‘කලා වැව’, හැමදාක ම දසදහස් ගණනක් වූ ගොවිබිම් නිල්ල නගන සාරසොබාවට අස්වද්දන පැන්තොටක්. ගොවිබිම් තෙත් කරලන මේ වැව් දිය ඇසුරු කරගෙන දිවි ගෙවන සද්දන්ත ඇත් පරපුරකුත් සිටිනවා. ‘කලා වැවේ ඇත් පන්තිය’ නමින් ප්‍රකට මේ හස්තිරාජයන් අතරේ සොඳුරු දළ පිහිටුම නිසා ම, පරිසරයට ආදරය කරන්නවුන්ගේත් – අන් අයගේත් මහත් අවදානයට ලක් වුණු දළ ඇතුන් බොහොමයක් සිටිනවා.

කලා වැවේ ‘අග්බෝ’

කලකට පෙර මිය ගිය සියඹලන්ගමුවේ දළ ඇතා, ගල්ගමුවේ දළ පූට්ටුවා, භරණ, රේවත 2 ආදී ඇතුනුත් අයිති වුණු – දීඝජන්තු 1, දීඝජන්තු 2, කාවන්තිස්ස, රාඝු, චණ්ඩි, නීල, සුරනිමල, වීරා, ඇසල ආදී නම් ලබපු ඇතුන් පිරිවරා ගත් කලා වැවේ වන අලි සමූහය සංඛ්‍යාවෙන් 350 ඉක්මවන බව කියැවෙනවා. සති ගණනාවක් පුරා රටේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණු ‘අග්බෝ’ අයිති වෙන්නේත් මේ ලස්සන ඇත් පන්තියට ම තමයි.

කලා වැවේ ඇත් පන්තිය අතරේ ‘අග්බෝ’ ගැන කියැවෙන්නේ දරුණු ගතිගුණ තියෙන, සැරපරුෂ ඇතෙක් විදිහටයි. බඳින තුවක්කුවක් පත්තු වීමෙන් ඉදිරිපස වම් කකුලේ හැදුණු තුවාලය පැසවලා, කකුල ඉදිමිලා, ඇවිද යන්නත් අපහසු තත්ත්වයෙන් අග්බෝ ඉඳිද්දී තමයි වනජීවී නිලධාරීන් සහ පශූ වෛද්‍යවරුන් මැදිහත් වෙලා ප්‍රතිකාර කිරීම ආරම්භ කළේ. අව්වැසි මැද බොහෝ දුක්පීඩා විඳ දරා ගනිමින් මේ කණ්ඩායම අග්බෝ ව සුවපත් කරන්න බොහොම වෙහෙස වුණා.

අග්බෝ සුව කරන මෙහෙයුම

අප මේ සටහන තබන විට යම් දුරක් දුවපැන යන්නට පුළුවන් තරමට – යම් දුරකට හඹා යන්නට හැකි තරමට, හුරුපුරුදු සැරපරුෂකම් පෙන්වන්න පුළුවන් තරමට අග්බෝ සුවපත් වෙලා.

අග්බෝ ඇත්රජුට සාත්තු සප්පායම් කරන්න කණ්ඩායමක් මේ විදිහට මැදිහත් වෙද්දී තවත් පිරිසක් කොමඩු, වට්ටක්කා, මඤ්ඤොක්කා ආදිය ලොරි පිටින් අග්බෝට ආහාර විදිහට දෙන්න ගෙන ආවා. ඒ විතරක් නෙමෙයි; පීදෙමින් තිබුණු සුවඳැල් ගොයම් පවා කපා ගෙනවිත් අග්බෝට කෑමට දෙන්නට තරම් මිනිසුන් හිතානුකම්පී වුණා. (මිනිසෙකුගේ ම අතින් බැඳුනු තුවක්කුවක් නිසා විපතට පත් ඇත් රජෙකු ඉන් මුදවා ගන්නට අපමණ වෙහෙස මහන්සි වන්නේ මිනිසුන් ම යි. මෙය, උපන් තැන ගැන කාරණයක් නෙමෙයි – දරාගෙන සිටින ආකල්ප ගැන කාරණයක්…!)

අග්බෝට ප්‍රතිකාර කෙරෙමින් ගත වුණු මේ කාලසීමාව පුරා ම රටේ බොහෝ ප්‍රදේශවලින් වැව්වල මඩෙහි ගිලී ගිය, වගා ළිංවලට ඇද වැටුණු, විදුලි සැර වැදී මිය ගිය, දුම්රියේ හැපී මිය ගිය, වෙඩි පහරින් තුවාල ලද අලි ඇතුන් විශාල ප්‍රමාණයක් ගැන වාර්තා වුණා. හැබැයි, ඒ හැම සතාට ම ලැබුණේ එක ම අවධානය, එක ම සත්කාරය නෙමෙයි. සසර ගමනේ දී පින මොනතරම් උපකාරකයි ද කියා සිතන්නට නිමිත්තක් මේ කාරණයේ තිබෙනවා.

අලිඇතුන්නේ පින්කම්…!

පොළොවේ පය තබා ඇවිදින සද්දන්ත ම සිරුරුවල අයිතිකාරයෝ වුණ අලිඇත්තු බොහොම හොඳින් හීලෑ කරගනිමින් හික්මවීම දුරාතීතයේ පටන් ම සිදු කෙරුණා. දම්වැල්, හෙණ්ඩු කිසිවකින් තොරව ම වුණත් හැසිරවිය හැකි තරමට මේ සද්දන්තයෝ දමනය වෙනවා. එහෙම දැමුනු බවට පත් වුණු අලිඇත්තු ඒ දමනයෙන් ම, සංයමයෙන් ම යුතුව බුදුපුදට යන එන අයුරු දළදා පෙරහැර මුල් කොටගත් බොහෝ පෙරහැර මංගල්‍යයන් තුළ අප දැක තිබෙනවා. තිරිසන් යෝනියක ඉපදිලා වුණත් මුනිඳු නමින් ධාතු කරඬුවක් වඩමවන්න – ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ගරු බුහුමන් ලබන්න තරම් පිනක් මේ සතුන්ටත් තිබෙනවා.

හීලෑ කොටගත් සතුන් ගැන කවර කථා ද! අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාගෙන් වෙන් වී හුදෙකලාවේ ම පාරිල්‍යෙය මහා වනයේ වැඩ වාසය කළ සමයේ උන්වහන්සේට ඇපඋපස්ථාන කළේ පාරිල්‍යෙය’ නමින් ම ප්‍රකට වුණු, වන ඇතු. ගෞතම සම්බුදු සසුනේ ජ්‍යේෂ්ඨත්වයෙන් අගපැමිණි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පානා තුරු ම මන්දාකිණි විල් තෙර වැඩවාසය කළේ ඡද්දන්ත හස්තිරාජයන්ගේ ඇපඋපස්ථාන ලබමින්. පිරිනිවන් වැඩි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මුනිඳුන්ගේ ශ්‍රී දේහය උදෙසා ආදාහන පූජෝත්සවය කරවූයේ ඒ හස්තිරාජ පරපුර. මේ විදිහට ඒ තිරිසන් සතුන් කයින් යහපත් දේ සිදු කළා. යම් යම් ආකාරවලින් පිනත් රැස් කර ගත්තා.

සැප උපදවනා පින…!

පින් රැස් කරගන්නත් පින ම තමයි උපකාරක වන්නේ. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත තිරිසන්ගත සතුන් අතරේ ඉතාමත් දුර්ලභ ව තමයි මේ විදිහට පිනක් රැස් කෙරෙමින් ඒ ජීවිත ගත වෙන්නේ. පිනේ ස්වභාවය තමයි සැපවිපාක ඉපදවීම. ඉතින්, පින කියන දේ තිරිසන්ගත ජීවිතයක දී වුණත් සැපවිපාක උපදවන්නට සමත් වෙනවා. බොහෝ කටුක දුක් විපාක විඳිනා ඇතැම් මිනිසුන්ට සාපේක්ෂ ව බොහෝ සුව පහසුවෙන්, සැපසේ ජීවත් වන තිරිසන් සතුන් අපට දකින්නට ලැබෙන්නේ ඒ නිසයි. කලා වැවේ ඇත්පන්තියේ අග්බෝ අපට මතක් කරන්නේත් ඒ පාඩම ම තමයි.

කිසිදු ඇපඋපස්ථානයක් නොලැබුණා නම් අග්බෝ ගැනත් අපට කියන්නට වෙන්නේ දුක්බර කතාන්දරයක්. දිවාරැය නොබලා අග්බෝ ගැන ම වෙහෙස වෙවී, අපමණ ගැහැට උහුලමින් – ඒ අතරේ ම අග්බෝගේ නොදැමුණු සැරපරුෂකම් ද ඉවසමින් මේ තරම් ඇපකැප වූ පිරිසකගේ සාත්තු සප්පායම් ලබන්න අග්බෝ කෙරෙහි පුණ්‍ය විපාකයක් බලපා තිබෙන බව පැහැදිලියි. සසරේ දන් දුන් පින, ඇපඋපස්ථාන කළ පින පසුපසින් පැමිණෙමින් මේ ජීවිතයේ විපාක දුන් අයුරක් මේ ඇතුගේ පුවතේ තිබෙනවා. මේ සමකාලීනව ම, අලිඇත්තු ම විපතේ වැටී අසරණ ව හිඳිද්දී අග්බෝ ම ආදරණීය සලකා බැලීම් ලබන්නට හේතු වුණු කාරණය තමයි පින. මේ තරම් වෙනසක් නිර්මාණය වුණේ පින – පව අනුව…

පිනත් අනිත්‍යයි…!

පිනත් – පවත් දෙක ම විපාක උපදවා ක්ෂය වී යන ස්වභාවයෙන් යුතුයි. අග්බෝ ගැන ම සිතුවොත්…, අග්බෝට උපකාර කරන්නවුන්ට පවා අග්බෝ ආවේගශීලීයි, ඔවුන් කෙරෙහි පවා අග්බෝ තරහ සිත් උපදවනවා, ලද ඇසිල්ලක ඔවුන්ට වුණත් පහර දෙන්නට පසුබට නොවන ස්වභාවයක් තමයි අග්බෝට තිබෙන්නේ. ඇපඋපකාර ලබන්නට තිබෙන පුණ්‍ය විපාකය ගෙවී යන අතරේ අග්බෝ සැපවිපාක උපදවනා පිනක් රැස් කිරීමේ වාසනාවෙන් වඳ බැහැලා. තිරිසන් යෝනියක ඉපදුණා ම පිනක් රැස් කරන්න ලැබෙනවා කියන එක පරම දුර්ලභ දෙයක්. අග්බෝටත් ඒ කාරණය පොදුයි…

අග්බෝගේ විතරක් නෙමෙයි; අපෙත් පින සැපවිපාක උපදවලා ක්ෂය වී යනවා. ඔව්, පිනත් විපාක උපදවා අනිත්‍ය වී යනවා. පින කියන්නේ සසර ගමනේ සුවපහසුව පිණිස තියෙන මග වියදමක්. වියදම් කරන්න නම් උපයා ගන්නත් ඕන. ඒ නිසා, දිව්‍යමය වූත්, මානුෂීය වූත් සියලු සම්පත්තීන්ටත් – අමා මහ නිවන් සම්පත්තියටත් උපනිශ්‍රය වන පින් රැස් කර ගන්න අපි උත්සාහවත් වෙන්න ඕන.

පින සහ කුසලය…!

සම්මා දිට්ඨියෙන් යුතුව සිත, කය, වචනය සුචරිතයේ හසුරුවමින් කුසල් උපදවා ගන්නත් පින ම යි උපකාරක වන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිනට ගරහන්නේ නැහැ. ටික ටික වුණත් අත්නොහැර පින් රැස් කරගන්න කියලයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වදාළේ. ඒ ශාස්තෘ අවවාදයේ පිහිටමින්, නොයෙක් නොයෙක් ආකාරයන්ගෙන් පින් රැස් කරගන්න අප කැමති විය යුතු ම යි.

ආනුභාවයෙන් ඉමහත් වූ, මහේශාක්‍ය වූ පින් රැස් කරගත හැකි පුණ්‍ය තීර්ථයක් තමයි සම්බුද්ධ ශාසනය. ප්‍රතිග්‍රාහක පාර්ශවයේ ගුණානුභාවය අතිමහත් නිසා ම ඒ උතුම් තෙරුවන විෂයෙහි කරන පුදපූජාවන්ගේ පුණ්‍ය විපාකයනුත් අග්‍ර යි. ඒ අවබෝධය සිතේ දරාගෙන බුද්ධ ශාසනය තුළ ඔබත් පිනෙන් වැඩී යන්න.

නැවතත් බලන්න අග්බෝ දෙස… පින තිරිසන් අපායක දී වුණත් සැපවිපාක උපදවා දී ගෙවී යනවා. එතකොට ගෙවි ගෙවී යෑම හැර රැස් වීමක් පින කෙරෙහි බලපවත්වන්නේ නැහැ. ඒ නිසා, සම්මා දිට්ඨිය උපදවා ගන්නට ම කැමති වෙන්න. පිරිසිදු සීලයෙන් යුතු වන්න. ඒ තමයි නිවන් මගේ ආරම්භය.

නිවන් මගේ ආරම්භයට පැමිණි කෙනා අවසානයට යනවා ම යි…! පිනෙන් පිරුණු ජීවිත – කුසලයෙන් පිරිපුන් කරගනිමින් නිවන් මගේ පිහිටන්නට අපටත් වාසනාව ලැබේවා!

සටහන – උදුලා පද්මාවතී.