යම් හෙයකින් ඔබ බුදුරජාණන් වහන්සේ උදෙසා යම් ආහාර පානයක් පූජා කරන්නේ නම් එම අවස්ථාවේදී ඒ සඳහා පසුව කුමක් කරන්නෙම් දැයි කල්පනා කිරීම නොකළ යුතු දෙයකි. එය ඔබේ පින හීන වීමට හේතුවනු ඇත. ඛුද්දක නිකායට අයත් විමානවත්ථු පාළියෙහි සක්දෙවිඳුන් විසින් පවසන ලද ගාථාවක් අපට හමුවේ.

“තිට්ඨන්තේ නිබ්බුතේ චාපි – සමේ චිත්තේ සමං ඵලං

බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩසිටියදීත් පිරිනිවන් පෑ කල්හිත් යන අවස්ථා දෙකෙහිදී ම සම සිතින් බුදුරජුන් උදෙසා යම් පූජාවක් කරන්නේ නම් එයින් සම විපාක ලැබෙන්නේය.”

මොහොතක් සිතන්න… ඔබට ජීවමාන බුදුරජුන්ට යමක් පූජා කිරීමට අවස්ථාව ලැබුණහොත් මා මේ පූජා කරන දෙයට, පසුව කරන්නේ කුමක්ද කියා කල්පනා කරන්නේ ද? නැත. එසේ නම් ඔබ කරන්නේ උතුම් බුදුගුණ ම මෙනෙහි කරමින් පහන් සිතින් බුදුරජාණන් වහන්සේට දානය පූජා කිරීමයි. බුදුරජුන් පිරිනිවන් පෑ මෙකල ද උන්වහන්සේ උදෙසා දානය පූජා කළයුත්තේ ඒ අයුරිනි.

අනෙක් කරුණ නම්, ‘මං මේ බුද්ධ පූජාව අස්කළාට පස්සේ සතෙකුට මේක දෙනවා’ කියන අදහසින් ඔබ බුද්ධ පූජාව පූජා කළහොත් ඔබට සැබෑ ලෙසින් ම සිත පහදවාගෙන අනර්ඝ අයුරින්, පිරිසිදු, ප්‍රණීත අයුරින් බුද්ධ පූජාව පූජා කිරීමට හැකි වේවිද? කිසිසේත් ම නැත. එසේත් නොමැති නම් ‘මේක අස්කළාට පස්සේ මම ම කනවා’ කියන අදහසින් පූජා කළහොත් ලෝභ මූලික වූ සිතින් පූජා කරන දානයෙන් ඔබට උසස් පිනක් රැස් වේවි ද? නැත. පිනක් මහත්ඵල වීමට ඔබ සිතන පතන ආකාරය විශේෂයෙන් ම බලපායි.