සාහිත්‍ය, කලා හා සෞන්දර්ය විෂයයන් අරභයා ලොව අන් කිසිදු රටක් නොලද ස්වාධීන සම්ප්‍රදායක උරුමය ලක්වැසි ජනතාව අත්පත්කොට ගත්තේ බුදු සමය නිසා ය. ව්‍යවහාර වර්ෂ පූර්ව 3 වන සියවසේ සිට පාලිය ඇසුරින් වැඩුණු සුඛනම්‍ය භාෂාවක් සිංහලයට උරුම විය. ආදි කාලයේ සිට වෙනස් වෙමින් ජන ව්‍යවහාරයේ පැවත එන ජනශ්‍රැති, ජනකවි ලැදිව උගැන්මෙන් සිංහලයෙහි හා එහි සන්දර්භයෙහි ද ඒකමිතිය පිළිබඳ ව පරිපූර්ණ වැටහීමක් හා ජන සංගීතයෙහි ප්‍රවර්ධනයට අනුබලයක් ද ලබා ගත හැකි ය.

මේ පිළිබඳ ව මාර්ටින් වික්‍රමසිංහයෝ ථේරී ගී, ගුත්තිල ගීතය, සාහිත්‍ය කලාව ආදී පොත් රාශියකින් කරුණු ඉදිරිපත් කළහ. ජනකවියාගේ පද සංකලනයට යටින් ඔහුගේ පුණ්‍ය චේතනාව ප්‍රවාහයක් සේ ගලා යන බවත්, ඔහුගේ ස්වාධීන සංස්කෘතියෙහි සලකුණු ඒ ප්‍රවාහය අතරින් වැල නොකැඩී මතුවෙන බවත් එතුමා අවසන් වරට ලියා සංස්කරණය කළ ‘ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය’ නමැති අගනා ග්‍රන්ථයෙහි ලා පැවසී ය.

ජන ගී කලාවක් අතීතයෙහි ලංකාවේ පැවති බවට හෙළටුවා තොරතුරු, සෙල්ලිපි, ලෙන්ලිපි, ලෝවාමහාපායේ ගල් කණු හිස් කැටයම්, වාමන රූප, සීගිරි ගී, යාපහුව දළදා මැදුර පැතිබැමි සෙල් ඵලක කැටයම්වල දැක්වෙන නළඟනන්ගේ රූපවලින් සනාථ වෙයි. කෙත් රකිමින් සිටි ඇල්ගෙවිලියන් ගැයූ බුදු වදන් නිශ්‍රිත ගී අසා සඟ සැටනමක් රහත් වූහ යි යනුවෙන් කියවෙන හෙළටුවා පුවත ව්‍යවහාර වර්ෂ පූර්ව 3වන සියවසට අයත් ය. එතැන් සිට සියවස් 10ක් පමණ දීර්ඝ කාලයක් තිස්සේ විකාශනය වූ අනුරාධපුර යුගයේ විශිෂ්ට ජන සාහිත්‍යය ජන ආධ්‍යාත්මය ප්‍රමුදිත කරවමින් ගලා ගියේ සුන්දර, නිර්මල දිය ඇල්ලක් පරිද්දෙනි. එවකට ප්‍රචලිත වූ ජන කාව්‍යය හා ජන ගී සම්ප්‍රදාය ගැන තොරතුරු ශේෂ ව පවත්නා ග්‍රන්ථාගත පාඨයන්ගෙන් ද සෙල්ලිපිවලින් ද හෙළිවෙයි. දීපවංශය හා මහාවංශය යන ග්‍රන්ථයන්හි භාෂාව ළං වන්නේ ‘ගේය කාව්‍ය රීතියට’ ය. දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම වූ සමයේ කිත්සිරි මෙවන් රජතුමා දළදාව අරඹයා ගී කාව්‍යයක් රචනා කොට ඇතුපිට තබා නුවර පැදකුණු කළ බව පැවසේ.

ජන කවියෙන් හා ජන ගීතයෙන් නිෂ්පන්න වූ ජන සංගීත කලාවක් අනුරාධපුර සභ්‍යත්ව සමයේ පැවති බව ලෝවාමහාප්‍රාසාද භූමියෙන් මතුකර ගන්නා ලද ගල්කණු කැටයම්වල දක්නා ලැබෙන වාද්‍ය ශිල්පීන් අත දරා සිටින භාණ්ඩවලින් පමණක් වුව ද නිගමනය කළ හැකි වෙයි. වීණාව, හරස් බටනලාව, උඩැක්කිය, බෙරය, සංඛය හා කුම්භ බෙරය එහි පැහැදිලිව දැක්ක හැකි ය. ඒ ඒ සංගීත භාණ්ඩ වාදනය කරන ශිල්පීන්ගේ විවිධ අභිනයන්ගෙන් යුතු ඉරියව් විමසන කළ මැනවින් ප්‍රගුණ කරන ලද සංගීත කලාවක් අනුරාධපුර යුගයේ පැවති බව ඉඳුරා ම කිව හැකි ය.

පූර්වෝක්ත නිගමනයන් වඩාත් සනාථ කරන ජීවමාන සාධක හමුවන්නේ සීගිරි කැටපත් පවුරෙනි. සියවස් දෙකකට අධික කාලයක් පුරා දිවයිනේ දස දිගින් අනුරාධපුර වන්දනාවේ ගිය ගැමි ජනයා ඒ යන අතර මග සීගිරි පරිසරයේ අසිරිය ද නරඹා සීගිරි ගලේ කැටපත් පවුරේ සිය අත් අකුරින් ලියූ ගීත ඔවුන්ගේ කලා රුචියේ මහිමය පළ කරන්නෙකි. අටසියයක් පමණ වෙන මේ ගීත රාශියෙන් වැඩිහරියක් ඒ මොහොතේ ම සිය අත් අකුරින් ලියන ලද්දේ ගැමි කවියන් විසින් බව ඔවුන්ගේ නම්වලින් වටහා ගත හැකි ය. “බුදල්, බොයල්, බති, කිතල, දළසිව, මෙයල්බත, නාල්, නදමල්, සිවල” ආදිය ඉන් කිහිපයකි. එවක සිටි සංගීතඥයන් විසින් ලියන ලද ගීත දහඅටක් මේ ගීත අතර ඇති බව සී. ද. ඇස්. කුලතිලක කියයි. ළය සිවල නමැති ගැමි කවියා පබැඳූ ගීය ඒ මොහොතේ ම කැටපත් පවුරේ කුරුටු ගෑවේ මහමෙත් නැමැත්තා ය.

වීණා වාදකයෙකු දැක්වෙන චිත්‍රයක් සීගිරි බෙයදෙහි සිත්තම් අතර තිබුණු බව සඳහන් වන ගීයක් සීගිරි ගී අතර ඇත. “තන රන්මලී වෙන අතිනි අති ගත් රන්වන් නොලි” යනු එම ගීය යි. වීණාව අතින් දරා සිටින එම රන්වන් ලියගේ සිත්තම අද දක්නට නැත. ඇද පැද ගායනා කළ හැකි විරිත් රැසකට අයත් ගී අතර, සීගිරි ගී රචනා කළ යුගයේ යහ ගී විරිත බෙහෙවින් ජනප්‍රියව තිබුණු බව පෙනී යයි.

නොවී වහ බැට් ලී
යෙමින් සිටිමින් ගජ් ලී
සිමින් මේ අසද් ලී
ගිරි මේ සිටියෙන් කෙඇස් වැස් ලී

ගීය ලියූ කවියාගේ මනෝභාවයන් ධ්වනිත කෙරෙන අයුරු මනහර ය.

අදීන සම්ප්‍රදායක් ඔස්සේ හැඩ ගැසුණු හෙළ කවි නළු ගී සතර සකුවට හා දෙමළට බරව හැඩගැසෙන්ට පටන් ගත් යුගයේ දී ද ජන කවියන් අප්‍රකටව සිට වුව ද සිය නිර්මාණ ඉදිරිපත් කළ බව සිතිය හැකි ය.

අනුරාධපුර යුගයේ විසූ සිංහල කලාකරුවන්ගේ ස්විධීන රීතිය හඳුනාගැනීමට සෑම කලා නිර්මාණයක් ම එක සේ ඉවහල් වෙයි. ගලේ කෙටූ සෑම රේඛාවකින් ම ධ්වනිත කෙරෙන්නේ ජන ගීයේ රිද්මය යි. එම රිද්ම රටා ඇසුරින් එදවස පැවති අපගේ ජනකාව්‍ය සම්ප්‍රදායේ මහිමය වටහා ගත හැකි ය.

කාව්‍යාදර්ශයේ කියවෙන හෙළයේ පැවති “කෙළ සුවහස් විරිත්” යෙදුම එම කවිකමේ පමණ වටහා ගැනීමට රුකුල් දෙන්නකි. “පියුම් මල” නැමැති විරිත් ලකුණු ග්‍රන්ථයක් රචනාකොට තිබීමෙන් හෙළි වන්නේ මහා කවි පෙළහරක අසිරිය යි. අනුරාධපුර යුගයේ පැවති ගී කවි සාහිත්‍යයට අයත් දහස් සංඛ්‍යාත ග්‍රන්ථ පරසතුරු ආක්‍රමණ නිසා නැසී වැනසී ගිය ද පසු කලෙක ලියවුණු “එළු සඳැස් ලකුණේ” සහ “සිදත් සඟරාවේ” දක්නට ලැබෙන නිදසුන් හා කාව්‍ය ඛණ්ඩ මගින් එදවස පැවති නිදහස් කාව්‍ය රීතිය හඳුනා ගැනීමට යම් පමණකින් හැකි වී තිබේ.

රැඳි අඳුනින් දිගු නුවනීය
සිතෙහි සසල තඹ ලවනීය
රන් පනෙල සල සවනීය
සොමි සිසිවන් සොමි වුවනීය

“දිගු නෙත් සඟල අඳුනින් සැරසුණි. රතු තොල් සසල වී සිනා නඟයි. කන් පෙතිවල රන් තෝඩු ලෙළදෙයි. සඳවන් මුවින් සොමි කැන් විහිදෙයි.”

සොඳුරු ලියක දුටු කවියෙකු සිතක නැගි මනරම් වදන් සිත්තමක් එම කවිය තුළින් නැගී මතුවෙයි. සිය ගීතවත් බස උපයෝගී කොටගෙන සිංහල කවියන් පරපුරින් පරපුරට දායාද කළේ මෙම අනගි ජන කවි උරුමය යි.

ගහකොළ සතා සීපාවුන්, වනරොද තම ජීවිතයේ ම කොටසක් ලෙස සැලකූ පැරණි ගැමි කවීහු සිය සොඳුරු කවි කල්පනාවන් කවියට, ගීයට නගා අපූරු චමත්කාරයක් මෙන් ම ජීවිත පරිඥානයක් ද ලැබූහ.

මිණි මොර බී පිරුණු පතා
අතෙක අතෙක හිඟුරු කැතා
බිබී බිබී සුරා මතා
සිසී සිටින් පුරා මැතා

‘යොන්මත්වැල’ විරිතින් පබැඳි ඇති මේ පද්‍යය විචිත්‍ර රංගනයක් ඉදිරිපත් කරන්නෙකුගේ ස්වරූපය එක්විට ම සිහිපත් කරවයි. එය වනාහි කෝට්ටේ යුගයේ රචිත ගුත්තිල කාව්‍යයේ සැණකෙළි වරුණේ එන ‘රැගත් සුරා පිරූ විතින්, සුරත් තඹරු පෙතිසේ නෙතින්’ යන කවිය හා සැසඳෙන්නේ මොනතරම් ආකාස්මික ලෙස ද? ජීවන අත්දැකීම් නිර්ව්‍යාජ ලෙසත්, ප්‍රාණවත් අයුරිනුත් ඉදිරිපත් කිරීමට යෝග්‍ය විරිත් අවස්ථානෝචිතව උපයෝගී කර ගැනීමේ කුසලතාව ආදි යුගයේ සිට ම ජන කවීන් සතුව පැවති බවට මෙම පද්‍ය කදිම නිදසුනක් වෙයි. වියතුන්ගේ සේවනයට හසු නො වූ මෙබඳු පද්‍ය අනුරාධපුර යුගයේ සිට ම දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් තිබෙන්නට ඇතැයි සිතිය හැකි ය.

ජන සංගීත සම්ප්‍රදායක් ගොඩනැංවීමේ දී අතීතයේ සිට ම කවිය, ගීතය, වාදනය අත්වැල් බැඳ වැඩුණු අයුරු පිළිබඳ ව අධ්‍යයනය කිරීම අත්‍යාවශ්‍ය වෙයි. ඒ පිළිබඳ සුපැහැදිලි, ලිඛිත සාධක, අභිලේඛනමය හා සාහිත්‍ය ඉතිහාස ග්‍රන්ථයන්ගෙන් අපට නොඅඩුව ලබා ගත හැකි ය. ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස බිහි වූ මුල් ම යුගයේ සිරසවත්ථු පුරයේ පැවති උත්සවයක් තූර්ය වාදනයෙන් හා ගායනයෙන් යුක්ත වූ බව (තුරිය සද්දං ච සුත්වා ගීතරාවං ච) කියවෙන තැන් සිට අනුරාධපුරයේ අග භාගයේ පැවතියේ යැයි සඳහන් ගිරග්ගසමජ්ජ ගී නැටුම් ප්‍රාසාංගික උලෙළ දක්වා ජන සංගීත නර්තන කලාව ලක්දිව ප්‍රචලිතව පැවති බවට සාධක පවතී.

ජනකලා ශිල්පීන් විසින් නිර්මාණය කොට රඟ දක්වන ලද කිවි නළු හෙවත් ගීත නාටක දඹදෙණි සමයෙහි පැවතියහ යි නිගමනයට එළඹෙන මාර්ටින් වික්‍රමසිහ ‘මනමේ හා සඳ කිඳුරු’ කිවිනළු එදවස රඟ දක්වන්නට ඇතැයි පවසයි. වික්‍රමසිංහයන්ගේ කියුමක් මේ ය.

“ ‘වෙස් බැඳ පානා විකාර සේ’ යන පූජාවලී පාඨයෙන් හැඳින්වෙන්නේ වෙස් නැටුම ද අන් කිසි ජන නාටකයක් ද යනු කිව නො හැකි ය. ‘රඟ මඬලක පුරමාට්ටු පාන්ට ආ කෝමාලින් සේ’ හා ‘තොපි රඟ මඩුල්ලක පුරමාට්ටු පානා කෝමාලීන් මෙන් කුණු රෙද්දකින් අමුඩයක් ගොතාගෙන’ යන සද්ධර්මරත්නාවලී පාඨ දෙකින් හෙළි වන්නේ දහතුන් වන ශතවර්ෂයෙහි නාටක හා නාට්‍ය විශේෂයන් පැවති බවයි.”

ජන කවිය හා ජන සංගීතය කෝට්ටේ යුගය වනවිට උත්කර්ෂයට නැංවී තිබුණු අයුරු සන්දේශ කාව්‍ය සාහිත්‍යය හා එවක බිහි වූ වෙනත් පොතපත විමසන විට පෙනී යයි. වීදාගම හිමියන්ගේ ‘ගුත්තිල කාව්‍යය’ ද එම උත්කර්ෂයට නැංවුණු ජන කවියේ අග්‍ර ඵලයෝ ය. ‘ලොව පිසගෙන හමන සුළඟක් වැනි කවි ශක්තියක් වෑත්තෑවේ හිමියන් සතුව පැවති බව’ වික්‍රමසිංහ කියයි.

කවිය ද ගීතයක් සේ පැරැණ්නෝ සැලකූහ. කවියේ විරිත ඔස්සේ සුවඳ හමන්නේ ය යන සංකල්පය මත වෙන ම කවි රීතියක් බිහිවීමෙන් ම ගීතයට හා කවියට එකල තිබුණු උසස් තැන වටහා ගත හැකි ය. එම ගීතවත් කවි මඟ වූ කලී වෘත්තගන්ධි ශෛලිය යි. වෘත්තගන්ධි කාව්‍ය රීතිය පිළිබඳ ව පැහැදිලි කරන සී. ද. ඇස්. කුලතිලකයන් පවසන්නේ එය ගායනය උදෙසා ම යොදාගත් ප්‍රබන්ධ විශේෂයක් බවයි.

“වෘත්තගන්ධියෙහි එන ප්‍රාස හා ජාති ලක්ෂණය රස විඳිය හැක්කේ ගැයීමෙන් මිස නිශ්ශබ්දව කියවීමෙන් නො වේ. ප්‍රථමයේ සිට වෘත්තගන්ධි ශෛලය ගැන හැඳිනීමක් සිංහලයාට තිබූ බව වෘත්තගන්ධියෙන් රචනා කරන ලද ශිලා ලේඛන හා සන්නස් පත්‍රවලින් පෙනී යයි.”

වෘත්තගන්ධි හෙවත් සුවඳ ආස්වාදනය කරන විරිතට නිදසුන් දිය හැකි සෙල්ලිපි පාඨ පොළොන්නරු යුගයේ සිට ම හමු වෙයි. මහා පරාක්‍රමබාහු රජුගේ දෙවනගල සෙල්ලිපියෙහි දැක්වෙන පාඨයක් මෙසේ ය.

“පොළොයොහොන් පරපුරෙන් – හිමිසරණ නිය රැසින්
අන් රජ මුදුන් බිසෙස් වූ සාහ – තෙදින්- හිරු පැළකොවින්
මෙහෙසුරු- දළ දැපින් උවින්දු- රජ විරිතින් සුරින්දූ
පබඳ දෙනෙත් දනිසුරු- සත් සෙතින් කිත්හිරු
පැනසිරිත් සුරගුරු- සොමි ගුණෙන් නිසයුරු….”

නිශ්ශංකමල්ල රජුගේ මිනිපේ සෙල්ලිපියෙන් ගත් උපුටනයක් මෙසේ ය.

“සිරිකතට උවිඳුවන්- විසිකතට බඹහුවන්- පළ තෙදට හිරුහු වන්- සොමි ලෙසට සිසිහුවන්- මලෙවිකුල තිලකාය- මාන මහ පින්සාර…”

කෝට්ටේ යුගයෙන් පසුව එළඹුණු විදේශික ආක්‍රමණ හා සිහල රජුන් අතර පැවති ගැටුම් හේතුවෙන් බරපතළ ශාස්ත්‍රීය පරිහානියක් ඇති වූ යුගයේදී ජන කවියන් අප්‍රකටව නොනමින් කව් ගී රචනා කොට අපගේ ජන ගී උරුමය නොසිඳ රැකගත් අයුරු වෙස්සන්තර, විදුර, පදමානවක ආදී කාව්‍යවලිනුත් පුරාණ තුන්සරණය, දෙව්දත් කතාව, යශෝදරාවත, ධාතු වන්දනා කාව්‍ය වැනි විශිෂ්ට නිර්මාණයන්ගෙනුත් පෙනී යයි. කිත් පැසසුම් අපේක්ෂාවෙන් තොරව මමායනය බැහැර කොට ඔවුන් ලියූ සියලු ම නිර්මාණයන්ගෙන් සිංහල භාෂාවේ රිද්ම රටා විභූෂණයේ මහිමය විදහා දැක්වෙයි. පිටු සිය ගණනක පරියේෂණ ග්‍රන්ථයකින් වුව කිව හැකි එම නිර්මාණයන්ගෙන් නිදසුනක් දෙකක් මෙහිලා දක්වන්නේ ජනශ්‍රැති ප්‍රවර්ධනයට ඉන් විහිදෙන එළිය මතු කරනු පිණිස ය.

කිකිලින් ලිං ගගා අතු අග පිනි වැටෙතේ
කිකිලින් ලිං ගගා වැල්වල මල් පිපෙතේ
කිකිලින් ලිං ගගා බඹරිඳු රොනට යතේ
කිකිලින් ලිං ගගා මා නළවන්න කතේ

මේ කවියේ අනුප්‍රාස පදවැලින් නැගෙන කිකිණි හඬ තරුණ සිතක පොපියමින් රඟදෙන ප්‍රේමාවනද්ධ හැඟුම් ධාරාවක් වැන්න.

ගෙලක මුතු පබළු මෙන් වැඩ කෙරුවාය
ගලෙක රේඛාව මෙන් පවතිනවාය
මලෙක රොනට බඹරිදු නද දෙනවාය
තිලක දන්ත ධාතුව සෙංකඩගලය

ධාතු වන්දනා කාව්‍යයේ දැක්වෙන මෙම කවිය අපට සිහිපත් කරවන්නේ ගුත්තිල කාව්‍යයේ දෙව්ලොව වැනුමේ එන ‘මලෙක සුවඳ සිව් සියගව් ඇසේයා. ගලෙක මෙළෙක හුන් සක් නැබ වැසේයා’ යන පද්‍ය පාදයන් ය. ජන කවි පරපුරේ නිර්මල ආධ්‍යාත්ම හැඟුම් ධාරාවන් ලක්දෙරණ රංජනය කළ ගී කවි පරපුරේ දහදිය සුවඳ පිසගෙන හමන මද පවනක් පරිද්දෙන් අප සිත් සතන් නිවා සනසාලනු දැනෙයි.

අපට ආවේණික ජන සංගීත සම්ප්‍රදායක් ගොඩ නංවා පවත්වාගෙන යාමට ඉවහල් විය හැකි අතීත උරුමයකින් අප රට පොහොසත්ව පවත්නා බව ඉහත ඉදිරිපත් කළ නිදසුන්වලින් මනාව හෙළි වෙයි. ඩබ්ලිව්. බී. මකුලොලුව, සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන්, ආචාර්ය පණ්ඩිත් අමරදේව, සී. ද. ඇස්. කුලතිලක ආදි සංගීත ප්‍රාඥයන් විසින් වරින් වර හෙළි පෙහෙළි කර දෙන ලද ඒ මහරු උරුමය අනාගත පරපුරට දායාද කර දීමේ වගකීම වර්තමාන ජනශ්‍රැති පර්යේෂකයන් සතු බව කිව යුතු ය.

සටහන – මා(ර්)ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති