එදා අපේ ආච්චි බණ පොතක් කියවමින් සිටියා. මාත් නංගීත් ගිහින් ආච්චි ළඟින් වාඩි වුණා. එතකොට ආච්චි අපි දිහා බලාගෙන දත් නැති කටින් ලාස්සනට හිනැහුණා.

“ඇයි මයෙ පුතේ..?”

“ආච්චි… මට ආච්චිගෙන් අසාගන්ට දෙයක් තියෙනවා.”

“ඔව්… පුතේ… එහෙනම් ඉතිං කියමුකෝ බලන්ට.”

“ආච්චි… ඉරිසියාව කියන්නේ මොකක්ද ආච්චි?”

“හාපෝ… පුතේ ඒක මහා භයානක දෙයක්. මනුස්සයෙකුගේ යහපත වනසා දමා බොහෝ පව් රැස් කර ගන්ට උදව් වෙන්නේ ඔය ඉරිසියාව නමැති කෙලේසේ තමයි…. පුතේ… ඉරිසියාව කියන්නේ තව කෙනෙකුගේ දියුණුවට අකැමැතිකොම. කවුරුහරි හොඳට ඉගෙන ගන්නවා නම්, ලස්සනට ගෙයක් දොරක් හදාගන්නවා නම්, හොඳ රස්සාවක් කරනවා නම්, වාහනයක් ගන්නවා නම්, කොටින් ම ස්වාමීන් වහන්සේනමක් ලස්සන විහාරයක් හැදුවොත් ඒකටත් ඉරිසියා කරනවා. පන්සලකට වැඩිපුර සෙනඟ ගියොත් ඒකටත් ඉරිසියා කරනවා. අනේ පුතේ මේ කාලේ අපේ රටේ මිනිස්සු සනීප කොරගන්ට බැරි විදිහට ම ඉරිසියාව නැමැති රෝගයෙන් හොඳටෝ ම ඔත්පල වෙලා, නීච වෙලා ඉන්නේ… ඉරිසියාව කියන්නේ අසත්පුරුෂයාගේ ධජය යි…. පුතේ… මට ලස්සන කතාවක් මතක් වුණා.”

“අනේ ආච්චියේ අපට ඒ ලස්සන කතාව කියාදෙන්ට.”

“ඒ මෙහෙමයි පුතේ… ඉස්සර අනුරාධපුරේට කිට්ටුවෙන් මහේළ කියා නුවරක් තිබුණා. ඔය නුවර දුබ්බිට්ඨිමහාතිස්ස කියා ඇමතියෙක් වාසය කොළා. උන්දෑ හරී ම සැදැහැවතා. මහා දානපතියා. උන්දෑ විතරක් නො වේ උන්දැගේ බිරින්දෑත් ඒ වගේ ම තමා. මහා සැදැහැවතියක්. සරු සාරෙට කුඹුරුවතුපිටිත් උන්දෑ සන්තකව තිබ්බා.

ඉතින් පුතේ දවසක් මේ ඇමතිතුමාගේ වප්මඟුල් දවසක් ආවා. ඒ කියන්නේ මහා කුඹුරු යාය සීසාන්ට පටන් ගන්නා දවස. එදා හරි ජයට වප් මගුල් උස්සවේ ලේස්ති කරගෙන තිබුණා. කුඹුරු හාන ගොන්නුන්වත් ලාස්සනට සරසා තිබුණා. ලස්සනට හිසේ ජටා බැඳපු ජනයා නගුල් සූදානම් කොළා. කෑම් බීම් රසට හදා තිබුණා. ඒ හෑම දෙයක් ම ලෑස්ති කරගෙන ඕං දැන් හෙට උදේට වප් මඟුලට සූදානම් කොරලා තිබුණා.

බලන්ට පුතේ මේ ලෝකේ හැටි. හෙට වප් මගුල. අද අසත්පුරුෂයෙක් මෙහෙම කල්පනා කොළා.

‘හහ්… තිස්ස ඇමැතියා හෙට වප් මඟුල් උස්සවේ කොරනවා. ඒකාට එන්නට එන්ට ම සරුයි. අපට තමයි මොකොවත් නැත්තේ. මං තිස්ස ඇමැතියාගෙන් ණයකුත් ගත්තා නොවැ. මං මේකාගේ වප්මඟුල කොහෝම හරි නවත්තන්ට ඕනෑ. කඩාකප්පල් කරන්ට ඕනෑ. මේකාට දියුණු වෙන්ට නම් දෙන්ට හොඳ නෑ’ කියලා.

පුතේ…. ඒ අසත්පුරුෂයා තිස්ස ඇමතියාගෙන් ගත් ණයකුත් තියෙනවා. බලන්ට උදව් ලැබූ මිනිසා ව ම නැති කරන්ට හිතන හැටි. ඊට පස්සේ ඒ අසත්පුරුෂයා මෙහෙම හිතුවා.

‘හහ්… ඔය තිස්ස ඇමතියා මහා සැදැහැවතෙක් ලු නොවැ. හරි… මං කරඤ්ඤං වැඬේ’ කියලා මේකා කෙළින් ම ගියා අනුරාධපුරේ අභයගිරි මහා විහාරෙට. ගොහින් තිස්සදත්ත තෙරුන් මුණ ගැසුණා. මෙහෙම කීවා. “අනේ ස්වාමීනී, මං මේ ආවේ අපේ තිස්ස ඇමතිතුමාගේ ආරාධනාවකට යි. එතුමා හෙට දවසේ භික්ෂූන් වහන්සේලා පන්සියනමකට මහා දානයක් පූජා කොර ගන්ට ආශාවෙන් බලා ඉන්නවා. අනේ… ඒ නිසා ඔබවහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමග තිස්ස ඇමතිතුමාගේ නිවසට වඩින සේක්වා!” කියා ආරාධනා කොළා. මේක ඇත්තක් ය කියා සිතපු තිස්සදත්ත තෙරුන්නාන්සේත් ඒ මිනිසාගේ ආරාධනය භාරගත්තා.

දැන් පුතේ අපේ අර ඇමතිතුමා මේ දානයක වගක් මොකෝවත් දන්නේ නෑ. පසුවදා උදෑසනින් ම තමුන්නේ සේවක ජනයාත් එක්ක වප් මඟුලට පිටත් වුණා.

ඔය අතරේ තිස්සදත්ත නායක තෙරුන්නාන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරාගෙන ඇමතිතුමාගේ නිවසට වැඩියා. ඒ වෙද්දී තිස්ස ඇමතියාගේ බිරිඳ වප් මඟුලට ආහාරපාන සකසන්ට සූදානම්ව බොහෝ කලබොලේට හිටියේ. තමන්ගේ නිවසට දානය පිණිස හදිසියේ ම වැඩම කළ සංඝයා වහන්සේ දුටු ගමන් ඈ මහත් සතුටින් ගොහින් වන්දනා කොළා. ආසන පනවා වැඩ ඉන්ට සැලැස්සුවා. නමුත් ඒ ගෙදර මනුෂ්‍යයන් වෙනදා වගේ නො වේ. දන් දෙන්ට කරන උත්සාහයක් පේන්ට නෑ. එතකොට තෙරුන්නාන්සේ මෙහෙම ඇහුවා.

“උපාසිකාවෙනි, අද මොකොද මේ තොපගේ නිවසේ මහා කලබොලයක්. වෙනත් වැඩක යෙදිලා වගෙයි.”

“එහෙමයි… ස්වාමීනී. අද අපේ වප් මඟුල් දා නොවැ. ඒකට යි මේ හැමෝ ම මහන්සි වෙන්නේ. නමුත් ස්වාමීනී, අද අපට මේ වප් මඟුලට අමතරව දන් මංගල්ලෙකුත් කොර ගන්ට පිනක් පෑදුනා. මං මේ ඒ දෙක ම පිරිමසාගන්ටයි හදන්නේ.” කියලා ඊට පස්සේ ගෙදර පොරෝජනේට හදා තිබුණු කැඳ, අවුලුපත්, කිරි, ගිතෙල්, පැණි පාත්තරවලට පිළිගැන්නුවා. එතකොට මහතෙරුන්නාන්සේ පාත්‍රා රැගෙන ආපසු වඩින්ට සූදානම් වුණා. උපාසිකාව තෙරුන්නාන්සේට මෙහෙම කිව්වා.

“අනේ ස්වාමීනී, වඩින්ට එපා. ඕවා හීලට වළඳන්ට. අපි මේ දාවල මහා දානෙටත් සූදානම් වෙනවා.” එතකොට තෙරුන්නාන්සේ සඟපිරිසත් සමග නැවතුනා. ස්වාමීන් වහන්සේලා පන්සියනමක් නිවසේ වැඩ ඉන්නා බව ඇමැතියාට ආරංචි වුණා. වප් මඟුල් කටයුතු අනිත් අයට පවරා ඉක්මනින් ගෙදර ආවා. ස්වාමීන් වහන්සේලාට ආදරයෙන් වන්දනා කළා.

“අනේ පින්වත් උපාසක, අපි මෙහෙ අද වප් මඟුල් උස්සවයක් බව දන්නේ නෑ. යාන්තමින්වත් දැනගන්ට ලැබුණා නම් අපි වඩින්නේ නෑ. තොප ඊයේ අද දානයට පන්සියනමක් ඕනෑ ය කියා අසවල් මිනිසා අත ආරාධනාවක් එව්වා නොවැ. ඒකයි අපි වැඩියේ.”

“අනේ ස්වාමීනී, ඔය මිනිහා මගෙන් ණය ගත්තු කෙනෙක්. වප් මඟුල කඩාකප්පල් කරන්ට හිතාගෙන වෙන්ට ඕනෑ මෙහෙම කරන්ට ඇත්තේ. ඒ මිනිහා මට අනතුරක් කරදරයක් පීඩාවක් කරලා සතුටු වෙන්ට ආසා ඇති. නමුත් ඒ මිනිහා මට මේ කොරලා තියෙන්නේ මහා උපකාරයක් ම යි. යහපතක් ම යි. උදව්වක් ම යි. තමුන්නාන්සේ වැනි සිල්වත් ගුණවත් උතුමෙකු දැක බලා වන්දනා කර ගන්ටත් දන්පැන්වලින් උපස්ථාන කරන්ටත් අවස්ථාව ලැබුණේ ඒ නිසා නොවැ. අද සිට මං සලකන්නේ උන්දෑ මගේ මිත්‍රයෙක් කියලයි. මේ ලෝකය නම් පුදුමයි ස්වාමීනී.” කියලා මේ කව් පෙළ කිව්වා.

1. යාළු වෙසින් කෙනෙක් ඇවිත් – ගොදුරට ම යි ගෙනියන්නේ
අකුසල්වල යොදවන්නේ – මිතුරු වෙසින් ම යි ඉන්නේ

2. නොයෙක් මිහිරි බස් කියමින් – වැරදි කම් සුවේ යොදමින්
පව් රැස් කරනා බොහො අය – මිතුරු වෙසින් ම යි ඉන්නේ

3. සංඝයාගෙ ඇද කියමින් – බණ පදයෙත් ඇද සොයමින්
කල්ලි ගැහෙන්නට හදමින් – මිතුරු වෙසින් ම යි ඉන්නේ

4. තම තමන්ගෙ කණ්ඩායම් – හදමින් අවුලක් ම කරන
අසත්පුරුෂ බාල අයත් – මිතුරු වෙසින් ම යි ඉන්නේ

5. උතුම් නිමල සදහම් මග – තමනුත් දන්නව කියමින්
කලණමිතුරු ඇසුර නසන – මිතුරු වෙසින් ම යි ඉන්නේ

ඒ නිසා ස්වාමීනී, මේ තැනැත්තා මට සතුරුකොමක් කොරන්ට ගොහින් යහපතක් නොවැ මේ කොළේ. මං උන්දැව අද ම මට තිබුණු ණයින් නිදහස් කරනවා. මං මේක මගේ යහපතට යොදාගත්තා. වෙන කෙනෙකුට නම් බොහෝ පව් රැස් වෙන්ට හේතුවක්. බලන්ට ස්වාමීනී, මගේ ශ්‍රද්ධාවන්තකම නිසායි මං බේරුණේ.” කියලා තිස්ස අමාත්‍යයා සතුටින් දානයත් පූජා කර ගත්තා. වප් මඟුලත් කර ගත්තා. තමන්ට හානි පමුණුවන්ට සිතූ පුද්ගලයාට ප්‍රශංසාත් කළා.

බලන්ට දරුවනි, ඇමැතිතුමා බේරුණෙත්, බිරිඳ බේරුණෙත් තමන්ගේ නුවණ හොඳින් යොදවා ගන්ට දක්ෂ වූ නිසායි. ඒ නිසා අපට ශ්‍රද්ධාව වගේ ම නුවණත් ඕනෑ. අසත්පුරුෂයෙකුගේ ගැටයකට හසුවුණොත් තමුන්ට සංඝයාගේ ඇසුරත් අහිමි වෙනවා. සත්පුරුෂ ගුණධර්ම දියුණු කරන්ට ඇති දුර්ලභ අවස්ථාවත් අහිමි වෙනවා.

(සද්ධර්මාලංකාරය ඇසුරිනි)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ