දෙමාපිය – දූ දරු, ගුරු – ශිෂ්‍ය, ස්වාමි – භාර්යා සම්බන්ධයන් සේ ම ජීවිතයට තවත් බලපෑමක් කරන ක්ෂේත්‍රයක් තමයි තම ජීවනෝපාය හා බැඳුණු සේව්‍ය – සේවක සම්බන්ධය.

ජීවත් වීමට ගන්නා අරගලය තුළ ඇතැමෙක්ට අනුන් හට සේවය කිරීමට සිදු වෙනවා. තවත් අයෙක් අනුන්ගෙන් සේවාවන් ලබා ගන්නවා. මෙසේ සේවකයාටත්, සේවායෝජකයාටත් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ ජීවිතයේ බොහෝ කාල පරාසයක් තුළ එකට කටයුතු කිරීමට සිදු වෙනවා. එවන් පරිසරයක් තුළ සේවකයා පිළිබඳ ව සේවායෝජකයා තුළ ගොඩනැගෙන ආකල්පයන්, සේවායෝජකයාගේ ක්‍රියාකලාපය සේවකයාට බලපාන ආකාරයන් මත ඔවුනොවුන්ගේ ජීවනෝපායේ සතුට හෝ නීරස බව තීරණය වෙනවා. එම නිසා සෑම ක්ෂේත්‍රයකින් ම සාර්ථක වූ ජීවිතයක් උපදවා ගනු කැමති කෙනා මෙම කඩඉමත් මනා ව ජය ගත යුතු වෙනවා.

නමුත් මෙම අභියෝගය ජය ගැනීම කෙතරම් අසීරුවක් ද යන වගයි, දිනපතා අසන්නට දකින්නට ලැබෙන සේවක වර්ජන, මාරාන්තික උපවාස, උද්ඝෝෂණ ආදී අර්බුදවලින් පිළිබිඹු වන්නේ. තමන්ට සිදු වූ අසාධාරණකම් හා අහිමි වූ අයිතිවාසිකම් වෙනුවෙන් සේවක පාර්ශවය හැම විටම සටනට සූදානමින්. සේවායෝජකයන් විසින් ද බොහෝ විට සිදු කරන්නේ සේවකයන් මත ම වරද පටවමින් තම මතය තුළ ම දැඩිව සිටීම යි. ආත්මාර්ථකාමීත්වයෙහි ම බැසගෙන කටයුතු කරන ඒ සියල්ලන්ට ම අයිතිවාසිකම් ගැන මිසක් තම යුතුකම් අමතක වෙලා. එවන් පරිසරයක් තුළ කලකෝලාහල, වෛරය, තරහව ආදී අකුසලයන්ගේ වැඩිවීමක් මිසක් අර්බුදයන්හී නිමාවක් නම් දකින්නට ලැබෙන්නේ නෑ.

නිමාවක් නොමැති එම අර්බුදවලින් පැන නගින අනිසි ප්‍රතිවිපාක හේතුවෙන් සේවකයා – සේවායෝජකයා පමණක් නොවෙයි පීඩාවට පත්වෙන්නේ. ඇතැම් විට ඒ හේතුවෙන් මුළු රට ම පීඩාවට පත්වෙනවා.

සැබැවින්ම, නිමක් නොමැති මේ අර්බුදවලට විසඳුමක් ඇත්තෙම නැද්ද? නොවරදින විසඳුමක් ඇත. අර්බුදවලින් තොරව සේවකයාගේ ප්‍රසාදය හා ස්වයං කැපවීම සේවායෝජකයාටත්, සේවායෝජකයාගේ මෛත්‍රිය සේවකයාටත් නිතැතින් ම හිමි වන පැහැදිලි විසඳුමක් ය එය. අර්බුදවලින් තොරව අනෙක් පාර්ශ්වය මනාව දමනයට පත් කරවන ඒ සොඳුරු විසඳුම ඇත්තේ, තමන් උපදවා ගන්නා උතුම් ගුණ සමුදාය මතයි. විස්මිත බුදු නුවණින් අවබෝධ කළ ඒ උතුම් ගුණ සමුදාය මෙන්න.

“ගෘහපති පුත්‍රය, ස්වාමියෙකු විසින් යට දිශාව වූ දාස කම්කරුවන් හට පස් කරුණකින් උපස්ථාන කළ යුත්තාහ.

1. ඔවුන්ගේ හැකියාවන්ට ඔරොත්තු දෙන ලෙස වැඩ කටයුතු පැවරීම.

2. ආහාරපානාදිය, වැටුප් ආදිය යහපත් ලෙස ලබා දීම.

3. ඔවුන් අසනීප වූ විට විශේෂ උපකාර ලබා දීම.

4. විශේෂ රසවත් දේවල් (තමා භුක්ති විඳින විශේෂ වරප්‍රසාද) ඔවුන් සමඟ බෙදාහදා ගැනීම.

5. අවශ්‍ය අවස්ථාවන්හිදී සේවකයන්ට නිවාඩු ලබා දීම.

(සිඟාලෝවාද සූත්‍රය – දී. නි. 3)

හොඳින් කල්පනා කර බලන්න. යම් සේවකයෙක් හෝ සේවා කණ්ඩායමක් කැරලි ගසයි ද ඒ සියල්ල ම පාහේ මෙම කරුණු පහෙන් එකක් වෙනුවෙන් නො වේ ද?

ඇතැම් විට ස්වාමියා පවරන රාජකාරිය සේවකයාට ඔරොත්තු නොදෙන තරමටම අකාරුණිකයි. එසේත් නැති නම් සේවා කාලය තුළ ඔවුන්ට සපයන පහසුකම් හෝ වැටුප් ආදිය ප්‍රමාණවත් නො වෙයි. ඒ වගේ ම ඇතැම් විට සේවකයන් සම්බන්ධයෙන් මනා සෞඛ්‍ය සේවාවන් හා අවශ්‍ය ජීවිතය ලබා දීමට ස්වාමියා අසමත් වෙයි. තවත් සමහර විටෙක ව්‍යාපාරයේ සාර්ථකත්වය හා ප්‍රතිලාභ තනිව ම භුක්ති විඳින ඇතැම් ස්වාමිවරු සේවකයන් සතුටු වන අයුරින් විශේෂ වරප්‍රසාද ලබා දීමට මැලිකමක් දක්වයි. අත්‍යවශ්‍ය කරුණකදී පවා නිවාඩු ලබා ගැනීමට අපහසු වීම සේවකයා පීඩාවට පත් වන තවත් විශේෂ කරුණක්.

ඔබ සේවායෝජකයෙක් නම්, ඔබේ සේවා ස්ථානයේ දියුණුව, සමඟිය නම් ඔබේ පැතුම, ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඔබ අතින් සිදු විය යුතු මෙම යුතුකම් සමුදාය පිළිබඳව යි. එසේ නොමැතිව කුමන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් පාර්ශ්වයට චෝදනා කළත් අර්බුදයන්හි නිමාවක් නම් දකින්නට නො ලැබේවි. ආයතනයේ දියුණුවත්, ඔබේ සිතේ සැනසිල්ලත්, පිරිහීමට මිසක් අභිවෘද්ධියට පත් නො වේවි. එනිසා කීකරු, අවංක, ක්‍රියාශීලී සේවකයන් නම් ඔබේ කැමැත්ත ඒ වෙනුවෙන් ඔබේ යුතුකම මුලින් ම සිදු විය යුතු බව මතක තබා ගන්න. ඔබේ ගුණය අබියස දමනයට පත් වන ඔවුන් ඔබට විරුද්ධව කැරලි නොගසාවි. ස්වයං හික්මීමකින් හැකි උපරිමයෙන් ඔබ ව සතුටට පත් කරාවි.

ඊ ළඟට අවධානය යොමු විය යුත්තේ සේවක පාර්ශවය වෙතයි. හැම විට ම ස්වල්ප දෙයටත් අර්බුද හදමින් තම ස්වාමියාගේ දොස් ම දකිමින් සිටිනා සේවකයන් ද ඕන තරම් ඉන්නවා. ඔවුන් සියලු දෙනා ද දැනගත යුතු කරුණක් තිබෙනවා. ස්වාමියාගේ ප්‍රසාද, විශේෂ වරප්‍රසාද ආදිය ඔබට හිමි වන නිවැරදි ක්‍රමවේදය නම් එය නම් නො වෙයි. තිබූ ප්‍රසාදය පවා අහිමි වීමක් මිස අර්බුදවලින් ඔබට ලැබෙන වෙනත් දෙයක් නම් නැහැ. රැකියාවේ ප්‍රියමනාප භාවයත්, එහි අභිවෘද්ධියත් නම් ඔබේ ප්‍රාර්ථනය, ඒ වෙනුවෙන් ඔබ උපදවා ගත යුතු සේවක චරිතාපදානය යි මේ.

“ගෘහපතිය, ස්වාමියකු විසින් යට දිශාව වූ දාස කම්කරුවන්ට මේ පස් කරුණකින් උවටැන් කරන විට ඔවුන් ද සිය ස්වාමියාට පස් කරුණකින් අනුකම්පා කරයි.

1. නියමිත වෙලාවටත් කලින් ම නැඟිට වැඩ කටයුතු සඳහා සූදානම් වෙති.

2. හැමට පසුව නින්දට යන තෙක් ම වැඩෙහි යෙදී සිටිති.

3. දුන් දේ පමණක් ගනිති (සොරකම් නොකරති)

4. ඉතා හොඳින් සිය සේවා කටයුතු කරති.

5. ස්වාමියාගේ හොඳකම සිය කැමැත්තෙන් ම පතුරවති.

(සිඟාලෝවාද සූත්‍රය – දී. නි. 3)

ඔබ රැකියා ස්ථානයේදී යම් අසාධාරණයකට ලක් වූ අයෙක් නම් එම අසාධාරණයට පළමුව, සොයා බැලිය යුත්තේ මේ පිළිබඳ ව යි. ඔබ විසින් මේ කියන යුතුකම්හි පිහිටා මනාව කටයුතු කරද්දී ම ද ඔබ අසාධාරණයට ලක් වූයේ? බොහෝ විට ඔබගේ පාර්ශවයෙනුත් අඩුපාඩු සිදු වී තිබෙනවා නො වේ ද? හොඳින් ආපසු හැරී බලන්න.

ඔබ වෙලාවට කලින් තබා හැමවිට නියමිත වේලාවටවත් සේවාවට වාර්තා කළ අයෙක් ද? එසේ නැති නම් හුදෙක් ලාභය වෙනුවෙන් වේලාව පවා වංචා කරමින් අත්සන් තැබූ අවස්ථා නො තිබේ ද? ඊ ළඟට නියමිත කාල පරාසය සම්පූර්ණයෙන් ම සේවාව වෙනුවෙන් ම යෙදෙවූවා ද? එසේ නැති නම් තව වේලාව බොහෝ තිබිය දී ඔබ පිටත් වීමට සූදානම් වෙනවා ද? ඊ ළඟට ඔබ ආයතනයෙන් ලැබෙන නීත්‍යානුකූල වැටුපට අමතරව අන් කිසිවක් ලබා නො ගන්නේ ද? එහෙම නැති නම් අවස්ථාව ලද විටෙක ආයතනය සතු දේවල් අවසරයකින් තොරව ලබා ගන්නේ ද? ඒ වගේ ම මුළු සේවා කාලය ම සේවා කටයුතු වෙනුවෙන් දක්ෂ ව ඔබ කැප වුණා ද?

එහෙම නැති නම් සේවා කාලයෙන් වැඩිපුර වේලාවක් කතා බස්, සතුටු සාමීචි, විවේකයන් වෙනුවෙන් වෙන් වුණා ද? ඒ වගේ ම ඔබ ස්වාමියා ඇති තැනත්, නැති තැනත් ඔහුගේ ගුණය අගය කරන කෙනෙක් ද? එහෙම නැති නම් ස්වාමියා අබියස යටහත් පහත් ස්වභාවයන් දක්වා, නැති තැන හැම විට ම ඔහුව විවේචනය කරන අයෙක් ද?

මේ කරුණු අනුව ඔබේ අසාර්ථකත්වයේ දෝෂය ඔබ සතුව ම පැවති නුගුණ විය හැකියි නේ ද? එවන් වටපිටාවක් තුළ ඔබේ ගතිගුණ අබියස ස්වාමියාගේ ප්‍රසාදය හා විශේෂ වරප්‍රසාද කෙසේ නම් ඔබට ලැබේවි ද? ඔය අඩුපාඩු සහිත ව ම ඔබ රැකියාව වෙනස් කළත් බලාපොරොත්තු වන සතුට රැකියාවෙන් ඔබට අහිමි වේවි නේ ද? එනිසා අයිතිවාසිකම පසෙකලා ඔබ ඔබේ යුතුකම මනා ව ඉෂ්ට කරන්න. එය, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔබට පෙන්වා දුන් නිවැරදි මාර්ගය යි. ඒ තුළ ඔබට යහපතක් මිස අයහපතක් නම් නො වේ.

මේ අනුව තථාගත ශ්‍රී සද්ධර්මයේ උපකාරයෙන් නිමක් නැති සේවක – සේව්‍ය ප්‍රශ්න අර්බුදවලින් තොරව ම විසඳාගත හැකි බව තේරුම් ගන්න. මීට අමතරව ස්වාමි – සේවක උභය පාර්ශවය ම එකිනෙකා කෙරෙහි මෛත්‍රී සහගත කය, වචී, මනෝ කර්මවල පිහිටා කටයුතු කළ යුතුයි. අනෙකාගේ දුකෙහිදී හද කම්පා වීමත්, සතුටේදී එක සිතින් සතුටු වීමත්, අභිවෘද්ධිය ම කැමති වීමත් තිබිය යුතුයි. ඒ වගේ ම සාධාරණ කරුණුවලදී තම මතයේ ම දැඩිව නො සිට නම්‍යශීලී වූ සිතක් උපදවා ගැනීම ද ඔබට මහෝපකාරී වේවි. එමෙන් ම ඉවසීමත්, එකටෙක නොකිරීමත් ආදී ගුණධර්මයන් ද රැකියාවේ නීරස බව දුරු කිරීමට සමත් වේවි.

ඔබ මේ කියූ ගුණ දහම්වලින් පිරිපුන් ස්වාමියෙක් නම්, ඔබ මේ කියූ ගුණයන්ගෙන් පිරිපුන් සේවකයෙක් නම්, ඔබ දෙපාර්ශ්වය අතර කුමක් අරභයා මතවාද, සම්මත, වැඩවර්ජන උපදින්න ද? අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා උපකාරයෙන් ධර්මය මත පිහිටා කටයුතු කරන ඔබගේ රැකියා ස්ථානය ඔබට ප්‍රියමනාප තැනක් වේවි. ඔබ දෙපාර්ශ්වය ම දිනෙන් දින අභිවෘද්ධියට පත් වේවි. ගුණය පෙරටු කොට නිතර ම කටයුතු කරන ධර්මයට ලැදි ඔබ මෙලොව පමණක් නොව පරලොව ද ජය ගනීවි. තථාගත ශ්‍රී සද්ධර්මය හැම විට ම ඔබට මග පෙන්වන්නේ දෙලොව ම ජය ගන්නා ඒ සුන්දර මාර්ගය මැ යි.

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි