“පුතේ… මෙහෙ එන්න මයෙ පුතේ. අද මං ඔයාලාට ලාස්සන කතාවක් කියාදෙන්නම්.”

එතකොට මායි නංගියි ආච්චි ළඟට දුවගෙන ගොහින් තුරුල් වුණා.

“පුතේ… හා… ඔයාලා දන්නවා නම් කියන්න බලන්න සත්‍යක්‍රියාව කියන්නේ මොකක්ද?”

“ආච්චියේ… සත්‍යක්‍රියාව කියන්නේ යම් දෙයක් සත්‍ය නම් ඒ සත්‍යයේ ආනුභාව බලයෙන් මෙහෙම මෙහෙම වෙන්ට කියලා වචනයෙන් අධිෂ්ඨාන කරන එක නේ ද?”

“හරියට ම හරි පුතේ… දැන් බලන්ට, අපි පිරිත් කියලා අවසානයේ දී කරන්නේ සත්‍යක්‍රියා කරන එකනේ. මේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා! කියලා කරන්නේ ඒක තමා.
අද මං ඔයාලාට කියාදෙන්ට යන්නේ එක්තරා කුමාරිකාවක් සත්‍යක්‍රියා බලයෙන් කොරාපු මහා හාස්කමක් ගැනයි.”

“අනේ ආච්චියේ… මං හරී ආසයි ඒ කතාව අහන්ට.”

“ඒක වුණේ මෙහෙමයි පුතේ. ඔයාලා දන්නවා නේ අපේ භාග්‍යවතුන් වහන්සේ දන්වැළඳුවේ ඉතා තුනී ගල් පාත්තරයක. ශෛලමය පාත්‍රාධාතූන් වහන්සේ කියලයි ඒ පාත්තරේට කීවේ.

ඔයාලා දන්නවැයි ඒ පාත්තරය අපේ භාග්‍යවතුන් වහන්සේට ලැබුණේ කොහොමද කියා?”

“අනේ ආච්චියේ, අපට භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳූ පාත්තරය ගැනත් කියාදෙන්ට.”

“ඒක උනේ මෙහෙමයි පුතේ. ඕන්න අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙලා සත්සතිය වැඩඉන්නැද්දී සත්වෙනි සතියේ වැඩ උන්නේ රාජායතන කියන කිරිපලු රුක්සෙවණේ.

ඔය කාලේ තපුස්ස – භල්ලික කියන සහෝදර වෙළෙන්දෝ දෙන්නෙක් උක්කලා ජනපදයේ හිටං කරත්ත පන්සියයක බඩු පටවාගෙන යද්දී අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට කිට්ටුවෙන් තිබුණු පාරකයි යමින් උන්නේ.

එතකොට පුතේ, මේ වෙළෙන්දන්ගේ ඤාති දේවතාවෙක් ඒ ඇත්තන්ට පෙනිලා හිට මෙහෙම කීවා.

“පින්වත්නි, ඔහේලා දන්නවැයි ආං මහා උත්තම මුනිරාජයෙක් ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙලා අසවල් කිරිපලු රුක්සෙවණේ වැඩඉන්නවා. ඔහේලා ගොහින් උන්නාන්සේට අග්ගලායි, මීපිඬුයි පිළිගන්වන්ට. පින් කර ගන්ට” කිව්වා.

එතකොට පුතේ ඒ සහෝදර වෙළෙන්දෝ දෙන්නා අග්ගලයි, මීපිඬුයි ඇන්න හනික භාග්‍යවතුන් වහන්සේ ළඟට පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොළා.
“අනේ පින්වත් මුනිරජාණන් වහන්ස, මේ අග්ගලාත් මීපිඬුත් පිළිගන්නා සේක්වා!” කිව්වා.

එතකොට පුතේ ඒ අවස්ථාවේ අපේ භාග්‍යවතුන් වහන්සේ ළඟ පාත්තරයක් තිබ්බේ නෑ. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම හිතුවා. ‘බුදුවරු අතින් දානේ පිළිගන්නේ නෑ. මං දැන් මේ දානේ පිළිගන්නේ මොකේට ද?’ කියා. හරි පුදුමයි පුතේ… භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැනගත් සැණින් සතරවරම් දෙව්මහරජවරු ඇවිත් “අනේ භාග්‍යවතුන් වහන්ස, මේ පාත්තරයෙන් අග්ගලාත් මීපිඬුත් පිළිගන්නා සේක්වා!” කියා ශෛලමය පාත්තරා සතරක් ම පූජා කොළා. එතකොට අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ පාත්තර සතර එක් පාත්තරයක් බවට පත්වෙන්ට කියා අධිෂ්ඨාන කොළා. එතකොට තනි පාත්තරයක් පහළ වුණා. ඒ පාත්තරෙන් තමයි පළමුවෙන් ම අග්ගලයි මීපිඬුයි පිළිගත්තේ.

එදා පටන් මයෙ පුතේ, අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් සතළිස් පස් අවුරුද්ද පුරා ම දන් වළඳා වදාළේ ඔය ශෛලමය පාත්තරයෙනුයි.

ඉතින් පුතේ අපේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ඒ බුද්ධ පාත්තරයට රජදරුවෝ මහා ආදරයෙන් පූජා සත්කාර කොළා.

එක්තරා කාලයක දඹදිව දේවපුත්‍ර නමින් මහා නගරයක් තිබ්බා. ඔය නගරයේ තමයි ඒ පාත්‍රා ධාතූන් වහන්සේ වැඩහිටියේ. ඉතින් පුතේ දේවපුත්‍ර නගරයේ රජ්ජුරුවෝ මුල්වෙලා “පාත්‍රමහපූජා” නමින් මහා පූජාවක් පවත්වනවා.

ඔය පාත්‍රමහපූජාවේ දී රන්රිදී මුතුමැණික් ආදී සත්රුවනින් සරසාපු අලංකාර රථයක් පිළියෙල කරනවා. ඒ රථයේ මැද රනින් කැටයම් කළ කණුවක් මුදුනේ මුතුකුඩය යට පාත්‍රා ධාතූන් වහන්සේ වඩාහිඳින්ට සලස්වනවා. ඊට පස්සේ අලංකාරව සරසාපු සුදු ඇත්තු සතර දෙනෙකු ලවා අර කරත්තේ ඇදගෙන යමින් නගරය ප්‍රදක්ෂිණා කරනවා. ඔය විදිහට සත් දවසක් මහා පෙරහර පවත්වාලා හිට අන්තිම දවසේ තුන්යම් රාත්‍රියේ ම බණක් කියවනවා.

ඉතින් පුතේ මේ අලංකාර පාත්‍රාමහා පූජෝත්සවය බලන්ට දඹදිව නොයේක් ජනපදවලින් මිනිස්සු එනවා. ඒ වගේ ම මනුස්ස වේශයෙන් දිව්‍යනාගයෝ, දිව්‍ය ගුරුලෝ, යස්සයෝ, රාස්සයෝ, සිද්ධ විද්‍යාධරයෝත් එනවා.

ඉතින් පුතේ, එදා බණ අහන්ට ඇවිත් උන්නා දෙවඟනක් වාගේ ලස්සන දැරිවියක්. එදා මනුස්ස වේශයෙන් හිටිය නාරජෙකුට යොවුන් කුමාරිව දුටු ගමන් ඈව ම සහේට ගන්ට ඕනෑ කියලා මහා ආසාවක් උපන්නා. ඉතින් මේ මිනිස් වේශයෙන් හුන් කෙනා ඈට නොයෙක් අයුරින් කරුණු කිව්වා. එතකොට ඈ “මොන කරදරයක් ද මේ…. අනේ මගේ පාඩුවේ ඉන්ට දෙන්ට. මං ඕවාට කැමති නෑ” කියා ප්‍රතිස්සේප කොළා.

හප්පෝ… එතකොට පුතේ…. මේ නාගරාජයාට හොඳටෝ ම කේන්ති ගියා. මං මේකිව මෙතැන මරනවා කියලා නාවෙස් අරගෙන කටින් භයානක විෂ දුමක් පිට කොළා. එතකොට කුමාරි දෑස් පියාගෙන තුනුරුවන්ට ජීවිතය පූජා කොරලා නයාට මෙත් සිත් පැතිරුවා.

“හෑ…. මේකිත් එතකොට මහා බලසම්පන්නයි. මොකෝවත් උනේ නෑ නොවැ” කියා නාරජ්ජුරුවෝ තවත් දරදඬු වුණා. රන් කරඬුවක පිච්චමල් මාලාවක් පුදන්නැහේ මේ රන්වන් කුමාරිගේ දෙපතුලේ පටන් ම දරණවැලින් ඔතාගත්තා නොවැ. එහෙම ඔතාගෙන කුමාරිගේ හිසට උඩින් පෙණය කොරගෙන උන්නා නොවැ.

හරිම ආශ්චරියයි මයෙ පුතේ. කුමාරි කලබොල වුණේ නෑ. තැතිගත්තේ නෑ. විලාප තිව්වේ නෑ. ධ්‍යානයකට සමවැදුනා වගේ සිත තැන්පත් කොරගෙන අහන බණ ටික අකුරක් නෑර සවන්දීගෙන උන්නා.

එළිය වැටීගෙන එද්දී මේං බණ අහන්ට ආ හැමෝම දැක්කා නොවැ මහානාගයෙක් කුමාරියක ව වෙලාන ඉන්නවා. මිනිස්සු වට වුණා. “අනේ දුවේ…. ඔයා ව මොකෝ මේ නාගරාජයෙක් වෙලාගෙන?”

“අනේ මාමණ්ඩියේ…. මේ නාගයා මට නරක යෝජනාවක් කොළා. මං ඒවාට කැමති නෑ කියලා කෙළින් ම කිව්වා. ඊට පස්සේ මට මහා විෂ දුමකින් පිම්බා. ඊට පස්සේ තමයි මාව මේ වෙලාගෙන කරදර කරන්නේ.

අනේ මං මේ කියන්නේ සත්‍යයක් ම යි. මං මනුස්ස ලෝකයේ උපන්දා සිට මේ අද වෙනකල් බාල බ්‍රහ්මචාරී ව කුමරි බඹසර රැකගෙන ම යි ඉන්නේ. මේ සත්‍යයේ බලයෙන් නාගරජ්ජුරුවෝ වහා මේ දරණවැලෙන් මාව නිදහස් කරත්වා!

ඒ වගේම මං ඉතා ම ආදර ගෞරවයෙන් බණ අසද්දී මේ නාගරජ්ජුරුවෝ මගේ සිත රාගයට පොළඹවා ගන්ට නොයේක් කරුණු කීවා. නමුත් මං මයෙ සිත කය වචනය යන තුන්දොර ම මෙයැයිගේ සරාගී කතාවට යොමු නො කොට, ආසා නො කොට ධර්මයට ම ආසා කළ බව සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් නාරජ්ජුරුවෝ දරණවැලින් මාව නිදහස් කරත්වා!

ඒ වගේ ම තමුන්නේ වචනයට නම්මාගත නො හැකි තැනේ දී මේ නාරජ්ජුරුවෝ ක්‍රෝධයෙන් දිලිහී මා වෙත විෂ දුම් පිටකරද්දී මා තුළ මේ නාරජ්ජුරුවෝ ගැන කෝප සිතක් නූපන් බව සත්‍යයි. මේ සත්‍යානුභාව බලයෙන් නාරජ්ජුරුවෝ දරණවැලින් මාව නිදහස් කරත්වා!

ඒ වගේ ම මං බණ අසද්දී ධර්මය කෙරෙහි ආදර ගෞරවයෙන් යුක්තව ම බණ ඇසූ බව සත්‍යයි. මේ සත්‍යානුභාව බලයෙන් නාරජ්ජුරුවෝ දරණවැලින් මාව නිදහස් කරත්වා!
ඒ වගේ ම මෙවන් විෂඝෝර භයානක නාගරාජයෙක් මගේ මුළු ශරීරය ම දරණවැලින් වෙලාගෙන හිස මත පෙණය කොට මාව භය කරමින් සිටියදීත් තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි මං කිසි ම භයක් නැතිව බණ පටන්ගත් තැන් පටන් අවසන් වෙනතුරු ම අකුරෙන් අකුර පදයෙන් පදය ඉවත නොහෙළා සිත එකඟ කරගෙන ඇසූ බව සත්‍යයි. මේ සත්‍යානුභාව බලයෙන් නාරජ්ජුරුවෝ දරණවැලින් මාව නිදහස් කරත්වා!” යි කියලා මේ දැරිවි හඬ නගා කීවා නොවැ මයෙ පුතේ.

බලන්ට පුතේ. ඒ සත්‍යක්‍රියාව මහා හාස්කමක් නොවැ. එතකොට නාරජ්ජුරුවන්ට දරණ වෙලාගෙන ඉන්ට බැරුව ගියා. ඉක්මනින් ම වෙළුම් ලිහුවා. වෙළුම් ලිහලා තමන්ගේ ශරීරයේ පෙණ ගොබ සීයක් මවාගත්තා. ඒ පෙණගොබ මත කුමාරි ව තැබුවා. නා මෙනෙවියන් පිරිවරාගෙන ඒ දැරිවිව පැන්වලින් නාවා උදකපූජා නමින් ගෞරව දැක්වුවා.

එතකොට පුතේ, ඒ දේවපුත්‍ර නගරයේ හිටිය මිනිස්සු දහඅටකෝටියක පමණ මහා වස්තු සම්භාරයකින් මේ කුමාරිව පිදුවා. එතකොට කුමාරි මෙහෙමයි හිතුවේ. ‘මං මේ හැම එකකින් ම බේරුනේ මං ආරස්සා කොරන කුමරි බඹසර නිසා ම යි. මං මැරෙන තුරාව ම මේ බඹසර ජීවිතේ ම ගෙවන්ට ඕනෑ’ කියලා අධිෂ්ඨාන කොර ගත්තා පුතේ. ඊට පස්සේ කලක් යද්දි කුමාරි අසනීපයකින් මරණයට පත් වුණා. බලන්ට පුතේ පින්බලේ ලස්සන. ඒ දේවපුත්‍ර නගරයේ දේවපුත්‍ර රජ්ජුරුවන්නේ අගමෙහෙසියගේ කුසේ නොවැ ආයෙමත් මේ කුමාරි උපන්නේ. ඈ උපන්න දවසේ සත්රුවන් වරුසා වැස්සා. කලින් ආත්මෙටත් වඩා ලස්සනයි. දෙව්ලොවින් බිමට බැස්සා වගේ. ඇගේ ලස්සන රන්වන් පාට නිසා ම ඈට නම වැටුනේ කංචන කුමාරි කියලයි.

ඉතින් පුතේ, ඒ ආත්මෙත් මේ කුමාරි පුංචි කාලේ පටන් ම කුමරි බඹසර රැකගත්තා. යොවුන් වියේ දී රජ්ජුරුවන්ගෙන් අවසර ඇන්න ගිහි ජීවිතේ අත්හැරියා. භික්ෂුණීන් අතරට ගොහින් බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ටික කලකින් පටිසම්භිදාලාභී රහත් භික්ෂුණියක් බවට පත්වෙන්ට ලැබුණා. බුද්ධ සෑසනේ එළිය කොරලා නිවී ගියා.

බලන්ට පුතේ…. සත්‍ය වචනයේ ආනුභාව තියෙන්ට නම් ඒ කියන කරුණ සත්‍යයක් ම වෙන්ට ඕනෙ. දැන් බලන්ට ඒ කුමාරි කුඩා සන්දියේ පටන් ම බඹසර රැක්කා නොවැ. ඒක සත්‍යයක්. අච්චර බරපතළ අවස්ථාවෙත් නාරජු ගැන කෝප නො වී මෙත් සිතින් හිටියා. ඒකත් සත්‍යයක්. ධර්මයට ආදර ගෞරව දැක්වුවා. ඒකත් සත්‍යයක්. නාරජ්ජුරුවන්නේ විකාර යෝජනාවට හිත යොමු කළේ නෑ. ඒකත් සත්‍යයක්. ඒ නිසා ම නොවැ ඈ රැකුනේ. රාගයෙන් නොමගට යන එකියක් වුණා නම් නාරජ්ජුරුවන්නේ අඹුව වෙලා මුළු සංසාර ජීවිතේ ම විනාස කර ගන්නවා. මේකෙන් පුතේ අපි එක දෙයක් තේරුම් ගන්ට ඕනෑ. සත්‍යක්‍රියාවක බලය තියෙන්නේ සත්‍ය රකින කෙනෙක්ට ම යි පුතේ.”

(සද්ධර්මාලංකාරය ඇසුරිනි)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ