​කර්මය නම් වූ කඩ ඇණයෙන් හිර වූ, දුක නමැති රෝද කරකැවෙන, තෘෂ්ණාව නමැති ගවයන් බැඳි, අවිද්‍යාවෙන් නිමවන ලද ගැලෙහි නැගගත් සත්වයා යා යුතු නිනව්වක් නොදැන සසර පුරා ඔහේ සැරිසරා යයි. ඒ අයුරින් දීර්ඝ චාරිකාවක යන අතරතුර ඉතා ම කලාතුරකින් මනුලොවට ද පා තබයි. එසේ පැමිණි මිනිසුන්ගේ ජීවිත වෙනස් වන්නේ නොසිතූ නොපැතූ අයුරින් ය. ලෝකයේ ස්වභාවය නම් “චින්ති තම්පි විනස්සති – අචින්ති තම්පි භවති” සිතු දේ නොමවී නොසිතූ දේ සිදු වීම යි. බොහෝ විට මෙය පුද්ගල ජීවිත තුළ ද ක්‍රියාත්මක වෙයි. සමහර අයගේ ජීවිත වෙනස් කරවන්නට විශාල කාලයක් ගත වන්නේ නැත. එක් පුංචි දෙයකින් මුළු ජීවිතය ම උඩුයටිකුරු වී යන්නට පුළුවන. ජීවිතයක් වෙනස් වීම හොඳ අතටත්, නරක අතටත් වෙන්නට පුළුවන. එසේ ම ඒ වෙනස් වීම තාවකාලික මෙන් ම සදාතනික වන්නත් පුළුවන. ඒ වගේ ම එකී වෙනස ළාමක වෙනසක් බවටත්, උත්තරීතර වෙනසක් බවටත් පත් විය හැකිය.

කෙනෙකුට බලාපොරොත්තු නොවූ මොහොතක කෝටි ගණනක ලොතරැයි වාසනාවක් ඇදෙන්නට පුළුවන. වටිනා මැණිකක්, නිධානයක්, ලැබෙන්නට පුළුවන. එයින් ද ජීවිතය වෙනස් වෙයි. එසේ ම නොසිතූ ලෙස ව්‍යාපාර දියුණුව, අනගි රැකියා අවස්ථා ලැබීම, ජනප්‍රියභාවය ලැබීම, වරප්‍රසාද ලැබීම, යාන වාහන ලැබීම ආදී දෙයින් ද ජීවිත වෙනස් වී යයි. එසේ ම සුනාමි, ගංවතුර, නාය යෑම් වැනි ව්‍යසන නිසාත්, ව්‍යාපාර කඩා වැටීම, ලෙඩ දුක් මරණ ආදිය නිසාත්, ජීවිතය සුළු මොහොතකින් වෙනස් විය හැකිය. වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා පුද්ගල ජීවිත මොනතරම් වෙනස් වී ගියා ද… නමුත් මේ හොඳ වේවා නරක වේවා සෑම වෙනස්වීමක් ම කෙටිකාලීන දේවල් ය. එපමණක් නොවේ, මේ සෑම දෙයක් ම අයිති කාමයටයි. හීන වූ ළාමක වූ දෙයටයි. මේ වෙනස් වීම දින ගණනකින්, සති මාස අවුරුදු ගණනකින් අවසන් වී යයි. උපරිම වශයෙන් මේ ජීවිතය තුළ පමණක් ම පවතී.

පුද්ගල ජීවිතය වෙනස් කරන තවත් පැතිකඩක් තිබේ. එක වචන මාත්‍රයකින් පුද්ගලයෙකුගේ සංසාර ගමන සහමුලින්ම සිඳ දමනවා නම් නිරයේ, ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ, අසුර ලෝකයේ විඳින්නට ඇති සියලු දුක් අවසන් වෙලා යනවා නම් ඒ වෙනස් වීම මොනතරම් අසිරියක් ද… මොනතරම් විස්මිත දෙයක් ද… සැබෑවට ම ජීවිතය වෙනස්වීම යනු මෙයයි. එබඳු වෙනස් වීම් ද මේ ලෝකයේ සත්‍ය වශයෙන් ම සිදු වුණි. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එවන් අසිරිමත් වූ වෙනස්කම් සිදු කළ අද්විතීය උත්තමයාණෝ ය. උන්වහන්සේ එකම එක බණ පදයකින් පුද්ගල ජීවිත මහා වෙනස්වීමකට බඳුන් කළ සේක. එසේ වෙනස් වූ මිනිසුන්, දෙවියන්, බඹුන් ගණනින් අපමණ ය. මේ ඒ අයුරින් වෙනස් වූ ජීවිතයක් ගැන සිදු කරන හෙළිදරව්වකි.

ඔහු කිසි දිනෙක නොසිතන්නට ඇති ඔහුගේ ජීවිතය මෙලෙසින් වෙනස් වේවි යැයි කියා. ඔහු නමින් උග්ගසේන ය. රැකියාව වශයෙන් කළේ සර්කස් කණ්ඩායමක සංදර්ශන දැක්වීමයි. නමුත් ඇත්තෙන් ම උග්ගසේන යනු සිටු පුත්‍රයෙකි. ඔහු සර්කස් කරුවෙකු බවට පත් වූයේ මෙලෙසිනි. එය සිදු වූයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී ය. දිනක් සැමියාත්, බිරිඳත් එක්තරා ගමනක් යමින් සිටියහ. ගමන අතරමගදී ඔවුනට පිඩු සිඟා වඩිනා රහතන් වහන්සේ නමක් මුණගැසුණි. දෙදෙනා ම එක් වී දානය පූජා කොට “ස්වාමීනී, ඔබ වහන්සේට පිදූ දානයෙන් මෙලොවදී ම ප්‍රතිඵල ලැබේවා”යි කියා පැතූහ. රහතන් වහන්සේ ද ඔවුන්ගේ ප්‍රාර්ථනාව සඵල වෙනු දැක මඳ සිනා පහළ කළ සේක.

එය දුටු ස්ත්‍රිය තම ස්වාමියාට “මේ ආර්යයන් වහන්සේ සිනා වෙන්නේ හරියට සර්කස්කාරයෙක් වගේ නොවැ” යි කීවාය. ස්වාමියා හිස වනා  එය අනුමත කළේය. සිදු වූයේ එපමණ ය. ඔවුහු මරණින් මතු දෙවියන් අතර ඉපිද අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ මනුලොව උපත ලැබූහ. ස්ත්‍රිය එදා රහතන් වහන්සේට කී වචනය හේතුවෙන් උපන්නේ සර්කස් පෙන්වමින් ජීවිකාව ගෙන යන පියෙකුට දාව ය. ඇගේ ජීවිකාව වූයේ ද සර්කස් පෙන්වීමයි. එදා තරුණයා මෙකල උග්ගසේන නමින් සිටු නිවසක උපත ලැබීය. එදා රහතන් වහන්සේට බිරිඳ කී වචනය හිස සලා අනුමත කළ නිසා එයට විපාක ලැබීමට සුදුසු පරිදි, ටිකෙන් ටික පරිසරය සැකසුණේය.

පෙර කී තරුණිය සිටින සර්කස් කණ්ඩායම ක්‍රමයෙන් රජගහ නුවරටත් පැමිණියේය. දිනක් උග්ගසේන සිටු පුත්‍රයා ද මිතුරන් සමඟ සර්කස් බලන්නට ගියේය. එදා අර තරුණිය විස්මිත ලෙස සර්කස් පෙන්වූවාය. සසර පුරුද්දත්, බැඳීමත් සමඟ කර්මය එකට එක් වෙමින් උග්ගසේනගේ හිත එම තරුණියට තදින් බැඳී ගියේය. ඒ බැඳුණු සිතින් ම ආපසු සිටු මැදුරට ගිය ඔහු, ‘ඇය ලැබුණොත් ජීවත් වෙමි. නොලැබුණොත් මියැදෙමි’ යි සිතා ආහාරපාන ද වර්ජනය කොට ඇය පතා සිටියේය. දෙමාපියන් විසින් හේතු විමසූ කල්හි සියල්ල හෙළි කළ උග්ගසේන ඇය ම පැතුවේය. දෙමාපියන් කොතෙක් කීව ද ඔහුගේ සිත වෙනස් කළ නොහැකි විය. අවසානයේ ඔහුගේ පියා, දියණිය දෙන ලෙස කියා කහවණු දහසක් ද සමඟින් ඇගේ පියාට පණිවිඩයක් යැවීය. නමුත් ඔහු කියා සිටියේ මුදලට දියණිය නොදෙන බවත්, ඔවුන් සමඟ ආවොත් දියණිය ලබා දෙන බවත් ය. මේ බව ආරංචි වූ උග්ගසේන සියලුදෙනාගේ කීම බැහැර කොට සිටු සැප අතහැර සර්කස් කණ්ඩායමට ගියේය. කර්මය විපාක දෙන අයුරු නම් පුදුම සහගත ය. සිතා ගන්නටත් නොහැක්කේ ම ය.

උග්ගසේනට තරුණිය ලැබුණි. කාලයාගේ ඇවෑමෙන් ඇය පුතෙක් බිහි කළාය. ඇය තම දරුවා නළවන්නේ, ‘කරත්ත රකින්නාගේ පුතා නැළවියන්. බඩු අදින්නාගේ පුතා නැළවියන්, තණකොළ කපන්නාගේ පුතා නැළවියන්’ ආදී ලෙස උග්ගසේනට ඇනුම් පද කියමින්ය. උග්ගසේන සර්කස් පෙන්වන්නට නොදනී. ඒ නිසා ඔහු කරන්නේ සර්කස් කණ්ඩායමේ ආවතේව කටයුතු ය. මේ අවලාද අසා සිටින්නට බැරිව අවසානයේ උග්ගසේන තම මාමණ්ඩිය වෙත ගොස් සර්කස් ඉගෙන ගත්තේය. පසුව ඒ සර්කස් කණ්ඩායමේ අති දක්ෂයා බවට උග්ගසේන පත් විය. මොවුහු    ගම් නියම්ගම් පුරා සැරිසරමින් පෙරළා රජගහ නුවරට සේන්දු වූහ. මිනිසුන් රොද බැඳ ගත්තේ ඔවුන්ගේ අපූර්ව සංදර්ශනය නැරඹීමට ය.

එදා ඒ සුන්දර දවස උදා විය. මේ උදා වන්නේ තමන්ගේ මුළු ජීවිතය ම පමණක් නොව සංසාර චාරිකාව ම වෙනස් කරන දවස බව උග්ගසේන නොදත්තේය. නමුත් ඒ බව එක් අයෙක් අයෙක් දැන ගත්තේය. ඒ මහා කාරුණික තථාගතයන් වහන්සේ විසිනි. උන්වහන්සේ උදෑසන ලොව බලන විට දුටුවේ උග්ගසේනට පමණක් නොව, ඔහුගේ බිරිඳටත් බොහෝ මිනිසුන්ටත් ධර්මාවබෝධයට මග විවරවී ඇති බවයි. සියලු දෙනා හට අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ රජගහ නුවර පිඬු සිඟා වැඩි සේක. මේ කිසිත් නොදන්නා උග්ගසේන සුපුරුදු පරිදි තම හැකියාවන් පෙන්වන්නට සැට රියන් උස උණ ගසකට නැගුණි. මිනිස්සු මහත් සේ ඝෝෂා කරමින් විසිල් ගසන්නට පටන් ගත්හ. ඔල්වරසන් දෙන්නට වුහ.

ගත වූයේ නිමේෂයකි. දැඩි නිහඬ බවක් ඇතිවුණි. සිදු වූයේ කුමක්දැයි බැලූ විට උග්ගසේනට දැක ගන්නට ලැබුණේ පැමිණි සියලු දෙනා ම වෙනතක් බලා සිටින බවයි. භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩම කර සිටිති. සියල්ලෝ ම ඒ දෙස දෑස් දල්වා බලා සිටිති. ඒ මොහොතේ උග්ගසේන “අනේ මගේ ශිල්ප හිස් දෙයක්” යැයි සිතුවේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත දැක මහා මුගලන් මහරහතන් වහන්සේව අමතා, “මොග්ගල්ලාන, සිටු පුත්‍රයාට ශිල්ප දක්වන්න කියා කියන්න” යැයි වදාළ සේක. මොග්ගල්ලානයන් වහන්සේ ද උණ ගස යටට ගොස් “සිටු පුත්‍රය, සියල්ලන්ට ම ශිල්ප දක්වන්න” යැයි පැවසූහ. ඒ මොහොතේ උග්ගසේනට මහත් සතුටක් ඇති විය. ජනතාව ද ඔල්වරසන් දෙමින් අසුරු ගසන්නට පටන් ගත්හ. අතිශයින් ම ප්‍රමෝදයට පත් උග්ගසේන උණ ගස මුදුනේ සිට අහසට පැන දාහතර වතාවක් කරකැවෙමින් කරණම් ගසා නැවත උණ ගස මත ම තමාගේ දෙපා තැබීය. ඒ මොහොතේ ම උග්ගසේන සිටු පුත්‍රයාගේ ජීවිතය වෙනස්කරන අති උත්තම දම් පදය ඇසෙන්නට විය. භාග්‍යවතුන් වහන්සේ මිහිරි හඬින් මේ ගාථාව වදාළ සේක.

“මුඤ්ච පුරේ මුඤ්ච පච්ඡතෝ
– මජ්ඣේ මුඤ්ච භවස්ස පාරගූ
සබ්බත්ථ විමුත්තමානසෝ
– න පුනං ජාතිජරං උපේහිසි”

“අතීතය ගැන පසුතැවෙන එක අත්හරින්න. අනාගතය මවන එකත් අත්හරින්න. වර්තමානයට බැඳෙන එක අත්හරින්න. මේ භවයෙන් එතෙර වෙන්න. හැම දේකින් ම මිදුණු සිතක් ඇති කෙනෙක් වෙන්න. ආයෙ ආයෙමත් මේ ඉපදෙන දිරන ලෝකයට නොඑන කෙනෙක් වෙන්න.”

අහෝ! මෙවන් අසිරියක්… උග්ගසේන සිටු පුත්‍රයා උණ ගස මත සිටියදී ම සියලු කෙලෙස් නසා මහරහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක. කොතරම් අපූර්ව ජීවිත වෙනස් කිරීමක් ද…! උග්ගසේනට නැවත සසර ගමනක් නැත. ජරාවට පත් වීමක් නැත. මරණයක් නැත. මෙය නොවේද සැබෑවට ම ජීවිතය වෙනස් කරන ක්‍රමය. ඔහු උණ ගසෙන් බිමට බැස භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා​කොට පැවිදි උපසම්පදාව ඉල්ලා සිටියේය. භාග්‍යවතුන් වහන්සේ තම දකුණු හස්තය දිගු කොට ‘ඒහි භික්ඛු’ පැවිදි උපසම්පදාව ලබා  දුන් සේක. ඒ මොහොතේ ම සියලු ගිහි වස්ත්‍ර ඉවත් වී සිවුරු පෙරවී හැට වයස් පිරුණු මහා තෙරනමක් මෙන් දිස් විය. උග්ගසේන නම් වූ සර්කස්කරුවා උග්ගසේන මහරහතන් වහන්සේ බවට පත් වූයේය. ඒ මොහොතේ තවත් බොහෝ පිරිසක් ධර්මාවබෝධ කළහ. එසේ ම උග්ගසේන සිටු පුත්‍රයාගේ බිරිඳ ද භික්ෂුධෑන් අතර පැවිදි වී අරහත්වයට පත් වූවාය.

බණ පදයකින් ජීවිතය වෙනස් කළ අයුරු මොන තරම් සුන්දර ද… අසිරිමත් ද…

“සුඛෝ බුද්ධානං උප්පාදෝ” – බුදුවරුන්ගේ උපත සැපයකි…

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි