මව්පියන් අතින් මියැදෙන දරුවෝ

මක්, ගමක්, රටක්, ජාතියක් උරුමය කරගෙන අපි කවුරු කවුරුත් මනුස්ස ලෝකෙ ඉපදුණා. මේ මිනිස් ජීවිතයට අපිට අම්මෙක්, තාත්තෙක්, නමක්, රටක්, ජාතියක්, භාෂාවක් ලැබුණා. අපේ අම්මගේ කුසේ පිළිසිඳගන්න අපට සිද්ධ වුණේ කලින් ජීවිතයේ අපි විපාක දීම පිණිස කර්ම සැකසී තිබිය දී මරණයට පත් වුණ නිසා. එ් ජීවිතයේ එ් ආකාරයෙන් මරණයට පත් නො වුණා නම් අපි මේ ජීවිතයේ මේ විදිහට ඉපදෙන්නේ නැහැ…

කලින් ජීවිතයේදීත් අපට අම්මෙක්, තාත්තෙක්, නමක්, ගමක්, රටක් තාවකාලික උරුමයක් වෙන්න ඇති. ඕපපාතික උපතක් ලැබුවා වුණත් එ් අප උපන් තැන දෙවියන්, බ‍්‍රහ්මයන්, පේ‍්‍රතයන්, නිරි සතුන් ආදි වශයෙන් එක් එක් නාමයන් ලබනවා. තාවකාලික ව ලබපු දේ එ් ජීවිතයේ මරණයත් එක්ක අපට අහිමි වුණා. ආයෙමත් තාවකාලික දේවල් ටිකක් එකතු කරන් අපි ඉපදුණා. ඔන්න ඔය විදිහට ම තමයි සසරේ දිගින් දිගට ම අපි ආවේ.

මනුස්ස ලෝකෙට එන්න බලාගෙන අපි කුසේ ඉන්න බව දැන ගනිද්දි මේ ජීවිතයට අපට ලැබුණ අම්මා තාත්තා අපි ගැහැනු ළමයි ද පිරිමි ළමයි ද කියලා දැනගෙන හිටියේ නෑ. අපි දැනගෙන හිටියෙත් නෑ. කළු ද සුදු ද අංගවිකල ද මොන හැඩරුව, මොන ගතිගුණ තියෙන අය ද කියලා දැනගෙන හිටියෙත් නෑ. මොන වගේ වෙයි ද කියලාවත් නො දැන අම්මා, තාත්තා අපි ව හැදුවා. පෝෂණය කළා. ඉගැන්නුවා. අපේ අම්මා තාත්තා අපට සැර වැර වුණ අවස්ථාත් නොතිබුණා නෙමෙයි. එහෙත්, අම්මා තාත්තා කිසි ම අවස්ථාවක අපේ ජීවිතය පැහැර ගත්තේ නෑ. අප ව මරා දැමුවේ නෑ. ඔවුන් එසේ නො කළ නිසා දෙමව්පියන් අතින් වන මරණයකට ගොදුරු නො වී අප තවම ජීවතුන් අතර. හැබැයි, මේ ලෝකයේ හැම දරුවාට ම මේ ලාභය නැහැ. ආයෙ ආයෙමත් ඉපදෙමින් එද්දි මේ අම්මා තාත්තා වෙනුවට අපේ ජීවිතය අපෙන් උදුරා ගන්න අම්මෙක්, තාත්තෙක් අපට ලැබුණොත්….???

කොසු මිටි පහරක සැඟවුණ මරණය

ව්‍යවහාරික වර්ෂයේ මේ ගත වී ගිය අර්ධය තුළ අසන්නට ලැබුණ ඛේදනීය ම සිදුවීම් අතරින් එකක් බවට පත් වූයේ අතුරුගිරිය ප‍්‍රදේශයේ දී සිදු වූ දෙහැවිරිදි මිනුල් දෙව්තිස් පුතුගේ මරණය යි. තම මවගේ අනියම් ස්වාමි පුරුෂයාගේ කොසු මිටි පහරින් මරණයට පත් වූ එ් පුතු අපට සිතන්නට බොහෝ පැතිකඩයන් විවෘත කළා. දරුවාගෙ මවට, අනියම් පුරුෂයාට පමණක් නො වෙයි පවුල්වල උදවියටත් සමාජයෙන් දොස් අසන්නට සිදු වුණා.

දරුවාට පහර දී මරා දැමීමට හේතු වී තිබුණේ දරුවාගේ නියපොතු සිරුරේ වැදීමෙන් ඇති වූ සීරීමක්. එ් අම්මා වැරදි කාම සේවනයේ නො යෙදුණා නම්… එ් මිනිසා වැරදි කාම සේවනයේ නො යෙදුණා නම්… කිරි දරුවෙකුගේ නියපොතු පහර සුරතලයක් ලෙසින් සලකා දරුවා සිප වැළඳ ගන්නා ස්නේහනීය මානසිකත්වය වෙනුවට එ් දරුවා මරා දමන්නට උපන් ද්වේෂ සහගත පාපී අකුසලය එ් සිතේ ඉපදුණේ නැති නම්… මෙවන් පුවතක් අපට එ් පුතු නමින් නොඇසෙන්නට තිබුණා.

නූපන් අකුසල් නූපදවා සිටින්නට ඉන්ද්‍රිය සංවර කරන දහම අපට ඇසෙනවා. උපන් අකුසල් ප‍්‍රහාණය කරන්නට පහාණ සංඥාව පුරුදු කරන දහම අපට අසන්නට ලැබෙනවා. නූපන් කුසල් උපදවන්නට භාවනාවේ යෙදෙන දහම අපට අසන්නට ලැබෙනවා. උපන් කුසල් විපුල බවට පත් කරවන්නට සොඳුරු සමාධි නිමිත්ත රැුක ගන්නා සම්මා වායාමය ගැන ඇසෙන, කථා කෙරෙන පසුබිමක එ් වචන මාත‍්‍රයක් සිතේ දරා ගන්නට බැරි වුණ පිරිස කොයි තරම් ද? එ් ව්‍යායාමයේ යෙදෙන්නට කැමැත්ත, වෑයම් කිරීම, වීර්යය ඇරඹීම, සිත දැඩි කර ගැනීම,බලවත් කර ගැනීම සිදුකර ගන්නට නො හැකි වුණ පිරිස මොන තරම් ද? එ් සතර ආකාරයේ වීර්යය උපදවා ගන්නට, පවත්වා ගන්නට අපොහොසත් වූවන් ව අප සිටින තාක් කල් මේ අසංවරය, මේ ද්වේෂය අප තුළ ඇති වන්නට බැරිකමක් නැහැ නේ ද?

ජාතක පාළියේ එන කට්ඨහාරී ජාතකයේ දී බරණැස් රජු ඉදිරිපිට ඔහුට දාව උපන් තම දරුවා අහසට විසි කොට දැමූ මව සත්‍යක‍්‍රියා කරනු ලැබුවා. රජු විසින් පීතෘත්වය පිළිගනු නො ලබන මේ දරුවා ඔහුගේ ම දරුවා බව සත්‍යයක් නම් දරුවා අහසේ ම රැුඳේවා යන අධිෂ්ඨානයෙන් එසේ මව සත්‍යක‍්‍රියා කරනු ලබද්දී එ් සත්‍යානුභාවයෙන් දරුවා අහසේ ම රැඳී සිටියා. දරුවාට කිසිදු හානියක් වූවේ නැහැ. එවන් සත්‍යානුභාවයක්, එවන් විශාරදත්වයක්, එවන් නිර්භීත භාවයක් පිරිහෙන සමාජයක අප කොහොම අපේක්ෂා කරන්න ද? එ් සා බලසම්පන්න භාවයක් විසින් අපගේ ජීවිතය රැුක දෙයි කියා අප කෙසේ බලාපොරොත්තු වන්න ද?

පිරිහෙමින් යන සමාජ සංස්ථාවක වැසියන් බවට පත්වූ ස්ත‍්‍රී පුරුෂයන්ට දොස් තැබීමෙන් මේ දේවල් නිවැරදි වන්නේ නැහැ නේ ද? අද එ් වරදට ෙදාස් කියන අප අතිනුත් මේ වරද ම විය හැකි ඉඩ විවරවයි අප සිටින්නේ. එ් වගේ ම යි, යළි යළිත් මේ සසරේ සැරිසරා පැමිණෙන්නේ නම් හය හතර නො තේරෙන ළදරු වයසේ දී ම මාපියන් අතින් වුව මරා දැමෙන්නට හැකි ඛේදනීය ඉරණමක් ඇතිවයි අප සිටින්නේ. ඉතින් කොහොමද මේ සසර ගමන ආරක්ෂා සහිත යැයි කියන්නේ….

බැලූ බැල්මට අපට පෙනෙන්නේ එ් ගැහැනියත්, මිනිසාත් අතිශයින් ම වැරදියි කියා නේ ද… ඔවුන්ට වැරදුනා කියා නේ ද… අප එය නැහැ කියන්නේ නැහැ… මේ ධර්ම මාර්ගය තුළ අප‍්‍රමාදී ව වහ වහා ම එතෙරට නො ගියහොත් වැරදෙන ඉඩ අපටත් තිබෙන බව යි අපට මේ සිදුවීම් තුළ සිහිපත් නො වන නමුත් සිහි කර ගත යුතු ම කාරණය. එය සිහි කර ගත්තොත් මෙතෙක් අප තුළ නූපන් එ් අකුසලය නූපදවා සිටීම පිණිස බලවත් වූ කැමැත්තක් ඇති කරගෙන ඉන්ද්‍රිය සංවරයේ යෙදෙන්නට අප තුළත් සම්මා වායාමය දියුණු කර ගත හැකියි.

දරුවන් ගිල්වා දැමූ අම්මා

අලූත උපන් දරු සිඟිත්තෙකු නහවන කොට සිදුරු කරන ලද පොල් කටුවක් භාවිත කරන ආකාරය මේ වන තෙක් ම අපට දකින්නට පුළුවනි. හිල් පොල් කටුවෙන් හෙමි හෙමිහිට ජලය වත් කරමින් ස්නේහනීය අයුරින් දරුවාගේ හිස පිරිමදිමින් සිප ගනිමින් කරවන එ් නැහැවීම මොන තරම් මුදු මොළොක් පහසක් ඇති කරවන්නට සමත් වනවා ද යන්න පෙනී යන්නේ නැහැවෙන අතරේ ම දරු සිඟිත්තා නින්දට වැටෙන නිසයි. අපට සිහිවන අම්මලාගේ තාත්තලාගේ ආදරේ අන්න එ් වගෙයි…

තමන්ගේ කුසේ හැදුනු වැඩුනු දරු පැටියා සෙනෙහසින් නහවන්නට අම්මලාට පුළුවනි. එ්ත් එ් දරු පැටියා වතුරේ ගිල්වා දමන්නට අම්මලාට පුළුවන් ද?

ඇමෙරිකාවේ ශාන්ත ලූවී පෙදෙසේ කාන්තාවක් නිවස තුළ ගිනි ගැනීමෙන් මරණයට පත් වුණා. එ් පිළිබඳ විමර්ශන සිදු කළ පොලිස් කණ්ඩායම් විසින් සොයා ගනු ලැබුවේ ඇයගේ දරුවන් දෙදෙනා නිවසේ නාන බේසමක් තුළ දියේ ගිලී මරණයට පත් වී ඇති බවයි. එ් වගේ ම අම්මාගේ මරණයට පළමු දරු දෙදෙනාගේ මරණ සිදු වී ඇති බවත් හෙළි වුණා. සැක සහිත මේ මරණ නිසා, ගින්නකින් දරුවන් මිය ගිය බව අඟවන්නට ඇය විසින් හිතාමතා ම දරුවන් දියේ ගිල්වා ඉන් පසු ව ගිනි තැබීම සිදු කර ඇති බවයි පොලිස් නිලධාරීන් විශ්වාස කරන්නේ.

ඇයගේ සහෝදරයා විසින් පොලිසියට ප‍්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණේ ඇය නිතර තම දරුවන් සමඟින් කලහකාරී වන බවත්, අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට යොමු ව සිටි බවත්, වරින් වර පුනරුත්ථාපනයන්ට පවා යොමු කොට තිබුණු බවත්.

අපට මේ මුණගැසෙන්නේ ආවේග ඉක්මනින් සන්සිඳෙන ලෝකයක් ද? නැති නම් ඉක්මනින් ම ආවේගයට පත්වන ලෝකයක් ද?

අප මේ ජීවත් වන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය බහුල වන ලෝකයක ද? අවම වන ලෝකයක ද?

අප තුළත්, අන්‍යයන් තුළත් තිබෙන්නේ කලහයට නැඹුරු වූ සිත් ද? කලහයන්ගෙන් බැහැර වන සිත් ද?

සිතා බලන්න. මේ ආකාරයෙන් පිරිහීමට නැඹුරු වූ චර්යා රටාවන් බහුල වෙමින් යන ප‍්‍රවණතාවයක් තුළ ආයෙමත් මනුස්ස ලෝකෙට ආවත්, කොටින් ම මහපොළවෙන් ගත්ත නිය සිළ වගේ අතිශය දුර්ලභ ඉඩකින් රිංගලා මිනිස් ලෝකේ උපතක් කරා ආවා වුණත් එ් පැමිණෙන ගමනෙදි මේ වගේ අම්මෙක් හෝ මේ වගේ තාත්තෙක් හෝ අපට මුණගැසෙන්නට තිබෙන ඉඩ එන්න එන්න ම වැඩි වෙනව ද? අඩු වෙනව ද?

දෙවිවරු අතරේ මේ අනතුර නැහැ. එ් නිසා මනුස්ස ලෝකෙට වඩා රැුකවරණයක් එතැන තිබෙනවා. හැබැයි දෙවිවරු අතරේ උපත මහ පොළව තරම් පිරිසකට අහිමි වෙද්දී එය ලැබෙන්නෙත් නිය සිළට ගත්ත පස් ටික වගේ ස්වල්පයකට ම පමණයි. එ් උපත ලැබෙන්නෙත් පුණ්‍ය විපාකයකින්. පින ගෙවී ගියාට පස්සේ යම් දවසක පහළට හැරී එ්ම හැර විකල්පයක් නැහැ. අනාරක්ෂාව එ් ආකාර ම යි… එ් නිසයි මේ තථාගත සිහනාද වූ සම්බුද්ධ ශාසනය තුළ අප යළි හැරී එ්මක් නොවන ආරක්ෂිත බිමකට පැමිණිය යුත්තේ. මේ අසන දකින අනතුරු සහගත බව තුළ අපට මඟ ඵලලාභියෙකු වීමේ ආරක්ෂාව ම යළි යළිත් සිහි කර ගත හැකි නම් එයත් ලාභයක් ම යි නේ ද…!

දරුවන්ට ගිනි තියන අම්මලා…

සාමාන්‍යයෙන් සමාජයීය කාරණා සකස් වන්නේ උස් මහත් වන තරුණ දූ දරුවන් විවාපත් ව පවුල් ජීවිත ගත කිරීම අරඹමින්. එ් විවාහ ජීවිත ඇතැම් විට මාපිය වැඩිහිටි පරම්පරාවන්ගේ කැමැත්තෙන් සිදු වන්නට පුළුවනි, අකැමැත්තෙනුත් සිදු වන්නට පුළුවනි. මාපිය වැඩිහිටියන්ගේ අනුමැතියකින් සිදු නො වූ විවාහයක දී අප දකින්නේ බොහෝ විට දරු මල්ලන් ලැබෙන විට එ් නොහොඳ නෝක්කාඩු අවසන් ව යළිත් පවුල් අතර සුහදතාවය වර්ධනය වන බවක්. කලාතුරකින් එ් විරසක වීම් යළි කෙදිනකවත් සන්සිඳී නොයන අවස්ථා ද දකින්නට පුළුවනි. ඉතා ම කලාතුරකින් මේ කාරණා දෙකින් ම බැහැර වූ දෙයක් වුවත් වන්නට හැකි බව තහවුරු කරන මේ පුවත වාර්තා කෙරුණේ පාකිස්ථානයේ ලාහෝර් නගරයෙන්.

පවුලේ කැමැත්ත නොමැතිව විවාහ වූ තම දියණියට පහර දී ගෙල සිර කර මරා දමා සිරුරට ද ගිනි තැබූ බවට සැක පිට 50 හැවිරිදි මේ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණා. මිය ගිය 18 හැවිරිදි තරුණියගේ සොයුරා මේ සිදුවීමෙන් පසු ප‍්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර තමන් විසින් ඇය ව මරා දැමූ බවටයි මව විසින් පාපොච්ඡුාරණය කරනු ලැබුණේ.

මාසයක් තුළ පාකිස්ථානයෙන් වාර්තා වූ මේ ආකාරයේ තුන්වන සිදුවීමයි එ්. ඊට පෙර, නිවැසියන් විසින් ගෙනා විවාහ යෝජනාවක් ප‍්‍රතික්ෂේප කිරීම නිසා ඉස්ලාමාබාද් නගරය ආසන්නයේ දී තරුණ පෙරපාසල් ගුරුවරියක් නිවැසියන් විසින් ගිනි තබා මරා දමනු ලැබුවා. ඇබෝටාබාද්හි දී ඇයගේ මව සහ තවත් කිහිපදෙනෙකු එක් ව දැරියක පුළුස්සා මරා දමනු ලැබුවේ එ් දැරියගේ මිතුරියකට තම පෙම්වතා හා නිවසින් පලා ගොස් විවාහ වන්නට උදව් කළා ය යන චෝදනාවට වැරදිකාරිය කිරීමෙන් පසුයි.

අපේ ජීවිතවල අප ගනු ලබන තීරණ සෑමවිට ම අපගේ මාපියන්, නෑදෑ හිතමිතුරන් සතුටට පත් කරන්නේ නැහැ. මාපිය ගෞරවය, වැඩිහිටි ගෞරවය හීන වෙමින් යන සමාජ වටපිටාවක ඔවුන්ගේ ආකල්පයනට අනුගත වීම වෙනුවට එ්වාට ප‍්‍රතිරෝධී වීම ම යි අපට වැඩි වශයෙන් ඉදිරියේ දී මුණගැසෙනු ඇත්තේ. හොඳ, නරක, යහපත, අයහපත කියා දෙන – තෝරා බේරා දෙන මේ දහම හැම කල්හි ලෝකයේ පවතින්නේත් නැහැ. ලෝකයේ අද අප දකින නුහුගුණයන්ගේ, අද අපගෙන් දොස් ලබන නුහුගුණයන්ගේ නැගී සිටීම හෙට හෝ මතු මිනිස් ජීවිතයක හෝ අප තුළින් සිදු නො වේ යැයි අප සිතන්නේ කොහොම ද… ඉපදුණු සත්වයා මුහුණ දෙන ඛේදනීය ඉරණම් එකින් එක මෙසේ අසන්නට ලැබෙද්දී අප කලකිරිය යුත්තේ එ් සමාජ ක‍්‍රමයන් ගැන ද? නො එසේ නම් මේ සා දුක්ඛිත ඛේදවාචකයන්ගේ උරුමය මඟ නොහැරෙන ඉපදීම ගැන ද? අද අපට කලකිරීම ඇති කරවන එ් සමාජ ක‍්‍රමය අප ඉපදෙන තාක් කල් අපට අහිමි වෙන්නේ නෑ නේ ද… එ් නිසා, ඉපදීම ගැන ම යි කලකිරිය යුත්තේ. ඉපදීමෙන් නිදහස් වන්නට ම යි වීර්යය කළ යුත්තේ.

දියණිය මරා ගිල්වූ අම්මා

අවුරුද්දකුත් මාස දෙකක් වයසැති තම දියණිය නන්නාඳුනන පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගිය බවට ඔස්ටේ‍්‍රලියාවේ උතුරු මෙල්බර්න්හි දී මවක විසින් පැමිණිලි කරනු ලැබුවා. දරුවන් තබා තල්ලූ කරන කුඩා කරත්තයක සිටි තම දියණිය උද්‍යානය තුළට ගෙන යමින් සිටිය දී මෙම පැහැර ගැනීම සිදු වූ බවයි පැමිණිල්ලේ දැක්වුණේ. ඊට පසු දින උද්‍යානයේ දොළ පහරක තිබිය දී දැරියගේ විකෘති කොට දමන ලද මළසිරුර හමු වී තිබුණා. උද්‍යානයේ වූ සීසීටීවී කැමරා දර්ශන නිරීක්ෂණය කළ පොලිස් නිලධාරීන් විසින් මව තම දියණිය ව කරත්තයේ තබාගෙන උද්‍යානය තුළට ගිය බවත්, යම් වෙලාවකට පසු හිස් කරත්තය තල්ලූ කරගෙන ආපසු පැමිණි බවත් තහවුරු කර ගත්තා. මේ සැක සහිත නිරීක්ෂණයන් නිසා මවගෙන් පෙරලා ප‍්‍රශ්න කරනු ලැබූ විට ඇය විසින් පාපොච්ඡුාරණය කරනු ලැබ තිබුණේ දියණිය තමා විසින් ම මරා දැමූ බවයි…

තම කුසේ ඇති දැඩි වුණ, තම කිරෙන් පෝෂණය වුණ, තමා විසින් ම හදා වඩා ගත්ත දරුවා පවා මරා දමන සිත් පහළ වන්නවුන් ලෝකයේ සිටිනවා. ඉතින් මොන අම්මගේ කුස ද?, මොන තාත්තාගේ සෙවණ ද? අප ව නො මරා රැුක ගනියි කියා අපට සිතිය හැක්කේ? විශ්වාසය තැබිය හැක්කේ? අප මේ කරුණ ඉස්මතු කරන්නේ ඔබේ මාපියන් සැක කරන්නට කියා කියන්නට නො වේ; මිනිස් ලොව තුළ අපට එන්න එන්න ම තීව‍්‍ර වන අනතුර ගැන කියන්නයි.

බුද්ධ කාලයේ එක අම්මා කෙනෙක් හිටියා. දරුවෙක් පිළිසිඳගෙන මාස නවයක් ගෙවුණා. දරුවා බිහි වුණේ නෑ. අවුරුද්දක් ගෙවුණා. දරුවා බිහි වුණේ නෑ. අවුරුදු දෙකක් ගෙවුණා. දරුවා බිහි වුණේ නෑ. අද කාලේ නම් දවස දෙක ප‍්‍රමාද වෙද්දි සැත්කමක් කිරීමෙන් එ් දරුවා බිහි කරනු ලබනවා. එ් කාලයේ එහෙම දේවල් තිබුණේ නෑ. අවුරුදු හතකුත්, මාස හතකුත්, දවස් හතක් එ් දරුවා මව් කුසේ ම හිටියා. කොහොම තියෙන්න ඇති ද? මොන තරම් අපහසුවකින්, මොන තරම් වේදනාවකින් එ් අම්මා කල් ගත කරන්න ඇති ද? අපට එවැන්නක් වුණා නම් වසක් විෂක් කා හෝ මැරෙන්නට හිතේවි. ගඟක මුහුදක පනින්නට හිතේවි. දරු ගැබ විනාශ කරන්න කරුණු හොයා ගනීවි. එ්ත් මේ අම්මා එහෙම කළේ නෑ. ‘‘අනේ මං සරණ ගිය ශාස්තෘන් වහන්සේට මේ දුක් නෑ නෙව. මේ දුකෙන් නිදහස් වෙන්න නෙව උන්වහන්සේ ධර්මය කිව්වේ…” කිය කියා කුස අත ගාමින් බුදු ගුණ ම හිතුවා. එ් තාත්තා කිව්වෙත් නෑ, ”මේ මොන කාලකණ්ණියෙක් ද? අපවත් නසන්න තමයි ආවේ. නැහිලා ගියා නම් හොඳයි…” කියලා. මොකක්ද මේ වෙනස? එ් අම්මයි, තාත්තයි දෙන්න ම සෝවාන් මඟ ඵලලාභීන්.

ප‍්‍රාණඝාතයකට නැමෙන හිතක් යළි කිසි දිනක නූපදින අය. ඉතින් එ් අම්මා තාත්තා දෙන්නත් රැුකුණා. දරුවත් රැකුණා. එහෙම ලෝකයට බිහි වුණේ ගෞතම සම්බුදු සසුනේ ප‍්‍රත්‍යලාභීන් අතර අග‍්‍ර වූ සීවලී මහරහතන් වහන්සේ. පින් නැති කෙනෙක් ද? මහා පිනක් තිබූ කෙනෙක්. හැබැයි, රැකුණේ ආර්යකාන්ත සීලයක පිහිටි දෙමාපියන් නිසයි…

අජාසත්ත කුමාරයා ඉපදෙන්නට සිටිද්දී මව් බිසවට බිම්බිසාර රජුගේ උරය පලා ලේ බොන්නට සිතුණා. පෙරෙවි බමුණන් අනාවැකි පැවසුවේ පීතෘඝාතක පුතෙකු උපදින බවයි. මව් බිසව රජුට බොහෝ ස්නේහවන්තයි. ඇය දරු කුස අඹ ගසක අතුල්ලමින් සිහි විකල් වූවක මෙන් හැසිරුණේ දරුවා නැසුන ද තම ස්වාමියා රැක ගැනීමේ අදහසින්. බිම්බිසාර රජුයි ඇය ව වැළැක්වුවේ. එකල්හිදීත් ඔහු සෝවාන් වූ උතුමෙක්.

බලන්න. සෝවාන් වූ අම්මෙකු හෝ තාත්තෙකු තමයි අපට මනුස්ස ලෝකෙදි පිළිසරණය සලසන්නේ. එ් වගේ ම තමයි, අපත් සෝවාන් මඟ ඵලලාභීන් වුවහොත් පමණ ම යි අප අතින් අපේ දරුවෙකු කිසි කලෙක නො මැරෙන බවට සහතික විය හැක්කේ.

ඉතින්, චක‍්‍රවර්තී රජ කෙනෙකු වනවාටත් වඩා සෝවාන් වීම ම නො වෙයි ද උතුම් වන්නේ…!

****************
මනුස්ස ලෝකෙට එන්න ලැබෙන හැම වාරෙ ම අපි ව ආදරයෙන් හදා වඩා ගනීවි කියලා හිතන්න කාරණා අපට නැහැ. මොහොතක් සිතා බලන්න. එ් දරුවන් මනුස්ස ලෝකෙට ආවේ දෙවියන් අතර ඉඳලා, නිරයේ නොවැටී යාන්තමින් බේරිලා වෙන්න පුළුවනි. එහෙම නැති නම් මනුස්ස ලෝකෙ ම කලින් ජීවිතෙත් ඉඳලා, දුගතියට නොවැටී යාන්තමින් බේරිලා වෙන්නත් පුළුවනි. එහෙමත් නැති නම්, අතිශය දීර්ඝ කාලයක් සතර අපායේ වැටි වැටී ඉඳලා කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලූවාටත් වඩා දුර්ලභ වුණ ඉඩකින් මනුස්ස ලෝකෙට එන්න ලැබුණු නිසා වෙන්නත් පුළුවනි. එ් තරම් දුර්ලභ අවස්ථාවකින් මනුස්ස ලෝකෙ ඉපදුණ කෙනා නම් මේ මරා දැමෙන්නේ… එ්ක මොන තරම් ඛේදවාචකයක් ද?

සමහර විට මේ දරුවා මනුස්ස ලෝකෙ ඉපදෙනකල් අම්මලා, තාත්තලා සිහින මව මව ඉන්නත් ඇති. එ් දරුවා නමින් සිහින ලෝකයක් හිත්වල තියෙන්නත් ඇති. අන්න එහෙම අපේක්ෂා සහිත ව තමන්ට මනුස්ස ලෝකයේ ලැබුණ ජීවිත ලාභය ම තවත් කෙනෙකුට උරුම කරලා දීලා, හිතට එන ආවේග මැඩ පවත්වන්නට බැරි ව, ඉන්ද්‍රිය සංවර කර ගන්නට නොවෙහෙසීම නිසා එ් දරුවන් මරා දමලා තමන් සුගතිය අහිමි කරගෙන සතර අපායේ ම වැටෙනවා නම්… එ්කත් මොන තරම් ඛේදවාචකයක් ද?

මේ දෙයාකාරයේ ම ඛේදවාචකයන්ගෙන් මිදෙන්න තිබෙන්නේ එක ම එක ක‍්‍රමය යි. අප මේ ධර්ම මාර්ගය තුළ මඟ ඵල සාක්ෂාත් කළ විපුල වූ අභිවෘද්ධියට පත් විය යුතු යි.

දෙව් බඹ ලෝකවල ද මේ මිනිස් ලොව ද නො වූ විරූ එ් එ්කාන්ත රැකවරණ සලසා ගනු කැමැති සද්ජනයිනි…, නොපමා වෙමු දහම් මෙඟහි…. මේ සුගත තථාගත ශ්‍රී සද්ධර්මය එ්කාන්තයෙන් ම සන්දිට්ඨිකයි…!!!

සටහන – උදුලා පද්මාවතී