පවුලේ එකම පිරිමි දරුවා

අජිත්ගේ ගම් ප‍්‍රදේශය කුලියාපිටියයි. නගරයෙන් තරමක් ඈත පිටිසර ගමක අක්කලා දෙදෙනෙකු සහ නංගිලා දෙදෙනෙකු අතර ඉපැදුනු පවුලේ එකම සහෝදරයා ඔහු විය. පියා අහිංසක ගොවියෙකි. මේ වනවිට අජිත් අවුරුදු 44ක් වයසැති පුද්ගලයෙකි. ගමේ පාසලෙන් අ. පො. ස. සාමාන්‍ය පෙළ සමත් විය. පාසලෙන් ඉවත් වූ ඔහු කුරුණෑගල ප‍්‍රදේශයේ දැවැන්ත ඇඟලූම් කම්හලක වැඩ පරීක්ෂකවරයෙකු වශයෙන් රැකියාව ඇරඹී ය. දින කීපයක ඉපයූ නිවාඩු එක දිගට ඉල්ලාගෙන සති අන්තයක් අල්ලා මසකට වරක් ගෙදර ගොස් අජිත් තම අදරැති දෙමාපියන් සමඟ ගත කළේ ය. අජිත්ගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා ම විවාහ වී ගමෙන් ඈත පදිංචි වී සිටියහ. වැඩිමහල් නංගී විවාහ වී මස්සිනා ද කුඩා දරුවා ද සමඟ පදිංචි ව සිටියේ මහ ගෙදර ය. වැඩි කලක් නො ගොසින් නොබෝදුරක ගමකින් ගැළපෙන ගැමි දැරියක් පෙළවහට ගත් අජිත් ඇය සමඟ මහ ගෙදර ගත කළේ ඉතා කෙටි කලකි. අක්කර හතරක් පමණ විශාල වූ මහගෙදර ඉඩමේ කොනක පිහිටි ඕවිටක කුඩා ගෙපැලක් අටවාගෙන අජිත් පදිංචි වුණේ ඉඩමේ ප‍්‍රධාන පාර පැත්තේ ටිකක් ලොකුවට ගෙයක් හදා ගන්නතුරු තාවකාලිකවයි.

වෛරය අල්ලපු ඉඩමේ

මහගෙදර ඉස්සරහ අක්කරයක පමණ වූ කුඹුරු කෑල්ලක් පියා වගා කරමින් සිටි අතර හැකි හැම විටක ම අජිත් ද කුඹුරු වැඩවලට පියාට උදව් කළේ ය. වැටකඩුලූ නැති අජිත්ගේ ඉඩමේ පසුපස මායිම අද්දර තිබුණේ විල්සන්ගේ නිවසයි. ප‍්‍රධාන පාරේ සිට පළල් නියරක් දිගේ ටික දුරක් ඇවිත් එක් පටු නියරක් අජිත්ගේ ගෙදරටත්, තවත් පටු නියරක් විල්සන්ගේ ගෙදරටත් ළඟා වීමේ ප‍්‍රවේශ මාර්ග ලෙස වැටී තිබුණි. සමාජ විරෝධී ක‍්‍රියාවන්හි යෙදෙමින් ජීවත් වූ විල්සන් තමන්ට මෙන් ම සෙසු ගම්වාසීන්ට ද මහත් උවදුරක් විය. විල්සන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය වූයේ විෂ කසිප්පු මත්පැන් නිෂ්පාදනය කොට විකිණීම ය.

ලූහුබඳිමින් ආ ආරවුල

එක්තරා මහ මැතිවරණයක ප‍්‍රතිඵල නිකුත් වීමත් සමඟ ජය ලැබූ දේශපාලන පක්ෂයට උපකාර කළ විල්සන් සෙනගක් ද කැටුව පැමිණ අජිත්ලාගේ නිවසට පහර දීමට නායකත්වය දුන්නේ ය. ඉන් නො නැවතුන ඔහු අජිත්ගේ පියා මරා දැමීමට වෑයම් කළ නිසා පණ බේරා ගැනීමට අවුරුද්දක පමණ කාලයක් පියා ගම අත්හැර ගොස් සිට ඇත. කරදර කිරීමෙන් විල්සන්ගේ අභිලාෂය වී ඇත්තේ තම පවුලට ගමේ ජීවත් වීම එපා කොට ගමෙන් පලවා හැර තම ඉඩ කඩම් ගේ දොර ආදිය අල්ලා ගැනීම බව අජිත් පවසයි. තමා ම හදන කසිප්පු කටගොන්නක් බීගෙන අජිත්ගේ පවුලේ අයට නින්දා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදීම විල්සන්ගේ දිනචර්යාවේ එක් අංගයක් විය. ඉවසාගෙන ඉන්නට බැරි තැන අම්මා ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්නට යෑමෙන් අජිත්ගේ පවුල සහ විල්සන් අතර නිතර රණ්ඩු සරුවල් ඇති විය. අම්මා දුන් ඔත්තු මත විල්සන්ගේ කසිප්පු පොළ පොලීසියෙන් වටලනු ලැබුණි. විල්සන්ට දඩ නියම විය. පොලීසියෙන් වූ පාලනය නිසා විල්සන්ගේ කසිප්පු ජාවාරම අත් හිටවනු ලැබුණි. අම්මා එයට වඩාත් සතුටු වූයේ සවසට විල්සන්ගේ ගෙදරින් කසිප්පු බීගෙන යන ඔහුගේ පාරිභෝගිකයින් තම ගේ ඉදිරිපිට නියර දිගේ යාම ඊම වැළකුණු හෙයිනි.

වැරදිකරු උදැල්ල ද?

1997 වර්ෂයේ අජිත් නිවාඩුවට ගෙදර ගොස් සිටි එක් දිනයක උදේ විල්සන් දැඩි ලෙස බීමත් ව අජිත්ගේ පවුලට අපහාස කරමින් නියර දිගේ ගමන් කොට ඇත. එදින විල්සන් තමාව සණ්ඩුවට ඇද ගන්නට පුදුම උත්සහයක් ගත්තා යැයි අජිත් කියයි. අජිත්ට නො සරුප් ලෙස බණින ප‍්‍රමාණයෙන් කෝප වූයේ අජිත්ගේ අම්මා ය. තම පුතාට විල්සන් බැණ වදිනු ඉවසිය නො හැකි වූ ඇය ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරමින් සණ්ඩුවට පැටළුනා ය. බහින්බස් වීම දුරදිග ගියේ ‘තෝ කනවා’ යැයි කියමින් විල්සන් අජිත්ගේ මව පසුපස ලූහුබැඳීමෙනි. මව නිවස දෙසට දිව්වත් විල්සන් ඉක්මන් විය. අජිත්ගේ මව ‘මෙන්න මාව මරනවෝ’ යැයි මර හඬ දුන්නා ය. කුඹුරේ වැඩ කරමින් හුන් අජිත් උදැල්ලත් අතැති ව මවගේ හඬ ඔස්සේ දිව ගියේ ය. තම මව බිම පෙරළාගෙන ඇයගේ බෙල්ල පාගාගෙන වහසි බස් දොඩවන විල්සන් දුටු විට අජිත්ගේ සංයමය පහ විය. එසවූ උදැල්ල විල්සන්ගේ හිස මත හෙලූනි. අමාරුවෙන් අම්මා නැගිට ගත්තත් විල්සන් නැවත නැගිට්ටේ නැත.

පුතා බේරෙයි ද?

අජිත් වහාම පොලිසියට ගොස් සිදු වූ සියල්ල පොලිස් පොතේ සටහන් කරවීය. බියට පත් වූ අජිත්ගේ මව තම පුතා බේරා ගැනීමේ අරමුණෙන් තම සැමියා ද සමඟ පොලිසියට දිව ගියා ය. පොලිස් පරික්ෂණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් අජිත්, අම්මා, තාත්තා පමණක් නො ව බාල නංගී ද විල්සන් මැරීමේ චෝදනාව මත රිමාණ්ඕ භාරයට පත් වූහ. මහේස්ත‍්‍රාත් උසාවියේ නඩු විභාගයෙන් පසු අම්මාත්, නංගීත් නිදහස් වූ නමුත් අජිත්ට සහ පියාට විරුද්ධව අධිචෝදනා ගොනු කරන ලද අතර මහාධිකරණයේ මිනීමැරුම් නඩුව විභාගයට ගැණින. එහි දී පියා නිදොස් ව නිදහස් කෙරුණි. අජිත් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය වරදට වැරදිකරු වී දස අවුරුදු සිර දඬුවමකට ලක් විය. මව තමා බේරා ගැනීම සඳහා වෙහෙස වී ඇයගේ ශාරීරික ආබාධ සඳහා ප‍්‍රතිකාර ගැනීමට රෝහල්ගත නො වීම නිසා සිදු වූ සැබෑ තත්ත්වය අධිකරණයේ දී සනාථ කර ගැනීමට අපහසු වූ බව අජිත් කියයි. මේ වනවිට ඔහු අවුරුදු 06ක් සිර දඬුවම් විඳ අවසන් ය. තමා අතින් වූ මරණය තමාට වැළැක්වීමට කිසිසේත් නො හැකි වූ දෙයක් යැයි ද තමා එදා ඒ පියවර ගත්තේ නැත්නම් තම මව මරණයට පත් වන්නේ යැයි ද කියන අජිත් ඒ බව වගකිවයුත්තන්ට දැනුම් දෙමින් දඬුවමේ සහනයක් ලබා ගැනීමට වෙර දරයි. තවත් ටික කලක් ගත වූ පසු තමාට යම් සහනයක් ලැබෙනු ඇතැයි ඔහු බරපතළ විශ්වාසයක පසු වෙයි. විල්සන් මරා දැමීමේ අබමල් රේණුවක තරම්වත් චේතනාවක් තමාට නො වූ බව අජිත් කියයි.

අනාගත අපේක්ෂා

නිදහස් වී ඉක්මණින් ගෙදර යාමේ අපේක්ෂාව නිසා සිතෙන් නො වැටී සිටීමට උත්සහ ගත්තත් අජිත් බන්ධනාගාරයේ සිරබත් කන්නේ මහත් කණස්සල්ලකිනි. එදා අජිත්ගේ අපේක්ෂාව වී තිබී ඇත්තේ ඇඟලූම් කම්හලෙහි සේවය කොට යම් මුදලක් උපයාගෙන පෞද්ගලික ව්‍යාපාරයක් ආරම්භ කිරීම ය. ඒ සියල්ල අවුරුදු ගණනකින් පිටුපසට ඇද දමා ඇත. අජිත් ව බේරා ගැනීමට කැප වී කටයුතු කිරීමෙන්දෝ පියා ද මේ අතරතුර අසනීප ව මිය ගොස් ඇත. පවුලේ එකම පිරිමියා, පවුල ඉදිරියට ගෙන යන්නට සිටි පුද්ගලයා අජිත් තවම හිර මැදිරියේ ය. ‘‘කොහොම වුණත් මගේ දරුවන්ට තාත්තගේ පිළිසරණ තරම් දෙයක් කොයින් ද? ඒ දෙන්නට මගේ ආදරය, රැකවරණය අහිමි වෙලා. මා ගෙදර සිටියා නම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය මීට වඩා හොඳින් බලන්නට මට පුළුවන් වෙනවා.” අජිත්ගේ බිඳ වැටුණු අපේක්ෂාවන් පැහැදිලි කරයි.

පසුතැවිලි වීමක් ද?

විල්සන් මිය ගියේ ඔහුගේ ම වරදින් නිසා තමාගේ තැවීමක් නැති බව කියතත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයක් තමා අතින් වැනසී ගිය බවට අජිත් කණගාටු වෙයි. ‘කොච්චර වුණත් මිනිහෙක්නේ’ අජිත්ගේ මුවින් පිට වුණි. තමා ප‍්‍රාණඝාත අකුසල කර්මයට මතු භවයේ ගොදුරු වන්නේ දැයි මගෙන් නිශ්චිත ව දැන ගන්නට ඔහුට අවශ්‍ය විය. මේ වනවිට විල්සන්ගේ පවුල ආර්ථික අතින් දියුණු තත්ත්වයකට පත්ව ඇති බවත්, බස් රථ යාන වාහන හිමිව සමාජයේ ඉතා හොඳින් ජීවත්වන බවත් එය හැම දෙනාට ම යහපතක් බවත් අජිත් කියයි.

නො දැහැමි ජීවිතයක් ගත කළ විල්සන්ගේ ඉරණමෙනුත්, සංයමය ඉක්මවා උදලූතලය පෙරට ගැනීමෙනුත් අපට ඉගෙන ගන්නට ඇති පාඩම් බොහෝ ය.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල