ජනගහනය වර්ධනයත් සමග ආහාර අවශ්‍යතාව ද වර්ධනය වේ. නවීන කෘෂිකර්මාන්තය එලෙස වර්ධනය වන ආහාර අවශ්‍යතාවට පිලියම් බලාපොරොත්තු වන්නේ නවීන තාක්ෂණය හරහා ය.

මෙහි ප්‍රධාන ම අතුරු ප්‍රතිඵලය වන්නේ අධික රසායනික යෙදවුම් යොදා නිපදවූ, සෞඛ්‍යයට හානිකර යයි තහවුරු කරන ලද ආහාර වර්ග අපට පරිභෝජනය කරන්නට සිදු වීම යි. ඒ මගින් සිදු වන සෞඛ්‍ය හානිය සම්බන්ධව තහවුරු කරන ලද විද්‍යාත්මක සාක්ෂි ඕනෑ තරම් ඇත.

සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබාගැනීමේ වඩාත් ප්‍රතිඵලදායී ක්‍රමය නම් තමන් විසින් ම තමාගේ ආහාර අවශ්‍යතාවයෙන් කොටසක්වත් නිපදවා ගැනීම ය. ගෙවතු වගාව තුලින් විශ්වාසයකින් යුතුව ආහාර ලබාගත හැකි වුවද, ඒ සඳහා ද යම් යම් බාධක ඇත. සමහර නිවෙස්නවලට එබඳු ගෙවත්තක් නැත. ප්‍රතිකර්මයක් ලෙස වෙළඳපලෙහි ඇති රසායනිකයන්ගෙන් දූෂිත එළවළු මිලදී ගන්නවා ද, නැත්නම් යම් තරමකට හෝ සහනදායක විකල්පයක් ගැන සිතනවා ද? යන්න සිතා බැලිය යුතු කාලය එළඹ ඇත.

ඔබට ඇති ගෙවත්ත කුඩා එකක් විය හැක. නාගරික නිවාසවල ඇතැම් විට ඉඩමක් නැතිවා ම විය හැක. එබඳු ස්ථානවල පෝච්චිවල වගා කිරීමට බොහෝ දෙනා දැන් පෙළඹී ඇත. මෙම කෙටි සටහන එබඳු අයට යම් මගපෙන්වීමක් සඳහා ය.

පෝච්චි හෝ බඳුන්වල වගා කළ හැකි බෝග වර්ග රැසකි. බණ්ඩක්කා, බෝංචි, තක්කාලි, මිරිස්, මාලු මිරිස්, බෙල් පෙපර්, කරවිල මෙන්ම කොළ ආහාරයට ගන්නා ගොටුකොළ, නිවිති, මුකුණුවැන්න වැනි පළා වර්ග ද, ඉඟුරු, කොත්තමල්ලි, මිංචි ආදී රසකාරක වශයෙන් ගන්නා පැළෑටි ද බඳුන්වල වගා කරනු ලබයි.

මූලික අවශ්‍යතා හඳුනා ගනිමු.

1. ගැලපෙන පෝච්චි/බඳුන් – වෙළඳපලෙහි ඇති මැටි, ප්ලාස්ටික් හා සිමෙන්ති පෝච්චි මෙන්ම ප්‍රතිචක්‍රීකරණය කරගත් භාජන (පලුදු වූ බාල්දි, ප්ලාස්ටික් භාජන), මලු ද මේ සඳහා භාවිතා කළ හැක. පෝච්චිවල ප්‍රමාණය ගැන ද පරීක්ෂාකාරී විය යුතුය. බණ්ඩක්කා, බටු, මිරිස්, තක්කාලි වැනි බෝගවලට විශාල පෝච්චි උවමනා ය. කුඩා පෝච්චිවල පලා වර්ග වැනි එතරම් ඉඩකඩ අනවශ්‍ය බෝග වැවිය හැකිය.

2. සකස් කරගන්නා ලද පස් – පෝච්චිවලට පැලෑටියක් වැඩීමට අවශ්‍ය සියලුම පෝෂක කොටස් සැපයිය යුතුය. පෝච්චිවල පිරවීම සඳහා මිශ්‍රණයක් සාදා ගැනීමට පහත සඳහන් ක්‍රමය යොදා ගන්න. මිශ්‍රණය සමාන කොටස් හතරකින් යුක්ත නම්, එක් කොටසක් පස් ද, කොටසක් වැලි ද, කොටසක් කොළවලින් සාදා ගත් කොම්පෝස්ට් ද, තව කොටසක් ගොම පොහොර ද ලෙස සම සමව කලවම් කරගන්න. ගොම පොහොර නොමැති නම් වෙනත් සත්ව පොහොරක් වුව කම් නැත. පස තුලින් මනා ජලවහනයක් අවශ්‍ය බැවින් පසෙහි සංයුතිය ගැන නිසි අවධානයක් තිබිය යුතු ම ය.

3. දිනකට පැය 5-6 ක් පමණ සූර්යාලෝකය ලැබෙන තැනක් – සාමාන්‍යයෙන් පැළෑටිවලට සූර්යාලෝකය අත්‍යවශ්‍ය ය. එහෙත් පැළෑටි වර්ගය අනුව සෘජු සූර්යාලෝකය අවශ්‍යතාව වෙනස් වේ. සමහර පැළෑටි සෙවන අවශ්‍ය ඒවා ය. පෝච්චි ස්ථානගත කිරීම සඳහා මෙම දැනුම උපකාරී වේ. සමහර විට කෘත්‍රිම වශයෙන් සෙවන යෙදීමෙන් (දැල් හෝ පොලිතීන් ආවරණ) ප්‍රශ්නය විසඳාගත හැකිය.

බීජ සහ පැල

නිරෝගී වගාවක් සඳහා නිරෝගී ශක්තිමත් රෝපන ද්‍රව්‍ය උවමනා ය. බඳුන් වගාවේදී ද නිරෝගී හා ශක්තිමත් බීජ හා පැළ යොදාගත යුතුය. දිගටම වගාවෙහි නිරත වන අයෙකු නම් තමාගේ ම වගාවෙන් ඊළඟ වගාව සඳහා බීජ සකසා තබා ගැනීම වඩා උචිත ය.

ඇතැම් වර්ග සෘජුවම බඳුනේ ඇට වශයෙන් පැළකළ හැක. (බෝංචි, කරවිල) එහෙත් කලින් තවානක පැළකොට දෙවනුව බඳුන්වලට මාරු කළයුතු වර්ග ද ඇත. (තක්කාලි, මිරිස්). පලා වර්ග ශාඛ කොටස් වශයෙන් සෘජුව ම බඳුන්වල වගා කළහැක.

පොහොර යෙදීම

පැළෑටියක් පෝච්චියකට සීමාකළ පසු එයට අවට පරිසරයෙන් ලබාගතහැකි පෝෂණය සීමා වෙයි. එනිසා ම ඒ සඳහා ඔබේ අවධානය වඩාත් යෙදිය යුතුය. ආරම්භක වශයෙන් ඉතා සාධනීය පස් මිශ්‍රණයක් යෙදුවත් පැළෑටිය වැඩීමත් සමග ම අලුතින් අමතර පෝෂණය සැපයිය යුතුය. කාබනිකව වැවීම ඔබේ පරමාර්ථය නිසා යළි කොම්පෝස්ට් යෙදීම, සකස් කරගත් කාබනික පැළෑටි වර්ධක භාවිතා කිරීම සැලැස්මකට අනුව කළ හැක.

මනාව දිරීමට ලක්වූ කොම්පෝස්ට් යෙදීම ගැන අවධානය යොමු කළ යුතුය. නොදිරවූ ගොම හෝ වෙනත් සත්ව මළ සෘජුව ම බඳුන්වලට යෙදීමෙන් දුගඳක් හැමීම, කෘමි හානි වැඩි වීම මෙන්ම පැළෑටිවලට හානි වීමක් ද විය හැක.

ජලය යෙදීම

පැළෑටියක් පෝච්චිගත කිරීමත් සමග ම අවට පරිසරයෙන් ජලය ලබාගැනීම නවතී. එනිසා පසෙහි තෙතමනය නිතර රඳවා ගැනීමට හැකි වන පරිදි නිතර නිතර ජලය යෙදීම අවශ්‍ය වේ. මතුපිට පස වියළි ස්වභාවයෙන් දක්නට ලැබේ නම් ඒ ජලය යෙදීමට උවමනා කාලය යි.

අමතක නොකළ යුතු කරුණ නම් පසෙහි තෙතමනය කිසි විටකත් වියළී යාමට ඉඩ නොදීම යි. ඇතැම් අවස්ථාවල පස තද වීමක් දක්නට ලැබේ නම් මූල පද්ධතියට හානියක් නොවන පරිදි පස අවුස්සා ජලය යෙදිය හැක.

පෝච්චි වගාවේදී ජලය යෙදීම ගැටලුවක් වන්නේ ඔබ ඇතැම් විට නිවස වසා දමා දිනයක් දෙකක් බැහැරව සිටින විට ය. ජලය අඩු/නැති කමින් මැලවී ඇති පැළෑටියකට යළි ජලය යෙදීමෙන් පණගසා නැගිටිනමුත් එහි වර්ධනය බාල වීම වැළැක්විය නොහැක. මෙම ගැටලුව විසඳා ගැනීමට ක්‍රම කීපයක් භාවිතා කළ හැක. පළමුවැන්න මතුපිට මල්ච් (පමකජය) ආවරණ යෙදීම ය. දිරාගිය ශාඛ කොටස්, පොල්මුඩු, කොහුබත් වැනි දේවලින් වැස්මක් යෙදීම තුලින් පස වියලීම අඩු කරයි. තවත් ක්‍රමයක් නම් පෝච්චිය තුළට පැත්තකින් ස්පොන්ජ් කැබැල්ලක් ඇතුල් කිරීම ය. අධික ජල ප්‍රමාණයක් රඳවාගෙන ක්‍රමයෙන් පසට ජලය සැපයීමක් මෙයින් සිදුවනු ඇත.

ජලය අධික ලෙස යෙදීමෙන් පැළෑටි මුල් කුණු වී මිය යා හැක. ඉහත කී අන්දමට පහසුවෙන් ජලවහනය වන පසක් යොදා ගත්ත ද, ඇතැම් විට පෝච්චියේ අතිරික්ත ජලය ඉවත්වන සිදුරු ආවරණය වීමෙන් ජලය එකතු වී මුල් කුණු වීම ඇරඹේ. එනිසා නිතර අවධානයෙන් ජලය යෙදීම අත්‍යවශ්‍ය වේ.

කෘමි පාලනය

ගෙවත්තේ වගාවට වඩා අඩු කෘමි හානි ප්‍රමාණයක් පෝච්චිවල වගාවට තිබිය හැක. ඒත් සරුවට වැඩෙන ඕනෑම පැලෑටියකට කෘමීන් ආකර්ෂණය වීම ස්වාභාවික ය. නිතර අවධානයෙන් සිට හානි සිදුවන ශාඛ කොටස් ඉවත් කිරීම සහ සාදාගත් කාබනික කෘමි විකර්ෂකයක් යෙදීම තුලින් එම හානි අවම කර ගත හැක. විෂබීජනාශක සබන් දියරයක් හෝ කොහොඹ තෙල් හෝ ස්ප්‍රේ කිරීම එතරම් අපහසු කාර්යයක් නොවේ.

ආධාරක

සමහර පැලෑටිවලට ආධාරකයන් යෙදිය යුතුය. උදාහරණ වශයෙන් තක්කාලි, වැල් බෝංචි, කරවිල වැනි පැලෑටි වැල් වශයෙන් දිගට වැවෙන හෙයින් ආධාරක යෙදිය යුතුය. ආධාරක වශයෙන් කෝටු, දැල් වැනි උපක්‍රම භාවිතා කළ හැක. එබඳු පැලෑටි වගා කිරීමේදී එම ආධාරක ද දරාගත හැකි මට්ටමේ පෝච්චි තෝරා ගැනීම වැදගත් ය. නිවස තුළ හෝ ආශ්‍රිතව බඳුන් වගාව කෙරේ නම් ආධාරක යෙදීමේදී යම් නිර්මාණාත්මක බවක් එකතු කිරීමෙන් අලංකාරයක් ද ලබා ගත හැක.

අස්වනු නෙලීම

ඒ ඒ වර්ගවල අස්වනු පරිණත වන්නේ වෙනස් කාලවල ය. පරිණත වූ වහාම ඒවා නෙලා ගැනීම වැදගත් ය. නෙලීමේදී පැලෑටිය ඇදීම වළක්වා ගන්නට කතුරක් හෝ තියුණු පිහියක් භාවිතා කළ හැක.

ඔබ නිවස තුල හා අවට මල් වගා කර ඇත්නම්, එහි අලංකාරය සමග මනා ලෙස සැසඳෙන ලෙස බඳුන් වගාව ද සැලසුම් කරගත හැක. කෙතරම් කාර්යබහුල වුවද, මල් පෝච්චිවලට ජලය යෙදීමට අමතක නොකිරීම අපගේ සිරිත ය. එනිසා ම ඒ අතරතුර ඇති අමතර පෝච්චි කීපයට ජලය යෙදීම එතරම් බැරෑරුම් කාර්යයක් නොවනු ඇත.

නිවස තුල හා ආශ්‍රිතව වගා කිරීමේ වාසියක් වන්නේ ඔබේ දරුවන් පරිසරය සම්බන්ධ අධ්‍යාපනය නිවස තුලින් ම ආරම්භ කිරීම ය. එමෙන්ම වස විසෙන් තොර ආහාර පරිභෝජනය කිරීමේ ආසාව හා පුරුද්ද කුඩා කල සිට ම ඇතිවීම, සැමගේ ම අනාගත සෞඛ්‍යය හා සෞභාග්‍යයට උපකාරී වනවා ඇත.

වස විසෙන් තොර, සත්ව ඝාතනයෙන් තොර ආහාර පරිභෝජනය කිරීමේ පුරුද්දක් ඇති කර ගනිමු. හැකිතාක් තම එදිනෙදා ආහාර අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට හැකි වගාවක් ඇති කර ගනිමු.

කේ.ඒ.ජේ. කහඳව