බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ අතීත, අනාගත, වර්තමාන යන කාල තුන තුළත්, අවකාශයන් අටක් තුළත් පංච උපාදානස්කන්ධයේ පැවැත්ම තිබෙන බවයි. එහිදී අවකාශයන් අට විස්තර කොට ඇත්තේ මෙසේය.

තමන් යැයි සලකන හෝ (අජ්ඣත්තා වා), බාහිර හෙවත් අනුන් යැයි සළකන හෝ (බහිද්ධා වා) ගොරෝසු හෝ (ඕළාරිකං වා), සියුම් හෝ (සුඛුමං වා), පහත් හෝ (හීනං වා), උසස් හෝ (පණීතං වා), දුර හෝ (දූරේ වා) ළඟ හෝ (සන්තිකේ වා) යම් රූපයක් ඇද්ද, එය රූපස්කන්ධය යි. මේ අයුරින් අනෙක් ස්කන්ධ සතර ගැනත් විස්තර කොට තිබේ. මෙම කරුණු තේරුම්ගත යුත්තේ සාපේක්ෂව ය. එනම් මිනිස් කය ගොරෝසු වන අතර දිව්‍ය කය සියුම් ය. දිව්‍ය කයත් බ්‍රහ්ම ශරීරයත් ගත්කළ දිව්‍ය ශරීරය ගොරෝසු ය, බ්‍රහ්ම ශරීරය සියුම් ය ආදී වශයෙනි. පංච උපාදානස්කන්ධය ගැන වැඩිදුර විස්තර දහම් කරුණු දැනගැනීම පිණිස මජ්ඣිම නිකායේ “චූල පුණ්ණමා සුත්‍රය” කියවන්න.