ආරම්භක කෙළවරක් නොදකින සසර ගමනක යනෙන සත්වයා සතර අපාය සිය වාසස්ථානය, මහගෙදර කරගෙන සිටිනා බව ය ලෝකවිදූ ගුණැති භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ.

පුද්ගලයෙකු ජීවිතයේ අධිකතර වූ කාලයක් ගත කරන්නේ සිය නිවසේ. එනම් සිය වාසස්ථානයේ. අන් තැනක රාත්‍රියක් දෙකක් ගතකරන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතින් අපට සසරේ දී සතර අපාය වාසස්ථානය වූවා නම්, එයින් ම අප ගෙවූ සසර ගමනේ දී සතර අපායේ සිටි කාලයත්, සුගතියේ සිටි කාලයත් සිතා ගන්නට පුළුවන්. එයිනුත් නිරයේ ගත කළ කාලය ම යි වැඩි.

සතර අපාය මහගෙදර යන අරුතින් ගත් කල, මහගෙදර වනාහී අපට ඉපදීමත් සමඟම උරුමය ලබනා තැනය. ලෝක ධර්මයන්ට පිටුපා ත්‍රිවිධ දුශ්චරිතයේ යෙදෙන්නෙකුට ගමේ රටේ ලෝකයේ සියලු දොරවල් වැසුනද මහ ගෙදර නම් දොර නොවැසේ. ඒ කරුණු දෙකක් නිසාවෙනි. එකක් නම් උපත සමඟ ඇති උරුමයයි. අනෙක කොතෙක් ශාපලත් අපරාධකරුවෙකු වුවද පුරුදු සෙනෙහසින්ම පිළිගන්නට මහගෙදර දෙමාපියන් නිබඳවම සූදානම්ව සිටින නිසාවෙනි.

එපරිදිමය මෙලොවදී ත්‍රිවිධ දුශ්චරිතයේ හැසිරෙන්නවුන්ට සතර අපාය උරුමය ම යි. සතර අපාය ම බැහැර නොකර පිළිගනී. අවිද්‍යාවෙන් වැසුනු තණ්හාවෙන් සසරට බැඳුණු සත්ත්වයා ස්වභාවයෙන් ම අකුසලයට බර නිසා නිබඳවම සතර අපායට යොමුව සිටී. එයට ම කර්ම රැස්කරයි.

සංවේග වත්ථු පිළිබඳව කෙරෙන උතුම් සම්බුදු දෙසුම් පෙළහරක පස්වන දිගහැරුම අපා දුක පිළිබඳවය මේ. මෙලොවදී කයින් වචනයෙන් මනසින් පව්කම් කොට මරණින් මතු නිරයෙහි උපදින අසත්පුරුෂ බාලයා හට එහිදී විඳින්නට සිදුවන අනිෂ්ට විපාක ගැන ලෝකවිදූ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක.

“ මහණෙනි, යමෙක් යම් දෙයක් අරභයා මනාකොට කියයි නම්, ‘ඒකාන්තයෙන් ම අනිෂ්ට වූ, ඒකාන්තයෙන්ම අකාන්ත වූ, ඒකාන්තයෙන් ම අමනාප වූ තැනක් තියෙනවා’ කියල කියනවා නම්, ඒ ඒකාන්ත අනිෂ්ට වූ, ඒකාන්ත අකාන්ත වූ, ඒකාන්ත අමනාප වූ තැන කියල මනාකොට කියන්නේ නිරය ගැනම යි. මහණෙනි, නිරයේ ඇති භයානක දුක් කොතරම්ද යත්, උපමාවක් පැවසීමත් ලේසි දෙයක් නොවෙයි.”

මෙසේ වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, උපමාවක් වදාරන්නට පුළුවනිද?” “පුළුවනි, භික්ෂුව” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.
“භික්ෂුව, ඒක මෙවැනි දෙයක්. දරුණු අපරාධ කරපු සොරෙක්ව අල්ලගෙන ගිහින් රජතුමාට පෙන්නනවා. ‘දේවයන් වහන්ස, මෙන්න ඉන්නවා දරුණු අපරාධ කරපු භයානක සොරා. මොහුට යම් දඬුවමක් දෙන්නට කැමැති නම් එය පණවන්න’ එතකොට රජතුමා මෙහෙම කියනවා. ‘භවත, මේ පුද්ගලයාව අරගෙන ගිහින් උදේ වරුවේ හුල් පහර සියයකින් අනින්න’ කියලා. එතකොට ඒ පුරුෂයා ව අරගෙන ගිහින් උදේ වරුවේ හුල් පහර සියයක් අනිනවා. මහ දවල් කාලයේ දී රජතුමා රාජපුරුෂයන්ට කතා කරනවා. ‘එම්බා පුරුෂය, අර හොරාට දැන් කොහොමද?’ ‘දේවයන් වහන්ස, සොරා තවම ජීවත් වෙනවා’ එතකොට රජතුමා මෙහෙම කියනවා. ‘භවත, ගිහින් ඒ පුරුෂයාට මහ දවාලටත් හුල් පහරවල් සියයකින් අනින්න. එතකොට මධ්‍යාහ්න කාලෙදිත් රාජපුරුෂයන් අර හොරාට හුල් පහරවල් සියයක් අනිනවා. රජතුමා සවස් වරුවෙදිත් මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, අර හොරාට දැන් කොහොමද?’ ‘දේවයන් වහන්ස, සොරා තවම ජීවත් වෙනවා’ එතකොට රජතුමා මෙහෙම කියනවා. ‘භවත, ගිහින් ඒ පුරුෂයාට සවසටත් හුල් පහරවල් සියයකින් අනින්න. එතකොට සවස් කාලෙදිත් රාජපුරුෂයන් අර හොරාට හුල් පහරවල් සියයක් අනිනවා.

මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? අර පුද්ගලයා හුල් පහරවල් තුන්සියයකින් ඇනුම් කද්දී ඒ හේතුවෙන් දුක් දොම්නස් විඳිනවා නේද?” “ස්වාමීනී, ඒ පුරුෂයා එක හුල් පහරකින් ඇනුම් කද්දී ඒ හේතුවෙන් දුක් දොම්නස් විඳිනවාම යි. එහෙම එකේ හුල් පහරවල් තුන්සියයකින් ඇනුම් කද්දී විඳින දුක ගැන කවර කථාද?”

එතකොට භාග්‍යවතුන් වහන්සේ අතින් මිට මොලවා ගත හැකි කුඩා ගලක් ගෙන භික්ෂූන් අමතා වදාළා. “මහණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? වඩාත් විශාල කුමක්ද? මා අතින් මිට මොලවා ගෙන සිටින මේ ගල් කැටයද? නැත්නම් හිමාල පර්වත රාජයාද?” “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් මිට මොලවා ගෙන සිටින ගල් කැබැල්ල ඉතාමත්ම කුඩයි. හිමාල පර්වත රාජයා සමඟ සසඳා බැලීමේදී ගණන් කොට කියන්නට බැහැ. කොටස් කොට කියන්නට බැහැ. කිට්ටු කරන්නටවත් බැහැ.”

“මහණෙනි, ඔන්න ඔය විදිහම යි යම් පුරුෂයෙක් හුල් පහරවල් තුන් සියයකින් පහරකද්දී ඒ හේතුවෙන් විඳින්නා වූ යම් දුකක් දොම්නසක් ඇද්ද, එය නිරයෙහි ඇති දුක සමඟ සසඳා බලන විට ගණනකට ගන්නට බැහැ. කොපමණ ප්‍රමාණයක්ද කියල කියන්නට බැහැ. කිට්ටු කරන්නටවත් බැහැ.

මහණෙනි, නිරයේ ඉපදුනු කෙනාට යමපල්ලෝ පස් ආකාරයක බන්ධනය නම් වූ දඬුවමක් දෙනවා. ඒ කියන්නේ ගිනියම් යකඩ හුලක් දකුණු අතේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි අතේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දකුණු පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් පපුවට අණිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහු ගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

මහණෙනි, එතකොට යමපල්ලෝ ඔහුව යකඩ පොළොවක බාවනවා. බාවලා කෙටේරිවලින් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහු ගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහුව කකුල් උඩු අතට හරවලා ඔලුවෙන් හිටවනවා. හිටවලා වෑයෙන් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයි ද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ගිනිගෙන දිළිසෙන රථයක ගැටගහනවා. ගැටගහලා හාත්පසින් ගිනි ඇවිලි ඇවිලී තිබෙන ගිනියම් වූ යකඩ පොළොවේ එහාට මෙහාට ඇදගෙන යනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම් වූ, ගිනි අඟුරු පර්වතයකට මොහුව නග්ගවනවා, බස්සවනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහුව කකුල් උඩුඅතට හරවලා හිස යටිඅතට හරවලා හාත්පසින් ගිනි ඇවිල ගත් ගිනියම් වූ ලෝකුඹු නිරයෙහි ඔබනවා. එතනදී ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙණ ගුළියක් බඳු වූ දේහයක් ඇතුවයි. ඉතින් ඒ පෙණ ගුලියක් බඳු දේහයකින් යුතු නිරිසතා පැහි පැහී එක වතාවකට උඩට එනවා. ආයෙමත් යටට බහිනවා. ආයෙ වතාවක් හරස් අතට කරකැවෙනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු වූ දැඩි දුකක් විඳිනවා. යම්තාක් කල් ඔහුගේ ඒ පාපකර්මය ගෙවී නොතිබෙයිද, ඒ තාක් ඔහු මරණයට පත්වන්නේ නෑ.

මහණෙනි, ඊට පස්සේ යමපල්ලෝ ඔහුව මහා නිරයට ඇදලා දානවා. මහණෙනි, ඒ මහා නිරයේ නම්,

කොන් හතරක් තියෙනවා. දොරටු හතරක් තියෙනවා. වෙන වෙනම කොටස් වශයෙන් බෙදලයි තියෙන්නේ. යකඩ ප්‍රාකාරයෙන් වටවෙලයි තියෙන්නේ. යකඩ පියනකින් වැහිලයි තියෙන්නේ.

ඒ නිරයේ බිමත් යකඩින්ම යි කරලා තියෙන්නේ. ගිනිගන්නවා. ගිනි දැල් විහිදෙනවා. හාත්පසින් යොදුන් සියයක් පුරාවට ඒ ගිනි ජාලාව හැමදාම පැතිරිලා තියෙනවා.

මහණෙනි, නොයෙක් ආකාරයෙන් මං නිරය පිළිබඳ විස්තර කියාදෙනවා. මහණෙනි, එහෙත් නිරයේ තිබෙන දුක් මෙපමණක්ය කියලා සම්පූර්ණ වශයෙන් කියන්නට නම් පුළුවන්කමක් නෑ.

(බාලපණ්ඩිත සූත්‍රය – ම. නි. 3)

ඒ නිරා දුකය. තිරිසන් ලොව උපත ද මහත්ම දුකකි. ප්‍රබලයාගේ ගොදුර බවට පත්ව මියයාම ද නිරන්තරයෙන් පවතින මරණ භය, කුසගින්න පිපාසය ද තිරිසන් ලෝකයේ සදාතනික උරුමය වේ. තිරිසන් ලොව දුක ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අයුරින් පෙන්වා දුන් සේක.

“මහණෙනි, තිරිසන්ගත ප්‍රාණීන් ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ තණකොළ කාලා. ඔවුන් තෙත් වූත්, වියළි වූත් තණ කොළ දතින් උලා ගෙනයි කන්නේ. මහණෙනි, ඒ තණකොළ කන තිරිසන් සතුන් කවුද? ඒ තමයි අශ්වයෝ, ගොන්නු, බූරුවෝ, එළුවෝ, මෘගයෝ. මහණෙනි, තණකොළ කාලා ජීවත් වෙන තවත් තිරිසන්ගත සතුන් ඉන්නවා. මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු තණකොළ කාලා ජීවත් වෙන සතුන් සිටිත් නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

ඒ වගේම මහණෙනි, අසූචි අනුභව කරන තිරිසන් සතුන් ඉන්නවා. ඔවුන් දුරදී ම අසූචි ගඳ ඉවකරගෙන දුවන්නේ ‘මෙතනදිම කන්න ඕන, මෙතනදිම කන්න ඕන’ කියලයි. ඒක හරියට බ්‍රාහ්මණයන් යාග සුවඳට ඉව අල්ලගෙන ‘මෙතනදිම අනුභව කරන්න ඕන. මෙතනදිම අනුභව කරන්න ඕන’ කියල දුවනවා වගෙයි. ඔය විදිහමයි මහණෙනි, අසූචි අනුභව කරන තිරිසන් සතුන් ඉන්නවා. ඔවුන් දුරදී ම අසූචි ගඳ ඉවකරගෙන දුවන්නේ ‘මෙතනදිම කන්න ඕන, මෙතනදිම කන්න ඕන’ කියලයි. මහණෙනි, අසුචි අනුභව කරන තිරිසන්ගත සතුන් කවුද? කුකුලෝ, ඌරෝ, බල්ලෝ, හිවල්ලු ආදී සතුන්. ඒ වගේම අසූචි අනුභව කරන තවත් තිරිසන්ගත සතුන් ඇද්ද, ඔවුනුත් අයිතියි. මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු අසූචි කාලා ජීවත් වෙන සතුන් සිටිත් නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

ඒ වගේම මහණෙනි, තිරිසන්ගත සතුන් ඉන්නවා, ඔවුන් උපදින්නේ අන්ධකාරයේම යි. ඔවුන් වයසට යන්නෙත් අන්ධකාරයේම යි. මැරෙන්නෙත් අන්ධකාරයේම යි. මහණෙනි, අඳුරේ ඉපදී, අඳුරේ දිරලා, අඳුරේ මියයන තිරිසන්ගත සතුන් කවුද? කීටයෝ, පණුවෝ, ගැඩවිල්ලු ආදියයි. ඒ වගේම තවත් අඳුරේ ඉපදී, අඳුරේ දිරලා, අඳුරේම මියයන තිරිසන්ගත සතුන් ඇද්ද, ඔවුනුත් අයිතියි. මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු යම් සතුන් අඳුරේ ඉපිද, අඳුරේ දිරලා, අඳුරේම මැරිලා යනවා නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

ඒ වගේම මහණෙනි, තිරිසන්ගත සතුන් ඉන්නවා, ඔවුන් උපදින්නේ වතුරේම යි. ඔවුන් වයසට යන්නෙත් වතුරේම යි. මැරෙන්නෙත් වතුරේම යි. මහණෙනි, ජලයේ ඉපදී, ජලයේ දිරලා, ජලයේම මියයන තිරිසන්ගත සතුන් කවුද? මාළු, කැස්බෑවෝ, කිඹුල්ලු ආදියයි. ඒ වගේම තවත් ජලයේ ඉපදී, ජලයේ දිරලා, ජලයේම මියයන තිරිසන්ගත සතුන් ඇද්ද, ඔවුනුත් අයිතියි. මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු යම් සතුන් ජලයේ ඉපදී, ජලයේ දිරලා, ජලයේ මැරිලා යනවා නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

ඒ වගේම මහණෙනි, තිරිසන්ගත සතුන් ඉන්නවා, ඔවුන් උපදින්නේ අසූචි ගොඬේම යි. ඔවුන් වයසට යන්නෙත් අසූචි ගොඬේම යි. මැරෙන්නෙත් අසූචි ගොඬේම යි. මහණෙනි, අසූචියේ ඉපදී, අසූචියේ දිරලා, අසූචියේම මියයන තිරිසන්ගත සතුන් කවුද? මහණෙනි, යම් සත්වයන් කුණු මසෙහි උපදිනවාද, කුණු මසෙහිම දිරනවාද, කුණු මසෙහිම මැරෙනවාද ….(පෙ)…. මළකුණුවල උපදිනවාද, ….(පෙ)…. කුණු ආහාරයෙහි උපදිනවාද, ….(පෙ)…. කුණු කාණුවෙහි උපදිනවාද, ….(පෙ)…. කුණු වළෙහි උපදිනවාද, ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංච කාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු යම් සතුන් අසූචියේ ඉපදී, අසූචියේ දිරලා, අසූචියේම මැරිලා යනවා නම්, ඔවුන් අතර ගිහින් උපදිනවා.

මහණෙනි, නොයෙක් ආකාරයෙන් මං තිරිසන් අපාය පිළිබඳ විස්තර කියාදෙනවා. මහණෙනි, එහෙත් තිරිසන් අපායේ තිබෙන දුක් මෙපමණක්ය කියලා සම්පූර්ණ වශයෙන් කියන්න නම් පුළුවන්කමක් නෑ.

මහණෙනි, ඒක මේ වගේ දෙයක්. එක්තරා පුරුෂයෙක් එක සිදුරක් ඇති වියදණ්ඩක් මහ මුහුදට වීසි කරනවා. එතකොට ඒ වියදණ්ඩ පෙරදිගින් හමන සුළඟින් බටහිර පැත්තට ගෙන යනවා. බටහිරින් හමන සුළඟින් පෙරදිග පැත්තට ගෙන යනවා. උතුරින් හමන සුළඟින් දකුණු දිශාවට ගෙන යනවා. දකුණින් හමන සුළඟින් උතුරු දිශාවට ගෙනයනවා. ඔය අතරේ මුහුදේ එක ඇසක් පෙනෙන කණ කැස්බෑවෙක් ඉන්නවා. ඒ එක ඇසක් පෙනෙන කණ කැස්බෑවා අවුරුදු සියයකට වාරයක් මුහුදු පතුලේ ඉඳලා උඩට එනවා. මහණෙනි, ඒ ගැන කුමක්ද සිතන්නේ? එතකොට ඒ කණ කැස්බෑවා අර එක සිදුරක් තියෙන වියදණ්ඩෙන් හිස ඇතුළට දමාවිද?” “ස්වාමීනී, ඉතාමත් දීර්ඝ කාලයක් ගිය තැනකදී, යම් දවසක සිදුවෙන්නට පුළුවනි.”

“මහණෙනි, ඒ කණ කැස්බෑවා අර එක සිදුරක් තියෙන වියදණ්ඩෙන් ඉතා ඉක්මනින් වුනත් හිස ඇතුළට දමන්නට පුළුවනි. නමුත් පින්වත් මහණෙනි, එක් වතාවක් අපායෙහි උපන් අසත්පුරුෂ බාලයා නැවත මනුෂ්‍ය ආත්මයක් ලබනවාය කියන කරුණ එයට වඩා ඉතාමත්ම දුර්ලභයි කියලයි මා කියන්නේ. ඒ මක් නිසාද යත්, මහණෙනි, අපාය තුළ ධර්මයේ හැසිරීමක්, යහපතෙහි හැසිරීමක්, කුසල් කිරීමක්, පින් කිරීමක් නැත. පින්වත් මහණෙනි, අපායේ තිබෙන්නේ එකිනෙකා කා ගැනීමයි, දුර්වලයන් කා දැමීමයි විතරයි.

(බාලපණ්ඩිත සූත්‍රය – ම. නි. 3)

ප්‍රේත ලෝකයේ කොටස් සතරකි. එක් කොටසක් නිබඳවම ගින්නෙන් දැවේ. තව කොටසක් ජීවිත කාලය පුරාවටම කුසගින්නෙන් හා පිපාසයෙනි. තව කොටසක් සෙම් සොටු බිඳකින් යැපේ. ඉතිරි කොටස ඥාතීන්ගෙන් ලැබෙන පිනෙන් ලැබෙන දෙයකින් යැපේ. ප්‍රේත ලෝකය ද මහත්ම දුකකි. ප්‍රේත ලෝකයෙහි උපන් සත්වයන් විඳින දුක ගැන වැඩි විස්තර ප්‍රේත වස්තු පාළියට අයත් දේශනාවන් කියවීමෙන් ඔබට තේරුම් ගත හැකි වේවි.

අපාදුක මේ යැයි කිව හැක්කේ සියල්ල දත් සම්මා සම්බුදුවරයෙකුට ම මිස අන්‍යයෙකුට නොවේ. නුවණැත්තෝ සිහි උපදවාගෙන දුලභ බුදු සසුන මුණගැසුණ මේ උතුම් අවස්ථාවේ මේ සතර අපා දුකෙන් නිදහස් වන්නට වෙර ගනිත්වා!