එදා ආච්චියි මායි බෝධි වන්දනාවට ගියා. ආච්චි මහත් ආදරයෙන් බෝධීන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ ආච්චි කළේ මල් ආසනවල තිබූ පරමල් අස්කොට පැන් ගෙනැවිත් මලසුන් සේදීමයි. ඊට පස්සේ ආච්චි ඉතාම ලස්සනට බෝ මළුව ඇමදුවා.

“පුතේ… මෙහෙ එන්ට. ආං අර බලන්ට… කවුදෝ මෝඩ අම්මණ්ඩි කෙනෙක් බරපතළ අකුසලයක් රැස් කරගෙන.”

“කෝ… ඒ මොකක්ද ආච්චි….”

“ආං පුතේ… අර කොඩියක ලියලා තියෙන්නේ ‘සුසිල් පුතාගේ අපල දුරුවේවා’ කියලා. අර තව එකක් ‘රංජනීගේ කේතු අපල දුරුවී රැකියාවක් ලැබේවා’ කියලා. අනේ මයෙ පුතේ… ඕවා හෙමිහිට ගලවා වීසිකර දමන්ට.”

“ඇයි ආච්චියේ එයාලා මේ වගේ දේවල් කොඩිවල ලියලා එල්ලන්නේ?”

“අන්ධබාල පෘථග්ජනකමනේ පුතේ. ත්‍රිවිධ රත්නය සරණ නොගිය ළාමක ගෑනු නොවැ. හොඳට පව් කරගෙන.

පුතේ… ගෑනු අයට බෝධිපත්‍ර ස්පර්ශ කරන්ට කැප නෑ. බෝධින් වහන්සේගේ අත්තක්වත් ස්පර්ශ කරන්ට කැප නෑ. අත තියන්ට කැප නෑ.”

“එතකොට ආච්චි…. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ නොවැ බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව ලංකාවට වැඩමුවේ. මං අසා තියෙන්නේ එහෙමයි.”

“ඒක හරි පුතේ… ඔයා අසා ඇති විදිහ හරි. නමුත් පුතේ ඒ උත්තමාවී බෝධින් වහන්සේ ස්පර්ශ කළේ නෑ…. පුතේ…. බෝධින් වහන්සේ කියන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වය කියාපාන ජීවමාන සාක්ෂිය. සංඝමිත්තා තෙරණියෝ බෝධීන් වහන්සේ ව වැඩැම්මුවේ ජීවමාන ශාස්තෘන් වහන්සේ හැටියට සලකලයි.

පුතා දන්නවැයි… ඉස්සර රහතන් වහන්සේලාගේ යුගයේ කවරදාකවත් බෝ මළුවට කුඩයක් ඉහළාගෙන ගොහින් නෑ. පාවහන් පැලඳගෙන ගොහින් නෑ. ඒකට දැන් බලන්ට එපායැ…. තිසරණ මාත්‍රයක් නැති ගෑනු මිසදිටු අන්ධ විශ්වාස කර තියාන ඇවිත් බෝ අත්ත උඩ පැනලා අල්ලාගෙන කොඩි ගැටගහලා අතාරිනවා.”

“ඇයි ආච්චි එයාලා ඒක පව් කියලා දන්නේ නැත්තේ?”

“මේකනේ පුතේ… ගෑනු ධර්මය ඉගෙන ගන්නෙ නෑ. කෙළවරක් නැතිව නැකත් පස්සේ, කේන්දර පස්සේ, දේවාල පස්සේ, අපල පස්සේ දුවනවා. ගෑනු තමයි ඉක්මනින් ම මිසදිටු ගන්නේ. ගෑනු තමා ඉක්මනින් නොමග යන්නේ.
පුතේ… ඔයැයි දන්නවා ද ‘බෝධිය’ කියන වචනයේ අරුත?”

“අනේ මට කියාදෙන්ට ආච්චියේ.”

“පුතේ ‘බෝධිය’ කියන්නේ චතුරාර්ය සත්‍යාවබෝධයට යි. අපේ භාග්‍යවතුන් වහන්සේ යම් රුක් සෙවණක වැඩ හිඳ චතුරාර්ය සත්‍ය ධර්මය කාගේවත් උදව්වක් නැතිව අවබෝධ කළා ද, එදායින් පස්සේ තමයි ඒ වෘක්ෂයටත් ‘බෝධිය’ කියා කියන්නේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ම යි, උන්වහන්සේ උපන් දවසේ ම යි බෝධින් වහන්සේ පහළ වුණේ. මේ බෝධින් වහන්සේ තමයි පුතේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ජය වෘක්ෂය. ඒ නිසයි මෙයට ‘ජය ශ්‍රී මහා බෝධිය’ කියා කියන්නේ.”

“එතකොට ආච්චි බෝධියට වන්දනා කිරීමෙන් අපට ගොඩාක් පින් සිද්ධ වෙනවා ද?”

“ඔව් මයෙ පුතේ… බෝධින් වහන්සේට වන්දනා කොට, බෝධින් වහන්සේ අරමුණු කොට අප භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිකොට, බෝධින් වහන්සේට ආදර ගෞරව පූජෝපහාර පවත්වා දෙව්ලොව ගිය පිරිස ගණන් කරන්ට බැරි තරම්.

ඒ විතරක් යැ පුතේ, අපේ රටට බෝධින් වහන්සේ වැඩමවූවාට පස්සේ දඹකොළ පටුනේ හිටං අනුරාධපුරේ රජමැදුර දක්වා ම යොදුනක් ගානේ පූජෝපහාර පැවැත්තුවා. බෝධින් වහන්සේ රජ මැදුරේ මිදුලේ වඩා හිඳුවා රෝපණය කළ දවසේ අපේ දෙවනපෑතිස් රජ්ජුරුවෝ රජකොම බෝධීන් වහන්සේට භාර කොළා. තමුන් දොරටුපාල වෙස් ඇන්න සතියක් ම බෝධියට ආරස්සා මුර පූජාව පැවැත්තුවා.

මේ කාලේ ළාමක ගෑනු බල්ලෝ කපුටෝ කොඩිවල ඇඳලා අපල දුරුවේවා කියලා බෝධියේ එල්ලා ඇතිපදං නිගරු කරනවා.

පුතේ… බෝධි පූජාව මේං මෙහෙම කරන්ට. ඉස්සෙල්ලා ම අද මං කොළා වාගේ මලසුන් ගෙවල්වල පරමල් අස් කොරන්ට ඕනෑ. ඊට පස්සේ මලසුන් සෝදන්ට ඕනෑ. ඊට පස්සේ මළුව අමදින්ට ඕනෑ. ඊට පස්සේ තමුන් කැමති නම් බෝධීන් වහන්සේව පැන් කළයෙන් පැන් පහසු කොරවන්ට ඕනෑ. ඊට පස්සේ මල් මාලා ඇත්නම් පිරිමි දරුවන් ලවා පලඳවන්ට ඕනෑ. ඊට පස්සේ මල් පූජා කොරන්ට ඕනෑ. පහන් සුවඳ ආදිය පුදන්ට ඕනෑ. පැන් පාත්තරයක් පූජා කොරන්ට ඕනෑ. උදේ වරුවක නම් කිරිපිඬු, පලතුරු ආදියෙන් පුදනවා නං වඩාත් හොඳා. ඊට පස්සේ බෝධීන් වහන්සේට වන්දනා කොට හොඳට වාඩිවෙලා බුදුගුණ කියමින් වන්දනා කොරන්ට ඕනෑ. බෝධින් වහන්සේගේ ගුණ ඇතුළත් කවි මිහිරට කියමින් බෝධියට ස්තුති පූජා පවත්වන්ට ඕනෑ. ඊට පස්සේ රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍ර ආදිය මිහිරට කියා මෛත්‍රී භාවනාව කොට ඒ රැස් කළ පින දෙවියන්ටත් පුදා තමාත් අනුමෝදන් වෙන්ට ඕනෑ. ආං එහෙමයි පුතේ බෝධි පූජා කරන්නේ.”

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ