නොදන්නාකමට අපි සමරපු බ්‍රාහ්මණයන්ගේ නැකත් කෙළිය අපි අපේම දෙයක් කරගන්නෙ මෙහෙමයි.

ධර්මය කියන්නේ තමන් තුළ ම දියුණු කරගත යුතු දෙයක්. බාහිර දෙයක් නොවෙයි. තමන්ගේ සිත කය වචනය යහපතට හරවාගැනීම තමන් ම කළයුතු දෙයක් ම යි.

ධර්මය ජීවිතයෙන් බැහැර දෙයක් නොවන නිසා ජීවිතය හා සම්බන්ධ හැම දෙයක් ම ධර්මානුකූල පැත්තට හරවගන්න එක අපට මෙලොව පරලොව යහපතට හේතු වෙනවා. ජීවත් වෙද්දි නොයෙක් නොයෙක් කරුණු කාරණා අපි ඉදිරියට එනවා. මේ කතා කරන්නෙත් ඒ විදිහේ දෙයක් ගැනයි. ඒ තමයි ළඟ ළඟම එන බොහෝ දෙනෙක් සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා කියන හින්දු අලුත් අවුරුද්ද. ඒක සිංහල බෞද්ධ අපට ඒ කියන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ට අයිති දෙයක් නොවෙයි. ඒත් අපට එපා කියලා නතර කරන්න පුළුවන් දේකුත් නොවෙයි. හැබැයි අපි ළංකර ගතයුතු දෙයකුත් නොවෙයි.

එහෙනම් තෙරුවන් සරණ ගිය අපි කොහොමද ඒකට මුහුණ දිය යුත්තේ? හින්දු බමුණු මතවල නොයෙදී අපි කොහොමද කටයුතු කළයුත්තේ? අපි ධර්මය ම යි පිහිට කරගත යුත්තේ. ඔය සැමරීම්වලට කියන්නේ නැකත නැකත කියලනේ. ඒත් ධර්මය තුළින් අපි දැන් දන්නවනේ සැබෑම නැකත කියන්නේ ඔය බාහිර ග්‍රහ තාරකාවලින් ඇතිවන එකක් නොවෙයි, තමන්ගේ ම සිත, කය, වචනය තුළ ඇතිවන සුභසිද්ධියට අයත් දෙයක් බව.

යමෙක් පෙරවරුවේ හෝ දහවල හෝ සවස් වරුවේ හෝ කයෙන් යහපතේ හැසිරෙනවා නම්, වචනයෙන් යහපතේ හැසිරෙනවා නම්, මනසින් යහපතේ හැසිරෙනවා නම්, ඒ තමයි සුභ මොහොත කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවනෙ.

අවුරුදු කාලේ බොහෝ දෙනා තමන්ගේ රැකී රක්ෂා කටයුතු නතර කරලා පවුල්වල ඤාති හිතවතුන් සමග බොහෝම නිදහසේ තමයි කල් ගෙවන්නේ. එහෙම ඉන්දෙද්දී අවුරුදු නැකත්වල ඉස්සෙල්ලාම එනවා පුණ්‍ය කාලය. ඔන්න ඒ වෙලාවට අපි පවුලේ අයත් එක්ක පුණ්‍යභූමියකට ගිහින්, ජීවමාන බුදුරජුන් සිහිකරගෙන බෝධිය, චෛත්‍ය, විහාර මන්දිර වඳිනවා. පිරිත් කියලා, භික්ෂූන් වහන්සේලා දැකබලා වන්දනාමාන කරලා, දහම් කරුණු ටිකකුත් අහනවා. ඒ දේවල් නම් කවදා කළත් පින් ම යි. ඔන්න ඊළඟට ලිපගිනි අවුලන නැකත එනවනේ. අපිට නැකත් නම් ඕන නෑ. ඒත් අපි වෙනදාට වඩා හොඳින් ගොඩක් කෑම බීම හදන්න ඕන. මොකද, ඒ දවස්වලට ලොකු පිරිසක් අපේ ගෙදරට එනවනේ.

ඔන්න ඊළඟට එනවා ආහාර අනුභව කරන නැකත. එතකොට අනිත් අය එයාලාගේ බමුණු නැකත කරද්දි අපි අපේ සුභම සුභ නැකත කරනවා. ඒ මෙහෙමයි. ආහාරවල මුල් කොටස බුද්ධ පූජාව විදිහට පූජා කරනවා. ගෙදර අයත් සතුටින් සමගියෙන් අනුභව කරලා අනේ අපිටත් ඤාති සංග්‍රහයක් කරන්න හොඳ අවස්ථාවක් ලැබුනා කියලා හිතාගෙන, ගෙදරට එන එන හැමෝටම දානයෙනුත්, ප්‍රිය වචනයෙනුත්, සමානාත්මතාවයෙනුත් අර්ථචර්යාවෙනුත් හොඳට අනුග්‍රහ කරනවා. ගුරුවරු, දෙමව්පියෝ, පවුල්වල වැඩිහිටියන්ට වන්දනාමාන කරලා ගෞරව දක්වලා මහා පිනක් ජීවිතයට රැස්කර ගන්නවා.

ඔන්න ඔහොමයි තිසරණය කිලිටි නොකරගෙන බෞද්ධ අපිට ඕන විදිහට අප්‍රේල් මාසයේ අවුරුද්ද ගත කළයුත්තේ. අනිත් අය බ්‍රාහ්මණ නැකත් කරලා එයාලාගේ ගමන යද්දි අපි තෙරුවනේ පිහිටලා සැබෑම නැකත් කරලා අපි අපේ ගමන යමු.
සැබෑම මංගල කාරණා

මේ විදිහට කටයුතු කරන කොට මහා මංගල සූත්‍රයේ සඳහන් මේ උතුම් මංගල කරුණු අපේ ජීවිතයට එකතු වෙනවා නේද…

■  පිදිය යුත්තන් පිදීම,

■  මව්පිය උපස්ථානය,

■  අඹුදරුවන්ට සැලකීම,

■  නෑදෑයන්ට සැලකීම,

■ දන්පැන් පිදීම,

■  පවෙහි නොඇලීම,

■  හැම පවින් වැළකීම,

■  නිසි කල බණ ඇසීම,

■  දහම තුළ හැසිරීම,

■  දහම තුළ නොපමාව ආදී බොහෝ මංගල කරුණු.

ඔබට පුළුවන් නම් අවුරුදු කාලෙදි උතුම් පින් බිමකට ගිහින් අෂ්ටාංග උපෝසථ සීලයේ සමාදන් වෙලා තෙරුවන් සිහි කරමින් ධර්මය ශ්‍රවණය කරමින් බණ භාවනා කටයුතුවල යෙදෙන්ට ඔබ ඊටත් වඩා වාසනාවන්තයෙක් ම යි. සැබෑම ශ්‍රාවකයෙක් ම යි.

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි