සංස්කාර යන වචනය බුදුරජාණන් වහන්සේ අර්ථ කිහිපයක් ඔස්සේ විග්‍රහකොට තිබෙනවා. අප එය තේරුම් ගත යුත්තේ ඒ ඒ තැනට අදාළවයි. පටිච්චසමුප්පාද විග්‍රහයේදී “අවිජ්ජා පච්චයා සංඛාරා” යනුවෙන් පෙන්වා දෙන්නේ කාය සංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස), වචී සංස්කාර (විතක්ක, විචාර), චිත්ත සංස්කාර (හඳුනාගැනීම්, විඳීම්) යන තුනයි. එමෙන් ම එහි භවය කොටසට අදාළව පුඤ්ඤාභිසංස්කාර (පිනට අනුව කර්ම සකස් වීම), අපුඤ්ඤාභිසංස්කාර (පවට අනුව කර්ම සකස් වීම), ආනෙඤ්ජාභි සංස්කාර (ධ්‍යානවලට අනුව කර්ම සකස් වීම) පෙන්වා දෙනවා.

පංච උපාදානස්කන්ධය යටතේ සංස්කාර විස්තර කරන්නේ රූප සංචේතනා, ශබ්ද සචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, ඵොට්ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා යන සය ආකාර වූ චේතනාවයි. “සබ්බේ සංඛාරා අනිච්චාති” යන දෙසුමේදී හේතුඵල දහමින් හටගත් සියල්ල පොදුවේ සංස්කාර වශයෙන් හඳුන්වා තිබෙනවා. මීට අමතරව සමහර දේශනාවල දී තණ්හාවටත් සංස්කාර යන පදය භාවිතාකොට තිබෙනවා. ඒ නිසා අප ඒ ඒ දෙසුම්වලට අදාළව අර්ථ තේරුම් ගැනීමට බුද්ධිමත් විය යුතුයි. මේ පිළිබඳ වැඩිදුර දහම් කරුණු අධ්‍යයනය කිරීම පිණිස “විස්මිත අවබෝධය” නම් සදහම් ග්‍රන්ථයේ “භවය” විස්තර කොට ඇති කොටස කියවන්න.