ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ම ධර්මය දේශනා කරන්නට උකටලී වූ බව. එතකොට සහම්පතී බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේ හමුවේ පෙනී සිට කියා සිටියා, “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා! සුගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා! ධර්මය අවබෝධ කළ හැකි අය ලෝකයේ ඉන්නවා.” ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකය දිහා බලද්දී දැක්කා නෙළුම් පොකුණක වගේ විවිධාකාර චරිත ඇති පුද්ගලයන් ලෝකයේ සිටින බව. ඒ අතර ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ඇති අයත් සිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා “(සන්ති භික්ඛවේ අප්පරජක්ඛ ජාතිකා) පින්වත් මහණෙනි, කෙලෙස්වලින් ඇවිස්සුණු නැති බුද්ධිමත් මිනිසුන් ලෝකයේ ඉන්නවා. (අස්සවණතෝ ධම්මස්ස පරිහායන්ති) හැබැයි ඒ අය පිරිහෙන්නට පුළුවනි, ධර්මය අසන්නට නො ලැබුණොත්. (භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ) ධර්මය කිව්වොත් ඒ අයට ධර්මය අවබෝධ වෙනවා.”

මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි ම පැහැදිලියි. මේකේ කිසි ම ධන – නිර්ධන භේදයක් නැහැ. උගත් – නූගත් භේදයක් නැහැ. හීන කුල – උසස් කුල භේදයක් නැහැ. මේකේ වුවමනා කරන එක ම දක්ෂතාවය තමයි ප්‍රඥාවන්ත වීම. නුවණින් විමසන්න පුළුවන් බව. ඒ නිසා තමයි බුද්ධ කාලේ දුගී දුප්පත් අය මේක අවබෝධ කළේ. කොසොල් රජතුමාට බැරිවෙච්ච දේ, මල්ලිකා බිසවට බැරිවෙච්ච වැඩේ දුගී දුප්පත් අම්මා කෙනෙක් කළා. මේ නිසා ප්‍රඥාව කියන එක බාහිර කෙනෙකුට මනින්න බෑ. ප්‍රඥාව කියන එක මනුස්සයෙකුගේ අවදිවෙන්න විශේෂයෙන් ම බලපාන කාරණය තමයි සද්ධර්ම ශ්‍රවණය. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි ධර්මය දේශනා කරන්න. ධර්මය නොකිව්වොත් තමයි අවබෝධ කරන්න අවස්ථාවක් නැතුව යන්නේ. එහෙනම් ධර්මය අවබෝධ කරන්න පුළුවන් මනුෂ්‍යයාට ධර්මය අසන්නට අවස්ථාවක් ලැබුණොත් ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නවා.