් පසුව ය.

“ඒ වෙනකොට මම ප්‍රේම සම්බන්ධයකුත් ඇති කරගෙනයි හිටියේ. මගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඒකත් හේතුවක් වුණා. මත්පෙති නැතිව මට ඉන්න බැරි වුණා. දාඩිය දානවා. වෙව්ලනවා. ඊට පස්සේ බෙහෙත් ගන්න ගියා. අපි දොස්තර ළඟට යනකොට පිස්සු හැදුණු මගේ වයසේ ගෑනු ළමයෙක් අරන් ඇවිත් හිටියා. එයා පෙන්නලා දොස්තර මහත්තයා කිවුවේ ‘මත්පෙති බීලා මෙහෙම වෙලා තියෙන්නේ. ඔයාටත් වෙන්නේ මේ ටික ම තමයි.’ කියලා. දොස්තර මහත්තයා කොහොම මොනවා කිවුවත් ඒ පෙති බොන එක නවත්තන්න මට බැරි වුණා. පෙති බීලා අම්මත් එක්ක රණ්ඩු කරපු නිසා දවස් ගාණක් මම ඉස්කෝලෙ ගියෙ නෑ.

ඒත් එක දවසක් ගෙදර රේඩියෝ එක දාලා තියෙද්දි ත්‍ඵ 105.2න් ‘සිත් අහස යට’ කියලා වැඩසටහනක් ගියා. උදේ නවයට. ඒක ඇහුවට පස්සේ මම වෙනස් වුණා. මම ස්වාමින් වහන්සේලා මුණගැහෙන්න සොයාගෙන ගියා. ස්වාමින් වහන්සේලා මට මත්ද්‍රව්‍යවල ආදීනව කියා දුන්නා. ඊට පස්සේ මම යාළුවො දුන්නත් ඒවා ගත්තෙ නෑ. ඒ නිසා ම ඒ අය මට දැන් ඒවා බොන්න කියලා කරදර කරන්නෙත් නෑ. දැන් මම ප්‍රේම සම්බන්ධෙත් අත්ඇරලා ඉන්න නිසා මගේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීලා තියෙනවා. අම්මට බණින්නෙත් නෑ. දැන් මගේ බලාපොරොත්තුව කැම්පස් යන එකයි.”

අවසානයේ ධර්මය මුණගැසුන නිසා ඇයට දැන් යහපත් අරමුණක් හමු වී තිබේ. නමුත් මෙවන් ම වූ ගොදුරු බවට පත්ව ඒ අනතුරෙන් ගොඩඒමට නොහැකිව තම ජීවිත විනාශ කර ගන්නා දැරිවියන් අප සමාජයේ තව කොතෙකුත් සිටී ද? අවසානයේ ඔවුන්ගේ ජීවිත අවසන් වන්නේ බොහෝ දුක් ගොඩක් මැද නො වේ ද?

ඉතින් මේ කතාව ඇසුරෙන් තරුණ ජීවිතවලට හොඳ පාඩමක් ඉගෙන ගත හැකි ය. අනාගතයේ තම ජීවිතය අනතුරේ වැටෙන්නට ඇති අවස්ථාවන් ගැන තමන් කලින් දැනුවත් වී සිටීම වැදගත් වේ. දෙමව්පියන් මෙන් ම ගුරුවරුන් හා වැඩිහිටි පාර්ශවය මේ දේවල් ගැන දරුවන් ව අනිවාර්යයෙන් ම දැනුවත් කළ යුතු ය. එහි ඇති ඇත්ත ස්වභාවය නොසඟවා මෙහි ඇති අනතුර අනිවාර්යයෙන් ම පෙන්වා දිය යුතු වේ. එමෙන් ම එයින් දරුවන්ට තම ජීවිත බේරාගත හැකි ආකාරය ගැන කියා දියයුතු වේ. මත්පැන්වලට ඇබ්බැහි වූ දරුවන් පිළිබඳ සොයා බලා ඔවුන්ට ඉන් නැගී සිටීමට උදව් කළ යුතු වේ. මේ විදියට අපේ දැය බාරගන්න සිටිනා දරුවන් ගැන සෙනෙහෙවන්තව ඔවුන්ට සමීපව කටයුතු කළොත් පමණක් අපට මෙකී ඛේදවාචකයන් අවම කර ගත හැකි වේවි.