​පහව ගිය වලාගැබ නිසා අහස් තලයෙහි ශෝභමාන ව බැබළුණු පුන් සඳ මඬලෙහි සිරියෙන් රාජ මාලිගය ආලෝකමත් වී තිබිණි. මහරජු උඩුමහල් තලයෙහි සඳ සිරි විඳිමින් කල්පනාබරිත ව සිටිනු දුටු කුම්භීර යක් සෙනෙවි අහස් ගමනින් බැස රජු ඉදිරියෙහි පෙනී සිටියේ ය.

“කිමද මහරජ, ශෝකාකූල ව හුදකලාවෙහි?” “දෙවිඳ මාගේ නියෝගයෙන් මා පියාණන් ඝාතනය වූ බැව් සිහිපත් වන විට මා හද දරාගත නොහැකි ශෝකයකින් පෙළී යයි.”

හේ අජාසත් මහරජ ය. දෙව්දත් නැමැති අසත්පුරුෂයා නිසා නොමගට වැටී පවින් බර විය. මෙසේ සිතූ කුම්භීර සෙනෙවි රජු තුටු කරනු රිසියෙන් මෙසේ පවසන්නට වූයේය.

“මහරජ, තුටු වව්! තෙපි කෙරෙහි මහත් විශ්වාසයක් තබා අරහත් මුනිවරු මේ රජගහ නුවරට එක් වී, ධර්මය සුරකිනු පිණිස අද සංගායනාව ඇරඹුවා නොවෙද? සිහි කරව, අප සම්මා සම්බුදුරජාණෝ මේ සිදුවන සියල්ල සම්බුදු නුවණින් දැක වදාළ සේක් ම ය. තෙපි ධර්ම සංගායනාව පිණිස වැඩම කළ පන්සියයක් රහත් මුනිවරුන් හට උවටැන් කරන්නේ නොවෙද? දෙව් විමනක් බඳු මණ්ඩපයක් වේභාර පර්වත පාමුල තනවා සංගායනාවට වැඩි මහ සඟරුවනට පිදුවා නොවෙද?”

“තුටු වව් මහරජ, අප සම්බුදු රජුන්ගේ සෙවණැල්ල බඳු වූ ධර්ම භාණ්ඩාගාරික අපගේ අනඳ තෙරුන් අරහත්වයට පත් වන තුරු, සක් දෙවිඳුන් ඇතුළු අපි සියලු දෙනා අනඳ තෙරුන්ගේ අබියසට වී බලා සිටියෙමු. අනාගතයේ දී, ධර්ම සංගායනාවේ මුලසුන හෙබවූවේ අරහත් උතුමෙකු නොවේ යැයි කියා චෝදනා එල්ල වේ යැයි කියා බියෙන් ඒ මුනිඳුත්, අපිත් බලා සිටියෙමු.

අප සම්බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිබඳව දැඩි විශ්වාසයකින් අපි පසු වූයෙමු. අභිභූ සූත්‍රය දේශනා කරන කල්හී දීත්, පරිනිර්වාණ මංචකයේ දීත් අප සම්බුදුරජාණෝ වදාළ සේක් මයි, ‘ආනන්දය, ඔබ මේ ජීවිතයේ දී ම අරහත්වයට පත් වන්නේය.’ මහරජ, මෙයයි අපගේ අනඳ තෙරුන්ට කමටහන වූයේ. අද හිමිදිරියෙහි සංගායනාව ආරම්භ වීමට සූදානම් ව, ඔබ විසින් තනන ලද මණ්ඩපයෙහි සම්බුදු රජුන් උදෙසා අසුනක් පනවා තිබුණා නොවෙද? එක් පසෙක මහා කස්සප මහරහත් මුනිඳුන්ටත්, අනෙක්පස උපාලි මහරහත් මුනිඳුන්ටත්, අපගේ අනඳ තෙරුන්ටත් අසුන් පනවා තිබුණා නොවෙද? සංගායනාවට අනඳ තෙරුන්ගේ පැමීණීම බලාපොරොත්තුවෙන් සිටි සක් දෙවිඳුන් ඇතුළු අපි අනඳ තෙරුන්ගේ කුටියට පැමිණියෙමු. මහරජ, අප දුටුවේ රැය පුරා සක්මන් කොට අනඳ තෙරුන් ඇඳෙහි සැතපෙන්නට සැරසෙන දසුනයි. සිතෙහි වූයේ අප සම්බුදු රජුන්ගේ බුද්ධ වචනය යි.

‘ආනන්දය, ඔබ මේ ජීවිතයේ දී ම අරහත්වයට පත් වන්නේය.’ මෙය ම සිහි කළ අප අනඳ තෙරුන්ගේ සිත බුද්ධානුස්සතියෙහි වැඩී ගියේය. මහරජ, අපගේ අනඳ තෙරුන් පා ඔසවා ඇඳෙහි සැතපෙන්නට පළමු අරහත්වයට පත් වූ සේක. දෙවිවරුන් වූ අපි ඒ දැක සාදුකාර දුන්නෙමු. මේ අසිරිමත් සිදුවීම දුටු අපගේ මහා කස්සප මහරහත් මුනිඳාණෝ අපගේ ආනන්ද මහරහත් මුනිඳුන් වඩින තුරු සංගායනාව ආරම්භ නොකළ සේක් ම ය. මොහොතින් පොළොවෙහි කිමිදුණු අපගේ ආනන්ද මහරහත් මුනිඳාණෝ ඔබ විසින් තනවන ලද වූ මණ්ඩපයෙහි පැන වූ අසුනෙන් මතු වී සිටි සේක. අපගේ මහා කස්සප මහරහත් මුනිඳාණෝ, ‘අද භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියා නම්, අපගේ ආනන්දයන් හට සාදුකාර පවත්වන සේක. එබැවින් ඒ කෘත්‍යය මා විසින් ම සිදු කළ යුතු ය.’ යැයි සිතා තුන් වරක් සාදුකාර පැවැත්වූ සේක.

මහරජ, තුටු වව්! අද නිකිණි පුන් පොහෝදා හිමිදිරියේ ම ඔබගේ උවටැන් ලබා, ඔබ පූජා කළ කුටියෙහි වැඩ සිටිමින් අපගේ අනඳ තෙරුන් වහන්සේ අරහත්වයට පත් වූ සේක. මහරජ තුටු වව්! ධර්මය සුරකිනු පිණිස පන්සියයක් මහරහත් මුනිවරු එක් ව, තුන් මසක් පුරා මේ ධර්ම සංගායනාව ඔබගේ උවටැන් මැද, ඔබ පිදූ මණ්ඩපයෙහි වැඩ සිටිමින් පවත්වන සේක.

මහරජ, අප මුනිඳුන්ගේ අසිරිමත් සසුනෙහි පනවන ලද ශික්ෂා පද උපාලි මහරහත් මුනිඳුන් පළමුව සංගායනා කිරීම ආරම්භ කළ සේක්. විනය සිල් පදයක් සිල් පදයක් පාසා සංගායනා කොට අවසන් වීමත් සමඟ සාගරය සීමා කොට පවතින මිහිකත තොමෝ කම්පා වී යන්නීය. අපගේ අනඳ තෙරුන් ධර්මය සංගායනා කිරීම අරඹන කල්හී දෙසුමක් දෙසුමක් පාසා මිහිකත තොමෝ සාදුකාර දෙන්නියක මෙන් කම්පා වී යන්නීය. මහරජ, තුටු වව්! ඔබගේ උවටැන් මැද මේ සංගායනාව මැනවින් සිදු වන්නේ ය. අපගේ මහා කස්සප මහරහත් මුනිඳුන්ගේ අදිටන් බෙලෙන් මේ ධර්මය හා විනය පන්දහසක් කල් පවතින්නේය.

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අදිටන් බලයත් මෙය මැයි මහරජ. එහෙයින් මහරජ, අප හට බොහෝ කටයුතු ඇත්තේය. තෙප ි අප්‍රමාදී වව්. කියා අහසට නැගී කුම්භීර සෙනෙවියා අතුරුදහන් වී ගියේය.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.