නීලහරිත තුරුහිස් මතුපිට නේක පැහැ අතුරමින් සුපුෂ්පිත මල්පෙති මත කෝමළ රේඛා මවමින් සඳකැන් දිලිසෙනවා. කන්දටත්, තැන්නටත්, කැලයටත්, මුඩු බිමටත්, ගංගාවටත්, මහ මුහුදටත් ආදී වූ හැමතැනට ම එක සේ ම ගලා හැළෙන චන්ද්‍රරේඛාවන් දකින හැම විටක ම මට සම සිතින්, සම මෙතින් සියලු ලෝක සත්වයා කෙරෙහි පැවති චරණ ධර්මයෙන් යුතුව වැඩ සිටි මාගේ ශාස්තෘන් වහන්සේව සිහි වනවා. උපමා රූපකවලින් දැක්විය නොහෙන ළතෙත් දයා ගුණයෙන් යුතුව ලෝසතට සියලු යහපත සැලසූ විසාරද ගුණ මුහුදාණන් වහන්සේට නමස්කාර වේවා!

ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇති කර ගැනීමෙන් පවා සුගති රැකවරණ සැලසෙනවා. නිවන් මගේ ගමන් කරන්නෙකුට ඇති ශ්‍රේෂ්ඨතම ධනය තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ ස්වභාවය තමයි නීවරණ යටපත් කරලීම.

“උදකප්‍රසාද මාණික්‍යය ජලයෙහි දැමූ විට දිය සෙවෙල් ආදිය පහව යන්නේ යම් සේ ද මඩ යටට බසින්නේ යම් සේ ද වතුර ටික ඉතා යහපත්ව, ප්‍රසන්නව, නොකැළඹී තිබෙන්නේ යම් සේ ද මහරජාණෙනි, ඒ අයුරින්ම ශ්‍රද්ධාව උපදින විට නීවරණ යටපත් වෙයි. නීවරණ රහිත සිත ඉතා යහපත් ය; ඉතා ප්‍රසන්න ය ; කැළඹීම් රහිත ය. මහරජාණෙනි, පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුක්ත ශ්‍රද්ධාව දත යුත්තේ ඔය අයුරිනි.”

(මිළිඳුරාජ ප්‍රශ්නය – මහා වර්ගය)

පැහැදුනු සිතින් යුතුව සම්බුදුරජාණන් වහන්සේ විෂයෙහි පුද පූජාවන් කිරීමෙහි පුණ්‍ය විපාකය ගැන කවර කථා ද? බලන්න, පහන් සිතින් පින් කරන්නට යෑම තුළ පවා රැකවරණය උපදින හැටි…

“මට ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ නෑ.

මං ඒ මල් ගෙන බුදුරජුන්ගේ ස්ථූපය කරා ගියා.

ශාස්තෘන් වහන්සේගේ උතුම් බුදු සිරුර ගැන හිතද්දී මගේ හිතට පුදුමාකාර සතුටක් දැනුනා. මං ඒ ස්ථූපය ගැනමයි සිත සිතා හිටියේ.

මට ස්ථූපය ළඟට ගිහින් මල් පූජා කරගන්නා අදහස ඉටුකර ගන්න බැරි වුණා. ගව දෙන ඇනලා මං මැරුනා. ඉතින් මට ඒ පින රැස්කර ගන්න පුළුවන් වුණා නම් මීටත් වඩා උතුම් සැප ලැබෙනවා කියලයි මට හිතෙන්නේ.”

දෙදෙව් ලොවට අධිපති, ඉසුරින් ආඪ්‍ය වූ සක් දෙවිඳු ඒ දෙව්දුවගේ පුණ්‍ය විපාකය ගැන සතුටට පත් වුණා. දෙව්පිරිසේ පැහැදීම වඩවනු පිණිස සක් දෙවිඳු මෙහෙම කිව්වා.

“පින්වත් මාතලී, මේ පුණ්‍ය විපාකය දිහා බලන්න. හරි අසිරිමත් නේද?

දිය යුතු දේ ඉතා යන්තම් දෙයක් වුණත් ඒ පින මහත්ඵල ඉපදෙව්වා නෙව.

තථාගත වූ බුදුරජාණන් වහන්සේ ගැන වේවා, තථාගත ශ්‍රාවකයන් ගැන වේවා සිත පහදවාගෙන සුළු දෙයක් දුන්නත් ඒ දක්ෂිණාව අල්ප වෙන්නෙ නෑ.

පින්වත් මාතලී, එන්න අපිත් තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වඩ වඩාත් පුදමු. පින් කිරීමමයි සැපය කියන්නෙ.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දීත්, උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් සම සිතින්ම යම් පූජාවක් කරනවා නම් සම විපාක ලැබෙනවා. මේ සත්වයන් සුගතියේ උපදින්නෙ සිත පිහිටුවා ගන්නා වූ යහපත් දේ අනුවමයි.”

(නව වෙනි පීත විමාන වස්තුව)

බලන්න, ‘පැහැදුනු සිතින් පින් කිරීම’ මොන තරම් වටිනවා ද…! ලොවට අනුකම්පා ඇති සත්පුරුෂයන් වහන්සේලා අනුශාසනා කරන්නේ පැහැදීමෙන් යුතුව පින් කිරීමට ම යි.

“පින්වත් චණ්ඩාල ස්ත්‍රිය, මේ වැඩඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ මහා කීර්තිමත්. දැන් ඔබ උන්වහන්සේගේ සිරිපා යුග වැඳපුදා ගන්න. කල්ප සියයක් ඇතුළත පහළ වී වදාළ සත්වෙනි ඍෂිවරයාණන් වහන්සේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ වැඩඉන්නේ.

රහතන් වහන්සේ කියන්නේ අටලෝ දහමින් කම්පා නොවන කෙනෙක්. සිත පහදවා ගන්න. ඉක්මනින්ම ඇඳිලි බැඳ වන්දනා කරගන්න. තව බොහෝම ටික වෙලාවයි ඔබට ජීවත් වෙන්න තියෙන්නේ.”

(චණ්ඩාලී විමාන වස්තුව)

දියුණු කරපු සිතක් තිබුණ, අන්තිම සිරුර දරා වැඩසිටිය උත්තම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ විසින් මේ විදිහට සැඩොල් ස්ත්‍රියක පිනට පෙළඹෙව්වා. ඒ සැඩොලිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුග වන්දනා කරගත්තා. වැඳගත් වන ම සම්බුදුරජුන් වඩින දෙස බලා සිටි ඒ සැඩොලිය ගව දෙනක් විසින් අනිනු ලැබීමෙන් මරණයට පත් වුණා. නිදා පිබිදියාක් සේ දෙව්ලොව උපන්නා.

“ඒ මං බුදුරජුන්ගේ සිරිපා යුග වන්දනා කරගෙන සැඩොල් යෝනියෙන් චුත වුණා. නන්දන වනයෙහි දිව්‍ය විමානයක උපන්නා. මේ විමානය හැම අතින්ම ලස්සනයි. දිව්‍ය අප්සරාවන් ලක්ෂයක පිරිවරක් මට ඉන්නවා. ඒ සියලු දෙනා අතරින් ශරීර ශෝභාවෙන්, යසසින්, ආයුෂයෙන් ඒ හැම දෙනාටම වඩා උතුම් කෙනෙක් වුණා.”

(චණ්ඩාලී විමාන වස්තුව)

පැහැදුනු සිතින් සම්බුදුරජුන්ට වැඳුම් පිදුම් කරනවා සේ ම උන්වහන්සේ දරා වැඩ සිටියා වූ අපමණ ගුණ සිහි කරමින් පහන් සිත් උපදවා ගැනීමත් අසිරිමත් පුණ්‍ය විපාක උපදවා දෙනවා. උන්වහන්සේ මහානුභාව සම්පන්නයි. සම්බුදුරජාණන් වහන්සේ කැමැති වන සේක් නම්, තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවටම කටහඬ අසන්නට සලස්වන්නට පුළුවනි. තවත් කැමැති වෙනවා නම් එයටත් එහා කටහඬ අසන්නට සලස්වන්නටත් පුළුවනි. දහම් පිළිසඳරක දී ඒ බව අසන්නට ලැබුණු ආනන්ද ස්වාමීන් වහන්සේගේ සිතෙහි මහත් පැහැදීමක් උපන්නා.

“මාගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මහා ඉර්ධි ඇති සේක් ද මෙවැනි මහා ආනුභාව ඇති සේක් ද එය වනාහී ඒකාන්තයෙන්ම මට ලාභයක්මයි. ඒකාන්තයෙන්ම මට ඉතා යහපත් ලැබීමක්මයි.”

(ආනන්ද සූත්‍රය, අං. නි. 01)

එතැන සිටි උදායි භික්ෂුව ඒ මොහොතේ මෙහෙම කිව්වා.

“කිම ආයුෂ්මත් ආනන්ද, ඔබගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මහා ඉර්ධි ඇති සේක් නම්, මෙවැනි මහා ආනුභාව ඇති සේක් නම්, මෙහිලා ඔබ කවුද?”

එවිට භාග්‍යවතුන් වහන්සේ උදායි තෙරුන් හට මෙය වදාළා.

“පින්වත් උදායි, එහෙම කියන්න එපා! පින්වත් උදායි එහෙම කියන්න එපා! ඉදින් උදායි, ආනන්දයන් රාගය ප්‍රහාණය නොකොට කළුරිය කරනවා නම්, ඔය ඇති වූ චිත්තප්‍රසාදය හේතු කොටගෙන සත්වරක් දිව්‍යලෝකයෙහි දිව්‍ය රාජ්‍යය කරන්නට පුළුවනි. මේ දඹදිව් තලයේම සත්වරක් මහා රාජ්‍යය කරන්ටත් පුළුවනි. නමුත් උදායි, ආනන්දයන් මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා.”

(ආනන්ද සූත්‍රය, අං. නි. 01)

සියලු ගුණයෙහි පරතෙරට පැමිණ වැඩ සිටියා වූ ඒ මහා මුනිරජුන්ගේ ගුණ මහත්වය ගැන පහදින්න. අසම වූ අවබෝධය ගැන පහදින්න. එසේ පැහැදුනු සිතින් යුතුව, පැහැදීම රැකගෙන පින් කරන්න. එවිට, කුඩා පිනකින් වුවත් බලවත් පුණ්‍යවිපාක උපදිනවා. ඒ පින අපට සුගතියටත්, නිවනටත් මග කියනවා…!

සුපසන් සිතින් පින් කරන්නට අපට වාසනාව ලැබේවා!

තෙරුවන් සරණයි!