බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ආනන්තරිය පාප කර්ම හැර අනෙකුත් අකුසල් බලවත් කුසල් උපදවා ගෙන මැඩපැවැත්විය හැකි බවයි. (යස්ස පාපං කතං කම්මං – කුසලේන පිථීයති) ජීවිතය නොමඟ ගොස් වැරදි කාම සේවනයේ යෙදුනු කෙනෙකු, පසුකාලීනව කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා ඉන් මිදී කුසල් වඩන අයුරු සංඛධම නම් සූත්‍ර දේශනාවේදීත්, කරජකාය නම් සූත්‍ර දේශනාවේදීත් භාග්‍යවතුන් වහන්සේ ඉතා මැනවින් පෙන්වා දී තිබෙන්නේ මෙලෙසයි. ධර්මය ශ්‍රවණය කළායින් පසු ඔහු මෙසේ සිතනවා. “භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් කාමයේ වරදවා හැසිරීම ගැන ගරහන සේක. බලවත්ව ගරහන සේක. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්න යැයි වදාරණ සේක. මා විසිනුත් කාමයෙහි වරදවා හැසිරීම යම්තාක් ඇත්නම්, ඒ තාක් කෙරිලා තියෙනවා. මා විසින් යම්තාක් කාමයෙහි වරදවා හැසිර ඇත්ද එය යහපත් දෙයක් නොවෙයි. හොඳ දෙයක් නොවෙයි. ඉදින් මම ඒ හේතුව නිසා චිත්ත පීඩාවකින් හිටියා කියා මා විසින් ඒ පාප කර්මය නොකළා වෙන්නේ නෑ.” මේ විදිහට ඔහු නුවණින් විමසලා ඒ කාමයෙහි වරදවා හැසිරීම අත්හරිනවා. ඉදිරියටත් කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ප්‍රහාණය වෙලා යනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ඉක්මවා යනවා.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඔහු තිසරණයේ පිහිටා සිල්වත්ව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහරණ වැඩීම නිසා පෙර රැස්වූ යම් අකුසල කර්මයක් ඇත්නම් එය ඉතිරි නැතිව නැති වෙලා යනවා. එය පිහිටන්නේ නැතිව යනවා කියලා. එම නිසා ඔබ කළ යුත්තේ ජීවිතය සිල්වත් කරගෙන, මෙත් සිත වඩමින් පින බලවත් කරගැනීම යි. එහිදී රුවන්වැලි මහ සෑය වන්දනා කොට ජීවිතය තුනුරුවනට හා මහ සෑයට පුදා පිළිවෙත් දියුණු කිරීමට අධිෂ්ඨාන කරගැනීම ඉතාම සුදුසුයි.