මතුගම පද්මාවතී අම්මගේ සත්‍ය ජීවිත කතාව.

මහාමේඝ පුවත්පතට මගේ කතාව ලියන්නේ කාට හරි ආදර්ශයක් වේවි කියලා හිතලයි. මගේ වචන මුල, අග ගැළපීම් හරි ද දන්නෑ. ඒත් කෙටියෙන් ලියන්නම්. මම වයස 51ක අම්මා කෙනෙක්. දරුවන් දෙන්නෙක් ඉන්නවා. මම පුංචි කාලෙ ඉඳලා හරියට දුක් වින්දා. අගහිඟකම් අහස උසට. තාත්තගෙ සුරා සූදුව මේකට බලපාන්න ඇති. අඬපු වාර ගණන මම තාම දන්නෑ. එච්චරට අඬලා තියෙනවා.

​කන්දක් මුදුනේ කැළේක අපේ ගෙදර තිබුණේ. කාපු වේල් ගාණට වඩා නොකාපු වේල් ගාණ වැඩියි. පුංචි කාලෙම මැරෙන්න හිතුණා ගොඩක් වාරවලදි. ඒත් වසක් විසක්වත් හොයාගන්න බැරි වුණා. අපේ ආච්චි අපි ගැන බැලුවා. අම්මා තාත්තා රණ්ඩු වෙච්ච ගමන් ම යි. අම්මත්, කරදර වැඩි නිසා වෙන්න ඇති, හරි සැරයි. මං ඉස්කෝලෙ යන්න ආසයි. පන්තියේ පළවෙනියා. ඒත් ගෙදර ආවහම පොතක් අතට ගත්තම “මේකිගෙ පොත අතේ ම යි.” කියලා බණිනවා. ඉස්කෝලෙ උත්සව දවස්වලට ගෙදරින් කවුරුත් නෑ. මමයි, අයියයි තමයි රෑ වෙලා පාර අත ගගා ගෙදර එන්නෙ. ටෝච් නෑ. මට එතකොට 13යි. අයියට 15යි. ඒ එනකොට අම්මා නෑ. පොළට ගිහින් බස් නැතිව ටවුමෙ නැවතිලා. තාත්තා වැඩපළවල නතර වෙලා. අපි ගෙදර ඇවිල්ලා වතුර ටිකක් බීලා නිදාගන්නවා. කෑම නෑ. මට වයස 13 දී, පවුලෙ, වයස 11කින් වැඩිමල් මාමා කෙනෙකුට මාව කසාද බන්දන්න අම්මලා තීන්දු කළා. ඒ කෙනා හරි හොඳයි. එයා බොන්නැති නිසා වෙන්නැති අම්මා කැමති වුණේ. කොහොම හරි වයස 15 දි කසාදෙ කෙරුණා. මං ඉස්කෝලෙ ගවුම ඇඳගෙන පොත් ටික අරන් තමයි ඒ ගෙදර ගියේ. මං හිතුවෙ එහෙ ඉඳලා ඉස්කෝලෙ යන්න. කසාද ජීවිතේ මං දන්නෑ. අනේ මට සාමාන්‍යපෙළ ලියන්න බැරි වුණා. මට බඩට දරුවෙක් ආවා. මං දන්නෑ දරුවො ලැබෙන්නෙ කොහොමද කියලා. මම හිතුවෙ බඩ පළලා ගන්නවා කියලා. පළමු දරුවා ලැබෙන්න ඉන්නකොට මට මහත්තයා ගැන කේන්තියක් ආවා. මට වයස 16 දී ලොකු දුව ලැබුණා. වයස 18 දී පුතා ලැබුණා. දරුවො දෙන්නත් බලාගෙන හැම දෙයක් ම මං තනියෙන් කරගත්තා. දුවට වයස 1 1/2 දී මමයි, මහත්තයයි බබත් වඩාගෙන පන්සල් ගිහින් එද්දි ගේ ගිනිගෙන. ඇඳිවත එක්ක අපි තනි වුණා. ඒත් හිඟමනේ ගියේ නෑ. ලෑලි ටිකක් හොයාගෙන, ඉන්න තැනක් අපි දෙන්නා හදාගත්තා. ලී ටිකක් විකිණුවා. නිදි වරාගෙන අපි දෙන්නා එක එක කෑම වර්ග හදලා කඩවල්වලට දාලා එදා වේල හොයාගත්තා.

දරුවො දෙන්නට හොඳ නරක කියලා දුන්නා. අනේ උන් දෙන්නා හරිම කීකරුයි. අපේ දුක තේරෙනවා. මගේ ලොකුම ආසාව මේ දෙන්නට මට නොලැබුණු අධ්‍යාපනය ලබා දෙන්න. අපේ මහත්තයා ඉස්කෝලෙ ගිහින් නැහැ. ඒත් මං ඒ වගක් කාටවත් ඇඟෙව්වෙ නෑ. එයාට අපහසුවක් එනවට මං කැමති නෑ. එයත් හරියට දුක් විඳපු කෙනෙක්. මට ආදරෙයි හැබැයි. ඒත් අද මේ ලියන ලිපියෙ දී තමයි ඉස්සෙල්ලාම කියන්නෙ, අපි අතර ප්‍රශ්නයක් තිබ්බා. කාටවත් කීවෙ නෑ. ඒ තමයි බැන්ද කාලෙ ඉඳලම එයාට මාව සැකයි. නිකරුණේ සැක කරලා ප්‍රශ්න අහනකොට මට හරි දුකයි. අනිත් අය මං පෙනුමයි කියලා කියනවා. ඒක වෙන්නැති හේතුව. ඒත් අපි දෙන්නම මේ ප්‍රශ්නෙ අදටත් කාටවත් කියලා නැහැ. මං හැමදෙයක්ම ඉවසුවා. මං නිතර බෝධි පූජා තියනවා. මහත්තයයි, පුතයි ඩෙංගු හැදිලා මාරාන්තික වුණා. මං පිරිත් කියලා පිහිට ගත්තා. අපි පාරට වැටෙන තැනට අසරණ වුණත් කවදාවත් වැරදි දෙයක් කළේ නැහැ.

මං ළමයින්ට හොඳ නරක කියල දුන්නා. අපි නොකා නොබී හරි දරුවො දෙන්නට ඉගැන්නුවා. දෙන්නම ගණිත අංශයෙන් විශ්ව විද්‍යාලයට ගියා. දෙන්නම විශ්වවිද්‍යාල ආචාර්යවරු වුණා. දුව ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක උගන්නන්නේ. එහෙ නැවතිලා, බැඳල එහෙ ඉන්නෙ. දැන් අපි දෙන්නවත් එහෙට ගන්න වීසා හැදුවා. ළඟදි අපි යනවා. පුතා ලංකාවේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. මේ දවස්වල ආචාර්ය උපාධිය කරනවා. ඒ ළමයි අපිට ගෙවල් හැදුවා. වාහන ගෙනාවා. අපේ පවුලේ මැරෙන අයගේ මළගම පවා අපේ ගෙදර තමා ගන්නෙ. දානමාන දුන්නා. අසරණ අයට උදවු කළා. පුතා තමයි මට ලොකු ෆෝන් එකක් ගෙනත් දීලා ශ්‍රද්ධා එකේ බණ අහන්න කීවෙ. එදා ඉඳලා අහනවා.

අවුරුදු ගණනක පීඩනය නැති වුණා… ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් දෙනවා. අපේ ජීවිතේ අඩුව පිරුණා. අපි හතර දෙනාම බණ අහනවා. පසුතැවෙන්න දේකුත් නෑ. සාංඝික දාන දහයක් දුන්නා. එක දානයක දී බඩු ගේන්න ගියාම මුදල් බෑගය හොරු අරන්. කාටවත් කීවෙ නෑ. පුතයි දුවයි දැනුවත් කරා. නැවත මුදල් හදාගත්තා. අපි ඒක රහසක් විදිහට තියා ගත්තේ දානය දෙනකොට දානයට වඩා මිනිස්සු ඕකයි කතා කරන්නෙ. කෙළවරක් නැතිව ප්‍රශ්න අහනවා. දරුවෝ තිස් දෙනත්, මහත්තයාත් මැරිලා කියලා ආපු තුන්ඩුව ඉනේ ගහගෙන බන්දුල මල්ලිකා දන් දුන්නා කියලා අපි සිහි කළා. අදටත් පිට අය ඕක දන්නෙ නෑ. පිරිත් පින්කම් තුනක් කරා. සිද්ධ වෙච්ච දේවල් පොතක් ලියන්න තියෙනවා.

මේ විස්තර කෙටියෙන් හරි මම ලීවේ බලන්න මම ආපු ගමන. පුංචි කාලේ වසක්, විසක් කෑවා නම් අද මට මෙහෙම සැනසිල්ලක් නෑනෙ. හැමදෙයක්ම ඉවසලා අද ඒකෙ ප්‍රතිඵල තියනවා. ලොකුම දේ මට මහමෙව්නාවෙන් ධර්මය අහන්න ලැබුණා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ශිෂ්‍ය දරුවන් බිහිකරලා කොයිතරම් යහපතක් කළා ද? දහම් පොතපත ලියලා කොයිතරම් යහපතක් කළා ද? අද මං ගොඩක් සතුටු වෙන්නේ මගේ දරුවෝ මට ගෙවල් දොරවල් හදලා දුන්න එකට නෙවෙයි. බුද්ධ වචනය, ධර්ම දේශනා අහන්න සලස්වපු එකට. බලන්න මං දුක් වින්දට දරුවන්ගෙන් හරි මට සැනසිල්ල ආවා. මහත්තයත් දැන් හරි හොඳයි. අපි අතර රණ්ඩු නෑ. හරියට පින්කම් ගැන තමයි කතාව. ඔයාලගේ ජීවිතේ කරදර කම්කටොලු ඇති. ඒත් ඕවා ස්ථිරයි කියලා හිතන්න එපා. කාලය විසින් විසඳාවි. දරුවෙක්ගෙන් හරි, මුණුපුරෙක්ගෙන් හරි සැනසිල්ලක් ලැබේවි. කරදර වැඩියි කියලා මැරෙන්න එපා. මං ජීවත් වුණ නිසයි දහම ලැබුණේ. ඔයාලත් ජීවත් වෙන්න. මං හරි ආසයි රට යන්න කලින් ධර්ම දානයක් දෙන්න. මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවාගෙන පන්සලේ වැඩ සටහනක් කරන්න තමයි ඊළඟ උත්සාහය. මට ම වෙලාවකට හිතෙනවා ‘අපි කොහොම හිටිය උදවිය ද?’ කියලා. ඒත් පරණ දේවල් සිහි කරන්නේ කාටවත් සාප කරන්න නෙවෙයි. පැදුරේ ඉන්න ඕනි නිසා. පැදුරේ හිටියම වැටෙන්නේ නෑනේ. ඒකයි… දුක් කරදර විඳින අම්මලා මගේ සත්‍ය කතාව කියවලා ආදර්ශයක් ගන්න. මට ඒ ඇති.

තෙරුවන් සරණයි…!

මම,

මතුගම පද්මාවතී අම්මා