‘අප රැස් කරන්නා වූ කර්මවල විපාක ඊ ළඟ ජීවිතයක දී ම තමයි විපාක දෙන්නේ, මේ ජීවිතයේ දී එහි විපාක අපට ලැබෙන්නේ නෑ…’ කියා මතයක් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් තුළ තියෙනවා. බැලූ බැල්මට රැස් කරන කර්මවල විපාක මේ ජීවිතයේ දී ම ලැබෙන අයුරක් ප්‍රකටව නොපෙනෙන නිසාවෙන් බොහෝ අය තුළ මේ ආකාරයේ අදහසක් ඇති වීමට හේතු විය හැකි යි.

උදාහරණයක් විදියට සතුන් මරන්නා කොපමණ ප්‍රාණීන්ගේ ජීවිත නැසුවත් මේ ජීවිතයේ දී කිසි කරදරයක් පීඩාවක් නැතිව කාලය ගත කරන අයුරු පෙනෙන්ට පුළුවන්. සමහරු කොපමණ පින් කළත් ජීවිතය පුරා ම දුක් විඳින අයුරු ප්‍රකටව පෙනෙන්ට පුළුවන්. නමුත් එසේ බාහිරට පෙනුන පමණින් ‘අප රැස් කරන කර්ම මේ ජීවිතයේ දී ම විපාක නො දෙන්නේ ය. ඒ සියල්ල මතු ජීවිතයක දී ම අපට විපාක දෙන්නේ ය’ යන අදහසට පැමිණීම නිවැරදි නැහැ. මන්ද අප රැස් කරන පුණ්‍ය කර්මයන්ගේ විපාක මේ ජීවිතයේ දී ම අත්දැකිය හැකි නිසාවෙන්.

කර්මය සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේගේ විග්‍රහය මනරම්. මේ ආකාරයෙන් කර්මය පිළිබඳ ව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනුමාන කර නො වෙයි. ඒ සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේට බලයක් තියෙනවා. එය විස්තර කෙරෙන්නේ මේ ආකාරයෙනු යි.

“අතීත අනාගත වර්තමාන යන කාල තුනට ම අයත් ව යම්තාක් කර්ම ඇත් ද ඒ වාගේ ම එහි විපාක ඇත් ද ඒ සියල්ල සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් ම දැකීමේ පරිපූර්ණ අවබෝධයක් තථාගතයන් වහන්සේට පවතී.”

(මහා සීහනාද සූත්‍රය – ම. නි. 1)

ඉතින් මේ ආකාරයේ අවබෝධයකින් යුතු අප තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා අප රැස් කරන කර්මවල විපාක ආකාර තුනකින් විපාක දෙන බව. ඒ අපූරු විස්තරය අපට හමු වන්නේ අංගුත්තර නිකායේ කරජකාය සූත්‍ර දේශනාවේ දී.

“මහණෙනි, මම කරන ලද, රැස් කරන ලද, දැන දැන කළ කර්මයන්ගේ විපාක නො දී අවසන් වීමක් නො කියමි. එය මේ ජීවිතයේ දී හෝ ඊ ළඟ ජීවිතයේ දී හෝ වෙන තැනක වෙනත් ආකාරයෙන් හෝ විපාක දේ. මහණෙනි, කරන ලද, රැස් කරන ලද, දැන දැන කළ කර්මයන්ගේ විපාක නො දී අවසන් වීමක් නො කියමි.”

ඒ අනුව මේ ජීවිතයේ දී ම අප විසින් රැස් කරන කර්මයන්ගේ විපාක ලැබෙන්නේ යැයි තේරුම් ගත යුතු වෙනවා. මේ සඳහා අපට උතුම් බුද්ධ දේශනා ඇසුරෙන් ඕනෑ තරම් සාධක සොයා ගත හැකියි. මේ ලිපිය සැකසෙන්නේ ඒ අයුරින් අප රැස්කරන පුණ්‍ය කර්මයන්ගේ විපාක මේ ජීවිතයේ දී ම ලැබෙන අයුරු ගැන බුද්ධ දේශනා ඇසුරෙන් විමසීමක් කරන්නටයි.

ඕලාරික ව අපට එවැනි අවස්ථාවන් අතීත සිදුවීම් ඇසුරෙන් සොයාගන්න පුළුවන්. සුමන මල්කරු තථාගතයන් වහන්සේට මල් පූජා කිරීමෙන් මේ ජීවිතයේ දී ම එහි විපාක ලද අයුරු ඔබට මතක ඇති. ඒ වගේ ම මල්ලිකා බිසව, පුණ්ණ සිටුවරයා ආදී කතා වස්තු ඇසුරෙන් මේ ජීවිතයේ දී ම පින්වල විපාක ලැබූ විස්තර අප අසා තිබෙනවා. නමුත් අප දැන් විමසන්නට උත්සාහ කරන්නේ පොදුවේ සත්වයාගේ ජීවිතයට පින මේ ජීවිතයේ දී ම විපාක දෙන අයුරුයි.

පුණ්‍ය ක්‍රියා ගැන අප මඳක් විමසුවොත් භාග්‍යවතුන් වහනසේ අපට පෙන්වා දෙනවා දාන, සීල, භාවනා කියන ආකාර තුනෙන් ම අපට පින් රැස්කර ගන්න පුළුවන් කියා. ඒ අතුරින් දානය ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ තමන් සතු දෙයක් අත්හැරීම සම්බන්ධව යි.
අප භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ සිටිය දී සීහ සේනාපති පැමිණ දන් දීමෙන් මේ ජීවිතයේ විපාක ලැබීමක් පැනවිය හැකිදැයි විමසා සිටියා.

ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ දානයේ සන්දිට්ඨික විපාක මේ ආකාරයෙන් පෙන්වා දුන් සේක.

1. “සීහ, දන් දෙන කෙනා බොහෝ ජනයාට ප්‍රියමනාප වෙයි.

2. දන් දෙන කෙනාට ශාන්ත වූ සත්පුරුෂයන් ඇසුරට ලැබෙයි.

3. දන් දෙන කෙනාගේ කල්‍යාණ කීර්ති රාවයක් ම පැතිරෙයි.

4. දන් දෙන කෙනා ක්ෂත්‍රිය වේවා, බ්‍රාහ්මණ වේවා, ගෘහපති වේවා යම් පිරිසක් කරා යයි ද විසාරද ව (බිය රහිත ව) යයි.

(දානයේ ඇති පරලොව විපාකත් භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේ දී පෙන්වා දුන් සේක.)

5. දන් දෙන කෙනා මේ ජීවිතය අත් හැර පරලොව යද්දි සුගති ලෝකයෙහි උපදියි.”

ඒ අනුව දානයෙන් ලැබෙන ආනිශංසවලින් හතරක් ම මේ ජීවිතයේ ලැබෙන විපාක යි. මේ කාරණය සමාජය දෙස බලා අපට හොඳින් තේරුම් ගන්න පුළුවන්. අපට පැහැදිලි ව පේනවා තමන් සතු දෙයක් තව කෙනෙකුට දෙන්න මැලි වෙන කෙනා සාමාන්‍යයෙන් සමාජයට ප්‍රියමනාප වෙන්නේ නෑ. ඔහු ලෝභී කෙනෙකු ලෙසට, එහෙම නැත්නම් මසුරු කෙනෙකු ලෙසට සමාජය හඳුනාගන්නවා. ‘අසවල් කෙනා කිසි දෙයක් කාටවත් දෙන්නේ නැති කෙනෙක්, මසුරෙක්’ යනාදී වශයෙන් සමාජය ඔහු දෙස අප්‍රිය ලෙස බලන්නට පටන් ගන්නවා.

මෙලෙස තමන් ගැන අපකීර්ති රාවයක් පැතිරීම කෙනෙකුට දුකක්. නමුත් දන් දෙන කෙනා ගැන ලෝකයා හඳුනාගන්නේ ප්‍රිය පුද්ගලයෙකු ලෙසට යි. ‘අසවල් කෙනා දන් දෙන කෙනෙක්, යහපත් කෙනෙක්, ත්‍යාගශීලි කෙනෙක්’ ලෙස සමාජය ඔහු ගැන ප්‍රශංසා කරනවා. ඒ ආකාරයෙන් තමන් ගැන කීර්ති රාවයක් පැතිර යාම කෙනෙකුට සැප විපාකයක්. මේ ආකාරයෙන් දන් දීම පුරුදු කරන කොට කීර්ති රාවය පැතිරීම වර්ධනය වෙන්න පටන් ගන්නවා.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා දන් දෙන කෙනාට සිල්වතුන්, ගුණවතුන් ඇසුරු කරන්නට අවස්ථාව ලැබෙනවා කියලා. බලන්න මෙලොව දී ම ලැබෙන ඒ විපාකයත් මොනතරම් සත්‍යයක් ද කියලා… අපි හිතමු කෙනෙක් සංඝයා උදෙසා දානය පූජා කරන්න සූදානම් වෙනවා කියලා. සංඝයා උදෙසා දානය පූජා කරන්න කැමති කෙනාට අනිවාර්යයෙන් ම භික්ෂූන් වහන්සේලා මුණගැහෙන්න වෙනවා. ඊට පස්සේ සිල්වතුන් ඇසුරු කිරීමෙන් යම් ආනිශංස පසුව ලැබෙනවා ද ඒ සියල්ලත් ලැබෙන්න පටන් ගන්නවා. දානයට අමතර ව වන්දනාමාන කිරීමෙන්, උපස්ථාන කිරීමෙන්, ධර්ම ශ්‍රවණයෙන් තවත් පින් රැස් වෙනවා. තමන්ට තිබෙන දහම් ගැටලු අසා දැනගෙන නිවැරදි කර ගැනීමේ අවස්ථාව සැලසෙනවා. මේ ආකාරයෙන් මෙලොව පරලොව යහපත සලසන්නා වූ මෙන් ම ධර්මාවබෝධයට උපකාරී වෙන බොහෝ පින් ජීවිතයට රැස් වෙනවා. බලන්න ඒ සියල්ල ම මේ ජීවිතයේ දී ම යි ඔහු ලබන්නේ.

එසේ දන් දී රැස්කරන පින දෙවියන් හට අනුමෝදන් කිරීමෙන් ලබන යහපත ගැන මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ අයුරින් සඳහන් වෙනවා. “යම් නුවණැති කෙනෙක් තම ප්‍රදේශයෙහි සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා වඩා හිඳුවා දන්පැන් පූජා කොට ඒ පින් ඒ ප්‍රදේශයේ සිටින දෙවිවරුන්ට අනුමෝදන් කරන්නේ ද, ඒ පින් අනුමෝදන් වන දෙවිවරු මවක් තම දරුවෙකුට අනුකම්පා කරන්නා සේ ඒ පුරුෂයාට අනුකම්පා කරයි. දෙවියන්ගේ අනුකම්පාව ලබන කෙනා සැමදා යහපත ලබයි.”

මේ ආකාරයෙන් ම සිල් ආරක්ෂා කරන කෙනාටත් මේ ජීවිතයේ දී ම ආනිශංස ලැබෙන බව භාග්‍යවතුන් වහනසේ පෙන්වා දෙනවා.

“1. සිල් රකින කෙනා අප්‍රමාදී බව නිසා මහත් වූ භෝගස්කන්ධයක් ලැබ ගන්නේ ය.

2. සිල්වත් කෙනාගේ කල්‍යාණ කීර්ති රාවයක් ම පැතිර යන්නේ ය.

3. සිල්වත් කෙනා ක්ෂත්‍රිය – බ්‍රාහ්මණ – ගෘහපති – ශ්‍රමණ යන ඕනෑම පිරිසක් අතරට යයි ද විසාරද ව (බිය රහිත ව) යයි.

4. සිහි මුළා නො වී කලුරිය කරයි.

5. මරණින් මතු සුගතියෙහි උපදියි.”

ඉහත ආනිශංස පහෙන් හතරක් ම මේ ජීවිතයේ දී ලැබෙන විපාක යි.

භාවනා කිරීමෙන් ද බොහෝ විපාක මේ ජීවිතයේ දී ම අත්දකින්න පුළුවන්. මෛත්‍රී භාවනාවේ ආනිශංස ගැන විස්තර කරන මෙත්තානිසංස සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් කෙනෙක් මෛත්‍රී චේතෝ විමුක්තිය හොඳින් වැඩුවොත් එකොළොසක් වූ ආනිසංස ලැබිය හැකි බව…

1. සුව සේ නිදයි.

2. සුව සේ අවදි වෙයි

3. නපුරු සිහින නො දකියි

4. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි.

5. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි.

6. දෙවියන් රකියි.

7. ගින්නෙන් හෝ වසවිසෙන් හෝ අවි ආයුධවලින් හෝ අනතුරක් නො වෙයි.

8. සිත වහා සමාධිමත් වෙයි.

9. මුහුණේ වර්ණය පැහැපත් වේ.

10. සිහි මුළා නො වී කළුරිය කරයි.

11. උත්තරීතර මාර්ග ඵල ලබා ගත නො හැකි වුවහොත් බඹලොව උපදියි.

ඒ ආනිශංසවලින් දහයක් ම මේ ජීවිතයේ දී ම දකින්න පුළුවන් ආනිශංස යි.

මේ ආකාරයෙන් අප රැස් කරන්නා වූ පින්වල විපාක අපට මේ ජීවිතයේ දී ම අත් දකින්න පුළුවන්. ඒකයි මේ ධර්මය සන්දිට්ඨිකයි කියන්නේ. මේ ගැන අවබෝධයක් බොහෝ අයට නැති නිසා පරලොව ලැබෙන විපාකයක් ගැන පමණක් සිහි කරමින් පින් කරන්න යොමු වෙනවා. පරලොව ලැබෙන විපාකය අපට පෙනෙන්නේ නැති නිසා සමහරු මේ පිළිබඳ සැක කරනවා. අන්තිමේ දී තමන්ට ලැබෙන්න තිබුණු බොහෝ යහපත අහිමි කර ගන්නවා.

නමුත් නුවණ තියෙන අය පින් කිරීමෙන් මේ ජිවිතයේ දී ම ලැබෙන විපාක අත්දකින්න උත්සාහ කරනවා. ඒවා මේ ජීවිතයේ ලැබෙන්න පටන් ගන්නකොට ඒ කෙනා මේ ධර්මය කෙරෙහි තව තවත් පහදිනවා. අන්තිමේ දී මරණින් මතු පරලොව ජීවිතයේදීත් පින්වල සැප විපාක දකින කෙනෙක් වෙනවා.

රැස් කරනා පින්දහම් මෙලොව පරලොව යහපත හිතසුව සලසනවා වගේ ම අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිසත් උපකාරී වනවා. ඒ නිසා, අත්නොහැර පින් කිරීම ම යි අප කවුරුත් කළ යුත්තේ…!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි