සියලු ලෝක තියෙන්නේ මේ මිනිස් ලෝකය තුළයි කියන අදහස වර්තමාන බෞද්ධ සමාජය තුළ විශේෂයෙන් දක්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේට තිබුණා විශාරද ඤාණ හතරක්. මේ නිසා කිසිම දෙවියෙකුටවත්, මිනිසෙකුටවත් බුදුරජාණන් වහන්සේට අභියෝගයක් කරන්න බැහැ ‘ඔබවහන්සේ සම්මා සම්බුද්ධ යැයි පවසනවා. නමුත් මේ මේ දේවල් අවබෝධ කරලා නැහැ’ කියලා. එහෙම නම් අපට පැහැදිලිව පෙනෙනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පරිපූර්ණ එකක් බව. උන්වහන්සේ අවබෝධයෙන් ම තමයි දිව්‍ය ලෝක, අපාය, ප්‍රේත ලෝක, නිරය ආදිය පෙන්වල දීල තිබෙන්නේ.

ඒවාට උපමා පවා උන්වහන්සේ පෙන්වල දීලා තියෙනවා. ඔය සියලු ලෝක තිබෙන්නේ මනුෂ්‍ය ලෝකයේ කියන අයගේ ප්‍රකාශ තුලින් බුදුරජාණන් වහන්සේට ගැරහීමක්, නින්දා කිරීමක් මිසක් වෙනත් දෙයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට නින්දා කරන අය අපාගත වෙනවා මිසක් වෙනත් දෙයක් නම් වෙන්නෙ නැහැ.

දිව්‍ය ලෝකය, අපාය ආදී සියල්ල ම මෙහෙ කියලා හිතාගෙන ඉන්න සියලු දෙනා ම ඕනෑම මොහොතක ඕනෑම පවක් කරන්න සූදානම්. ඒකට හේතුව අපාය පිළිබඳව, දිව්‍ය ලෝකය පිළිබඳව අදහසින් බැහැර වුණු නිසා ඒ අය කවදාවත් සම්මා දිට්ඨිය කරා යන්නෙ නැහැ. ඒ පිරිස කවදාවත් සද්ධානුසාරී කෙනෙක් වෙන්නේ නැහැ. ධම්මානුසාරී කෙනෙක් වෙන්නෙත් නැහැ. කළුවරේ ම ජීවත්වෙලා, කළුවරේ ම මැරෙන කෙනෙක් බවට පත්වෙනවා. අන්න ඒ පිරිසට තමයි අන්ධබාල පෘථග්ජනයින් කියන්නේ.