එක පාසලක් වසා දැමීමෙන් සිරගෙවල් දහසක් විවෘත වන බවට ප‍්‍රකට කියමනක් තිබෙනවා. එතකොට හිරගෙයක් වසා දැමීමෙන්???

අපරාධ රැල්ල ක‍්‍රමයෙන් වැඩි වන ලෝකයක හිරගෙයක් වසා දැමීම කියන එක වෙන්න බැරි දෙයක් වගේ පෙනුනත් නෙදර්ලන්තයට හැකි වුණා හිරගෙවල් වසා දමන්නට.
2013 වර්ෂයේ පමණක් එසේ වසා දැමුණු හිරගෙවල් සංඛ්‍යාව 19ක්.

මේ ආකාරයෙන් හිරගෙවල් වසා දමන්නට හේතු වුණේ සිදු වන අපරාධ සංඛ්‍යාව ක‍්‍රමිකව අඩු වීම සහ සිරගත වූ අපරාධකරුවන් ව සිරකරුවන් ලෙස රඳවා තැබීම වෙනුවට ආර්ථික වශයෙන් ඵලදායී අයෙකු ලෙස වෘත්තීය සේවාවන්හි යෙදවීමට නෙදර්ලන්ත රජය ක‍්‍රියා කිරීම.

මොන තරම් හොඳ ප‍්‍රවණතාවයක් ද කියලා ඔබට හිතෙන්න ඇති. ඔව්. එය හොඳ දෙයක් තමයි. හැබැයි මේ ‘හොඳ’ දෙය පවත්වාගෙන යෑමට නම් ඔවුන්ට එ් තරම් උනන්දුවක් නැති පාටයි.

පසුගිය අධි ඇසළ කලාපයේ මහාමේඝ පුවත් සඟරාවෙන් අප ඔබට ඉදිරිපත් කළ එක් පුවතකින් කියැවුණේ ‘එක්ස්ටසි’ මත්ද්‍රව්‍ය නීතිගත කරන්නට නෙදර්ලන්ත තරුණ තරුණියන් පිරිසක් යෝජනාවක් සම්මත කර ගත් බව. කල කෝලාහලයන්ට හේතු වන මත්පැන් මත්ද්‍රව්‍ය නීතිගත කරන්නට එසේ කටයුතු කිරීම තුළ හිරගෙවල් කීයක් නම් යළි විවෘත කරන්නට සිදු වේවි ද?

ලෝකයේ සිදුවන අපරාධ සහ අනතුරු වැඩි ප‍්‍රමාණයකට වග කියන්නේ මත්පැන්, මත්ද්‍රව්‍ය. අපේ රටෙත් එය එසේ ම යි. මත්පැනින් නො වැළකෙන තැනැත්තා මෙලොව දී ම කුසල් මුල් වනසා ගන්නා බවයි සම්බුදුරජාණන් වහන්සේ වදාළේ. එ් අවවාදයේ පිහිටලා, මතට තිත තියන්නට හැකි වුණහොත් අපටත් පුළුවනි හිරගෙවල් වසා දමන්නට.

එ්කපුද්ගල මත්පැන් පරිභෝජනය අතින් අප සිටින්නේ ලෝකයේ හතරවන ස්ථානයේ. එය අවමානයට කාරණයක්. හිරගෙයක දොර ඇර තබන කාරණයක්.
සැබෑ බුද්ධ ශ‍්‍රාවකයෙක් වෙලා, මත්පැනින් සදහට ම වැළකිලා, හිරගෙවල් වසා දමන ධෛර්යවන්ත මිනිසා බවට ඔබත් පත් වෙන්න.