පසුගිය සති කිහිපය මේ ලෝකයේ වෙසෙන ඇතැම් කෙනෙකුට සතුට හා විනෝදය රැගෙන ආ අතර ඇතැම් කෙනෙකුට දරුණු දුක්වේදනා රැගෙන ආ කාල පරිච්ඡේදයකි. ඇතැම් කෙනෙකුට සතුට හා විනෝදය රැගෙන ආ කරුණ නම් ලෝකයේ මහා ක‍්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළෙලයි. ඇතැම් කෙනෙකුට දරුණු දුක් වේදනා රැගෙන ආ කරුණ නම් රට රටවල් අතර හා නොයෙක් ජාතීන් අතර ඇති වූ යුදගැටුම් ය. මේ අවස්ථා දෙකෙහි දී ම බහුලව කතාවන වචන දෙකකි ජය හා පරාජය. ක‍්‍රීඩා තරඟයක දී ද කෙනෙකුට ජය ත් තවකෙකුට පරාජයත් හිමි වේ. යුද ගැටුමක දී ද කෙනෙකුට ජය ත් තවකෙකුට පරාජයත් හිමි වේ.

ඇතැමෙක් බොහෝ අවස්ථාවල ජය ම ලබයි. පරාජය ලබන්නේ අල්ප වශයෙනි. ඇතැමෙක් බොහෝ අවස්ථාවල පරාජය ම ලබයි. ජය ලබන්නේ අල්ප වශයෙනි.

පසුගිය ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි දී ද මෙබඳු අවස්ථා කැපී පෙනුනා. සමහරු වසර ගණනක් ජය ම ලබා සිට මෙවර පරාජයට පත්වීම නිසා එම ක‍්‍රීඩාවෙන් සමුගැනීමට ද තීරණය කළ අවස්ථා තිබුනි. ඇතැම් ක‍්‍රීඩකයන් තම පේ‍්‍රමය ද ජයගත්තේ මේ ක‍්‍රීඩා උළෙල අතරවාරයේ ය. ඇතැම් ක‍්‍රීඩකයන් තරඟයට වඩා මනුෂ්‍යත්වයට මුල්තැන දීම හේතුවෙන් අන්තිමයා වුවත් ඊළඟ තරඟය සඳහා තෝරාගැනුනි. ඇතැමුන් ඉතිහාසගත ලෝක වාර්තා ද තැබූහ.

රටවල් දෙකක් අතර හෝ ජාතීන් දෙකක් අතර සිදුවන යුදගැටුම්වල දී ද ජය පරාජය දෙකට ම මුහුණ දීමට දෙපිරිසට ම සිදුවේ. ලැබූ යුධ ජයග‍්‍රහණ නිසා ඉතිහාසගත වූ යුධ සෙබළුන් හා යුධ නිලධාරීන් ද ලෝකයෙහි සිටිති. ඒ මොන යුද්ධයන් ජයග‍්‍රහණය කළ ද මේ ලෝකයෙහි ජය ගැනීමට අසීරු මහා යුද්ධයක් තිබේ. එනම් මාරයා සමග කරන යුද්ධය යි. එම යුද්ධය ජයගත්තේ මහාමුනි වූ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේත් උන්වහන්සේ ගේ ළය මඬලෙහි උපන් ශ‍්‍රාවක දරුවන් වූ රහත් මුනිවරුත් පමණි.

සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරා පිරූ පාරමී බලයෙන් වෙසක් පුන් පොහෝ දිනක ඇසතු බෝරුක් සෙවණේදී දස මරසෙන් පරදවා ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේ ලද ජයග‍්‍රහණය කිසිදා නැවත පරාජයක් බවට පත් නොවීය. උන්වහන්සේ විසින් වදාරන ලද්දේ යුද්ධ දාහක් කොට, දහස් ගණන් මිනිසුන් පරදවා ජයග‍්‍රහණය කළ ද එය නියම ජයග‍්‍රහණයක් නොවන බවයි. යම් කෙනෙක් මේ කෙලෙස් යුද්ධයෙන් තමන්ව දිනාගත්තොත් ඒ තැනැත්තා ඒකාන්තයෙන් ම අර සියලූ යුද්ධ දිනපු කෙනාට වඩා උත්තම වන්නේය යනුවෙනි.

‘‘සදේවකේ භික්ඛවේ, ලෝකේ සමාරකේ සබ‍්‍රහ්මකේ, සස්සමණබ‍්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය තථාගතෝ අභිභූ අනභිභූතෝ. අඤ්ඤදත්ථුදසෝ වසවත්තී. තස්මා තථාගතෝ’ති වුච්චති.

මහණෙනි, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් සහිත වූ ලෝකයෙහි ද දෙව්මිනිස් ප‍්‍රජාව තුළ තථාගතයන් වහන්සේ හැම දෙය ම මැඩ පවත්වන්නාහු ය. අනභිභවනීය වන්නාහු ය. එ්කාන්තයෙන් ම සියළු දෙය අවබෝධ කළාහු ය. සියලූ දෙය තම වසඟයට පමුණුවා ගත්තාහු ය. එම නිසා තථාගත යැයි කියනු ලබන්නේ ය.”

අපිත් ඒ අපරාජිත මහා මුනිවරයන් වහන්සේව මුළු හදවතින් ම සරණ යමු.

– මහාමේඝ –