අපායෙන් නිදහස් වෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම දේශනා කළා. අපායෙන් නිදහස් වෙන්න නම් අඩුම තරමින් සෝතාපන්න ඵලයටවත් පැමිණෙන්න ඕනෑ. සෝතාපන්න ඵලයට පැමිණුන පුද්ගලයාගේ පටන් සකදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ගඵලයන්ට පත්වුණ කවුරුත් අපායෙන් නිදහස් වෙනවා.

සතර අපායෙන් නිදහස් වෙන්න නම් කළයුතු එක ම දෙය චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධයට පැමිණීම යි. සෝතාපන්න කියන්නේ ඒකටයි. ‘සෝත’ කියන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යි. ‘ආපන්න’ කියන්නෙ පැමිණීමට යි. එහෙම නම් සෝතාපන්න කියන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමට යි.

ආර්ය අෂ්ටාංගික මාර්ගයට යම් කෙනෙක් පැමිණුනොත් ඒ කෙනා සතර අපායෙන් නිදහස් වුණ පුද්ගලයෙක්. එහෙම නම් කෙනෙකුට සතර අපායෙන් නිදහස් වෙන්න උවමනාවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ මෙවැනි ලෝකයන් පිළිබඳව කළ විග්‍රහය එකී පුද්ගලයා පිළිගත යුතු වෙනවා. අන්න එතකොට ඒ කෙනාට බලගතු පින් තිබේ නම් මේ ජීවිතයේදී ම වුණත් සතර අපායෙන් මිදිල ජීවත් වීමට අවකාශය ලැබෙනවා. ඒ විදිහට සෝතාපන්න තත්වයට පැමිණුන පුද්ගලයෙකුට සෝතාපත්ති අංග හතරක් පිහිටනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවෙච්චප්ප්‍රසාදය, ධර්මය කෙරෙහි අවෙච්චප්ප්‍රසාදය, ආර්ය සංඝ රත්නය කෙරෙහි අවෙච්චප්ප්‍රසාදය හා ආර්යකාන්ත ශීලය යි. මේ සඳහා මූලික වශයෙන් උපකාර වෙන්නේ කල්‍යාණමිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන කරුණු යි.