සංකල්ප කියන වචනය බොහෝ දුරට පාවිච්චි කරන්නේ මනසින් ගොඩනගා ගන්නා කල්පිතවලට යි. කල්පිත කියන්නේ සත්‍ය වශයෙන් නොතිබෙන දේවල් මනසින් ගොඩනගාගෙන ඒවා සමීකරණ ලෙස භාවිතා කිරීමට යි. වර්තමානයේ ඇතැම් බෞද්ධයින්ට නිර්වාණය පවා සංකල්පයක් වෙලා තියෙනවා. යථාර්ථයක් හැටියට නොවෙයි පිළිගන්නෙ. මේවා සංකල්ප හැටියට පිළිගන්නා පිරිස ධර්මය කෙරෙහි තම තමන්ට තිබෙන විචිකිච්ඡාව, සද්ධා රහිත භාවය ම යි නිරතුරුව ම ප්‍රකට කරන්නෙ.

නමුත් අපාය, දිව්‍ය ලෝකය සංකල්පයක් නොවෙයි. ඒක යථාර්ථයක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සංයුක්ත නිකායේ තියෙනවා මනුස්සචුති කියලා සූත්‍ර සමූහයක්. ඒවායේ ඉතා පැහැදිලිව පෙන්වනවා සතර අපාය පිළිබඳව. ඒ වගේම දිව්‍ය ලෝක පිළිබඳව.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නිය මතුපිටට මහපොළවෙන් පස් ස්වල්පයක් අරගෙන මෙන්න මේ ආකාරයට වෙනස පෙන්වලා දීලා තියෙනවා. ඒ තමයි මනුස්සයෙක් මිය ගිය පසු නැවතත් මනුස්සයෙක් බවට පත්වීමට අවස්ථාව ලැබෙන්නේ නිය මතුපිටට ගත් පස් ස්වල්පයක් වගේ සුළු පිරිසකට කියලා. මහපොළොව වගේ විශාල පිරිසක් නිරයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ උපදින බව පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ඒවා සංකල්පයක් වෙලා තියෙන්නේ ශ්‍රද්ධාව නැති අයට යි.

වර්තමානයේ උගත් යැයි සම්මත බොහෝ පිරිසකට ශ්‍රද්ධාවටවත් පැමිණීමට නොහැකි වී ඇත්තේ තමන් මේ අවුරුදු කිහිපයක් තුළ ඉගෙන ගත් දේ තුළින් උද්දාමයට පත්වී තමන්ගේ සුළු දැනුම තුළ තමන් මහා විශාරදයෙක් ලෙස සිතා ඇති කරගත් මුළාවක් නිසයි. මේවා සංකල්ප ලෙස දක්වමින් කථා කිරීමෙන් සිදුවන්නේ සාමාන්‍ය මනුෂ්‍යයාට ජීවිතාවබෝධයට තිබෙන අවස්ථාව අහිමි වීම පමණයි.