මේ ලෝකයට ඉතා කලාතුරකින් බුදු කෙනෙක් පහළ වීමෙන් නිවන් මඟ විවෘත වේ. බුදුරජාණන් වහන්සේ වනාහි නූපන් නිවන් මඟ උපදවන සේක. රහතන් වහන්සේලා මේ ලෝකය තුල පහළ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ නිවන් මඟෙහි මනාකොට පිළිවෙතෙහි යෙදීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එය හුදෙක් අධිෂ්ඨාන පූජාවලින් සිදුකළ හැක්කක් නොවේ. විශාල පිරිසක් එක් වී අධිෂ්ඨාන පූජාවක් කළ පමණින් ලෝකයෙහි රහතුන් පහළ නොවේ. කෙතරම් අධිෂ්ඨාන පූජාවන් කළත් මනාකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ප්‍රතිපත්ති පුරන පිරිසක් නැතිනම් රහතුන් පහළ නොවේ. කතා කරන්නේ සහ අසන්නේ බුද්ධ වචනයට අයත් නොවූ, විකෘති වූ දහමක් නම් රහතුන් පහළ නොවේ.

 

අනෙක් අතට ප්‍රතිපත්ති පුරන සියලු දෙනාම මේ ජීවිතය තුලදී ම අරහත්වයට පත්වනවා කියා දෙයක් නැත. එය සිදුවන්නේ ද පූරිත පුණ්‍ය මහිමය අනුවයි. ශ්‍රද්ධා ආදී ඉඳුරන් වැඩෙන පිළිවෙළ අනුවයි. එය පැතුමකින් ඉටු වන්නක් නොවේ. එහිදී අධිෂ්ඨානය වැදගත් වන්නේ නිවන් මඟෙහි හික්මෙන ශ්‍රාවකයා ම බලවත් චිත්ත අධිෂ්ඨානයකින් යුතුව දහමට දිවිපුදා වාසය කිරීම යි. එය චිත්ත ඉර්ධිපාදය ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. කෙතරම් අධිෂ්ඨානයක් තිබුණත් නිවන් මඟ වරදවා ගතහොත් මාර්ගඵලාවබෝධය කරා යන්නේ ද නැත.