මා පන්සිල් ගන්නා සෑම මොහොතක ම පෙර කළ ප‍්‍රාණඝාත සිහියට නැගෙනවා. මේවා නිතර සිහිවීමත්, දුක් වීමත් හොඳ ද? නරක ද? එ්වා අමතක කරන්න මඟක් පහදා දෙන්න. දැන් මම සියලූ ම සතුන්ට අනුකම්පාව කරුණාව දක්වමි.

කල්‍යාණ මිත‍්‍ර සේවනයත්, සද්ධර්ම ශ‍්‍රවණයත් ලැබීමට පෙර අකුසල් සිදුවීම බොහෝ දෙනෙකුට පොදු දෙයක්. නමුත් ධර්මයෙහි පිහිටා සිල්වත් වූ පසු එ්වා ගැන පසුතැවිලි නො වී යෝනිසෝ මනසිකාරයෙහි යෙදෙමින් කටයුතු කළ යුතු ආකාරය ”සංඛධම” නම් සූත‍්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී තිබෙනවා.

“තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්ත ශ‍්‍රාවකයා මේ විදිහට නුවණින් කල්පනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් සතුන් මැරීම ගැන ගරහන සේක. බලවත් ව ගරහන සේක. සතුන් මැරීමෙන් වළකින්න යැයි වදාරණ සේක. මා විසින් ද සතුන් මැරීම කෙරී තිබේ. එය යහපත් දෙයක් නම් නො වේ. නමුත් මම එ් ගැන චිත්ත පීඩාවෙන් සිටියා කියා එ් අතීත පාප කර්මය නො කළා වෙන්නේ නෑ. එ් නිසා මම දැන් සතුන් මැරීමෙන් වැළකිලා, අනාගතයේදීත් එය නො කර ඉන්නවා. මේ විදිහට නුවණින් විමසන ශ‍්‍රාවකයා එ් පාප කර්මය ප‍්‍රහාණය කරලා, එය ඉක්මවා සිල්වත් කෙනෙක් වෙනවා. එ් සිල්වත් බව තුළ පිහිටා සියලු සත්වයන් කෙරෙහි අප‍්‍රමාණ මෛතී‍්‍ර සිත පතුරුවමින් මෛතී‍්‍ර භාවනාව සිදුකරනවා. එ් විදිහට වඩන ලද, බහුල වශයෙන් වඩන ලද මෛතී‍්‍ර චිත්ත සමාධිය නිසා පෙර සිදු වූ යම් අකුසල කර්මයක් ඇද්ද එය ඉතිරි නැතිව නැති වෙලා යනවා. එය වඩන ලද සිතේ පිහිටන්නේ නැතිව යනවා.” එම නිසා ඔබ පෙර වැරදි ගැන පසුතැවිලි නො වී වර්තමාන සීලය සිහිකරන්න. කරුණා මෙත් සිතින් සතුන්ට උපකාර කිරීම දිගට ම කරන්න. දිනපතා මෙත් සිත වඩමින් පින බලවත් කර ගන්න. එවිට මානසික සුවපත් භාවයත්, මතු ජීවිතයේ සුගතියත්, උතුම් ධර්මාවබෝධයත් ලබාගන්නට පුළුවන්කම ලැබේවි.

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 071 547 86 55
තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න
ඔබේ ගැටළුවලට පිළිතුරු ඉදිරි මහාමේඝ කලාපයන් ඔස්සේ…