‘එපා’ කියා තරවටු කොට දරුවන්ගෙන් ඉවත් කළ ස්මාර්ට් ජංගම දුරකථනය අපේ දරුවන් අතට දී, ‘ඉගෙන ගන්න’ කියා කියන්නට සිදු වුණ මාපියන්ගේ යුගයක් අද එළඹ තිබේ. වැඩෙන දරුවන්ගේ මනසටත්, ඇසටත් බොහෝ හානි පමුණුවන්නේ යැයි කියා ළමයින් පිළිබඳ විශේෂඥයන් විසින් භාවිතය අවම කරන ලෙසට නිර්දේශ කළ දෙය ම දරුවන්ගේ ප්‍රමුඛතම අධ්‍යාපනික මෙවලම බවට අද පත්ව ඇත. ඇස් කන් පියාගෙන එකී ක්‍රමවේදයනට අනුගත වනවා හැර කාටවත් ඒ සම්බන්ධයෙන් කළ හැකි අන් දෙයක් නැත.

දරුවන් දැනුමෙන් පෝෂණය කරන තාක්ෂණික මෙවලම් ම උපයෝගී කොටගෙන පාසල් වියේ ස්වකීය දියණිය ව සල්ලාලයන්ට අලෙවි කළ මවක් ගැන අසන්නට ලැබෙන්නේ ද ඒ අතරේ දී ය. සදාචාරවත් සමාජ සංස්කෘතිය දෙදරවා හරින එවැනි පුවත් අසත් අසත් ම අද අපත්, දරුවනුත් සිටිනුයේ අධර්ම චර්යාවන් බොහෝ කොට ඇති, පිරිහෙන ස්වභාවය ම ඇති ජන සමාජයක බව තේරුම් ගැනීම අපහසු නොවේ.

අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන් මැඩී ගිය සිත් ඇති ජන සමාජයක දිශානතිය පිරිහීම ම ඉලක්ක කොටගෙන සිටී. පහළ ම සමාජ ස්තරයේ පටන් ඉහළ ම සමාජ ස්තරය දක්වා ම එකී පිරිහීම විහිද පැතිර යාම වළක්වාලීම බාහිරින් පනවන නීති රෙගුලාසි තුළින් පමණක් සිදු කළ නොහැක. එහිලා යම් පාලනයක් ඇති කරලීමට නීතිය සමත් වන්නේ වුව ද එය හුදෙක් කුලප්පු වූ හරකුන් වට කොට බඳිනා ලද වැටක් වැන්නකි. කවර හෝ දුර්වල තැනකින් වැට බිඳ පිටට ඒම කුලප්පු හරකුන්ගේ ස්වභාවය යි. වැට බඳින්නා සේ ම කුලප්පුව සන්සිඳුවාලන ක්‍රමයක් ද අත්‍යවශ්‍ය වන්නේ එහෙයිනි.

සැබැවින් ම, සෙසු ලෝකයා සදාචාර සම්පන්න දිවිපෙවතකට අනුගත වී සුචරිතවත් ව, ගුණවත් ව, සිල්වත් ව සමාජයට අභය දන් දෙමින් අපත්, දරුවනුත් ආරක්ෂා කරාවි යැයි සිතීම උගහට ය. එවැනි දැහැමි සමාජ ලෝකයේ පෙර නොවූවා නොවේ. එහෙත්, අද ප්‍රකටව පවත්නා පිරිහී යන ස්වභාවයන් තුළ එවැනි උතුම් මිනිස් ගුණධර්මයන් පෝෂණය කරලීම පහසු නොවන බව අප තේරුම් ගත යුතු ය. එසේ නම්, අප කළ යුත්තේ අපව ආරක්ෂා කර ගැනීම ය. අපට අප ආරක්ෂා කර ගත හැක්කේ පිරිහෙන ලෝකයේ නොපිරිහෙන කෙනෙකු වීමෙන් පමණි.

තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වී පිරිහෙනා ලොවක නොපිරිහෙන කෙනෙකු වීමේ අනුත්තරීය ප්‍රතිපදාව ලොවට හෙළිදරව් කොට වදාරති. රාග, ද්වේෂ, මෝහ වැඩී ලියලමින් කුලප්පු කරලන ඇස් කන් ආදී ඉන්ද්‍රියයන්, ඉන්ද්‍රිය සංවරයෙන් සන්සිඳුවමින් කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය උපදවාලන අන් ප්‍රතිපදාවක් ගැන ලොව අසන්නට ලැබෙන්නේ නැත. මෙසේ ඉඳුරන් රැක ගනිමින් ත්‍රිවිධ සුචරිතයේ හැසිරෙන්නෙක් ස්වකීය දැහැමි දිවිපෙවත තුළ සෙසු ලෝකයට අභය දන් දෙන්නා සේ ම තමන්ට ද දෙලොව යහපත සලසා ගනී. විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරලීම ඉලක්ක කොට ඇති සම්බුද්ධ ශාසනයේ හික්මෙමින් අමා මහ නිවනට ද සමීප වෙයි.

ලොව මෙතෙක් පහළ වී වදහළ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් වදාරණ ලද, ‘තමන් රැකෙන මාර්ගය’ නම් එය යි.

“සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධානශාසනං”

“සියලු පව් නොකිරීම ද කුසල් දහම් රැස් කිරීම ද සිත පිරිසිදු කිරීම ද යන මෙය බුදුවරුන්ගේ අනුශාසනාව යි.”

(ධම්මපදය – බුද්ධ වර්ගය)

ගෞතම සම්බුදු සසුනේ තෘතීය ශ්‍රාවක, ශාසන භාරධාරී මහා කාශ්‍යප මහරහත් මුනිඳුන් පන්සියයක් නිකෙලෙස් මුනිවරුන් පිරිවරාගෙන මෙවන් නිකිණි පොහොයක පටන් සංගායනා කොට සුරක්ෂිත කරලූ සම්බුදුරජුන්ගේ අනුශාසනාව අනුව ප්‍රතිපදාවේ හැසිරීම හැර රැකෙන්නට අන් මඟක් අපට ද නැත.