සිරමැදිරියක් යකඩ කූරු අතර සිරවූ තවත් ශෝකාන්තයක කතා පුවතක් අසා දැනගන්නට බන්ධනාගාරයට ගිය මට බන්ධනාගාර නිලධාරීන් ගේ අවසරය මත කථා කිරීමට ලැබුණේ වයසින් අවුරුදු තිස් එකක් පමණ වූ තරුණයෙකු සමඟ ය. අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී දුකින් කාලය ගත කරන ‘විජිත්’ තම කතාව දිග හරින්නට පෙර දෑතින් මුහුණ වසාගෙන මිනිත්තු කීපයක් හඬන්නට විය. බිමට එබූ හිස කෙමෙන් ඔසවා දෑස් පිස දා ඔහුගේ කතාව සම්පිණ්ඩනය කොට කියා සිටියේ තමා සිදු නොකළ අපරාධයකට දඬුවම් ලබන බවයි.

තරුණයෙකු ගේ ව්‍යාපාර ජීවිතය 
තමාගේ ම මුවින් පිට වූ ආකාරයට විජිත් ගේ ජීවිත කතාව ඇරඹෙන්නේ පාසල් හැර යාමත් සමඟ ම ය. අධ්‍යාපන පොදු සහතිකපත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ලියූ විජිත් පාසල් ජීවිතයට ආයුබෝවන් කීවේ, ඉගෙනීමට හෝ හොඳින් ඉගෙන ගෙන වෘත්තියක් කිරීමට තරම් තමාට හැකියාවක් ඇතැයි විශ්වාසයක් නොවූ නිසාය. තාක්‍ෂණය ගැන විශ්වාසය තැබූ තම පියා ද විජිත් ගේ ජන්ම කේන්ද්‍රය බලා ඔහුට යෝග්‍ය යයි තීරණය කළේ ව්‍යාපාර කටයුතුවල නිරත වීමයි. පියා විධායක නිලධාරියෙකු වූ අතර සොයුරු සොයුරියෝ කීප දෙනෙකු ම අධ්‍යාපනය අවසන් කොට, මධ්‍යම මට්ටමේ රැකියාවල නිරත වූහ. පාසල් අවධියේ දී තමාට වැඩිපුර යාලූ මිත‍්‍රාදීන් නොසිටි අතර, තමා කිසි දිනෙක ගැහැණු ළමයෙකු සමඟ මිත‍්‍ර කමක් හෝ ඇති කර ගත්තේ නැතැ යි ද, කණ්ඩායම් ගත වීමට අවස්ථා ඇති නොවූයේ යැයි ද හේ පවසයි. ඔහුගේ ගම් ප‍්‍රදේශය මාතර වූ අතර, පදිංචි නිවස පිහිටා තිබුණේ නගරයෙන් කිලෝ මීටර් හතරක් පමණ ඈතිනි. වෙළඳාමක් සඳහා ස්ථානයක් සොයමින් සිටි ඔහුට නගරයේ අලූතෙන් ඉදිවුණු නාගරික සුපිරි වෙළෙඳ සැල් සංකීර්ණයක පහත මාලයේ කඩ කාමරයක් ලබා ගැනීමට හැකි වූයේ පියා ගේ දේශපාලන සම්බන්ධතාවල උපකාරය ද ඇතිවය. පියා පෙර නිමිති දුටුවා සේම ඔහුට ව්‍යාපාරික වාසනාව හොඳින් පැදී තිබුණි. ඔහු තම පියාගෙන් ලැබුණු රුපියල් ලක්‍ෂයක මුදල ආයෝජනය කොට කුකුල් මස් සකස් කොට සපයන සැපයුම් කරුවන්ගෙන් ශීත කළ මස් ලබාගෙන විකුණා ඉතා හොඳ ආදායමක් ලබන්නට පටන් ගත්තේ ය.

තරුණ්‍යයේ මං මුලාව
මස් මිලට ගැනීමට කඩයට එන ගැහැණු පිරිමි හැම දෙනෙකු ම සමඟ කුලූපග වන්නට විජිත්ට හැකි විය. කාමිණී නම් එක්තරා රූමත් කාන්තාවක් මස් මිලට ගන්නට එනවාට වඩා තමාට වඩ වඩාත් සමීප වන්නට එන බව විජිත්ට ඉඟියෙන් දැනුණු අතර, ඔහු ද එය තමා ලද වාසනාවක් ලෙස සලකා ඇය සමඟ ඇසුරට වැටුණේ ය. ටික කලකට පෙර අවුරුදු උත්සවයක දී ප‍්‍රදේශයේ අවුරුදු කුමාරිය ලෙස ජයග‍්‍රහණය ලබා ඇති ඇය සැබැවින් ම රූමත් ස්ත‍්‍රියක් වූවා ය. කෙසේ වෙතත් ඇය රැවටීමකට මුලා වී, හරි හැටි රැකියාවක්, ආදායම් මාර්ගයක් හෝ සමාජ පසුතලයක් නැති ජගත් නැමැති අයෙකු සමඟ විවාහ වී සිටි ස්ත‍්‍රියක විය. තමාට වඩා වයසින් අවුරුදු හතරක් පමණ වැඩි මහලූ බව දැන දැනත් ඇයගේ ඇසුර ලබා, ලාමක සුවයක් ලබා ගැනීමට විජිත් ද බලවත් සේ උනන්දු විය. ප‍්‍රතිඵලය වූයේ දෙදෙනා අතර අනියම් සම්බන්ධයක් ගොඩනැඟිමයි. යන්තම් අවුරුදු විස්ස වයසේ පසු වුණු මේ නාඹර තරුණයාට තනිකරම අවශ්‍ය වූයේ කාමුක ආශාවන් තෘප්ත කර ගැනීමට යි. එය ඔහුට මින් පෙර අත්විඳින්නට අවස්ථාවක් නොලැබුණු නැවුම් මිහිරි අත්දැකීමක් විය. දැඩි කාමුක ස්වභාවයකින් යුතු කාමිණි තම සැමියා ඉක්මවා මේ ලාබාල තරුණයා සමඟ වරදේ බැඳුණේ හුදෙක් කාමුක ආශාවන් තෘප්ත කර ගැනීමට පමණක් නොවේ. මිල මුදල්, තෑගි බෝග, ලාභ ප‍්‍රයෝජන මෙන් ම ගමන් බිමන් යාමට, සාද පැවැත්වීමට, විනෝද චාරිකා ආදිය ට ඔහු සමඟ සම්බන්ධ වී සතුටු වීමට ඇයට තිබුණු නොනිත් ආශාව නිසා ය. තම සැමියා චාටුවෙන් මුලාකොට මේ සෑම දෙයකට ම ජගත් හවුල් කර ගැනීමට ඇය සමත් විය.

පිළිකුල් සහගත චර්යාවන් 
දෙදෙනා ගේ අසම්මත අනියම් සබඳතාව වට පිටාවේ කඩ සාප්පුවල අයට පමණක් නොව ජගත්ටද මෙය අනාවරණය වන්නට වැඩි කල් ගත නොවී ය. මුල දී සැමියාත් බිරියත් අතර මේ පිළිබඳ ආරවුල් තත්ත්වයක් පැන නැඟුණ ද, ලාභ ප‍්‍රයෝජන තකා තම භාර්යාව විජිත් සමඟ ඇතිකරගත් සම්බන්ධතාව ඉවසා සිටිනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ජගත්ට නොවී ය. එක් අතකින් ජගත්ට මෙය හොඳ ඉල්ලමක් වූ අතර, ඉතා පිළිකුල් ලෙස බිරිය සිය අනුදැනුම ඇතිව ම ලාබාල සොර සැමියා සමඟ ද විසීමට සැළැස්වී ය. මිතුරන් බවට පත් වූ විජිත් හා ජගත් සවස් වරුවල මත්පැන් බීමට එකතු වූහ. කාමිණි ද බියර් වැනි මත්පැනකින් සතුටු වීමට අමතක නොකළා ය. එන්න එන්න ම ව්‍යාපාරය ද වර්ධනය වූ අතර සැපයුම් කරුවන්ගෙන් කුකුල් මස් මිලට ගැනීම වෙනුවට විජිත් තමාගේ ම කුකුල් ගොවිපළක් ආරම්භ කළේ ය. කුකුළු පැටවුන් සහ අනෙකුත් ආධාර ලබා දී, තවත් නිෂ්පාදකයින් දස දෙනෙකු ද, උප සැපයුම්කරුවන් ලෙස නිර්මාණය කළ විජිත්, ඔවුන්ගෙන් පණ පිටින් කුකුළන් මිලට ගෙන මරා මස් කිරීමට වධකාගාරයක් ද සාදා, කම්කරුවන් ද යොදවා කර්මාන්තය පුළුල් කළේ ය. මස් අධිශීතකරණය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලට ගෙන ලොරිත්, ත‍්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ද මිලට ගත්තේය. ප‍්‍රදේශයේ කඩ සාප්පුවලට තමා විසින් නිෂ්පාදිත ශීතකළ කුකුල් මස් ලොරියෙන් බෙදා හැරීමේ කටයුතුවලට සහභාගි කරවා ගත්තේ කාමිණිගේ සැමියා වූ ජගත් ය. දැන් දැන් කාමිණි සහ විජිත් අතර වෙන් කළ නොහැකි බැම්මක් ඇති වී තිබුණු අතර කාමිණිට විජිත් අත්හැරිය නොහැකි තත්ත්වයට පත් විය.

අවදානම වැටහී යාම
කාමිණිගේ බලවත් අභිලාෂය වූයේ සැමියාගෙන් දික්කසාද වී, විජිත් සමඟ පවුල් ජීවිතයක් ගත කිරීම ය. මේ සමාජ විරෝධි සම්බන්ධතාවට අවුරුදු එකහාමාරක් පමණ කල් ගත වෙද්දී ක‍්‍රමයෙන් විජිත්ට එහි අවදානම වැටහෙන්නට විය. වරක් ඇය පරීක්‍ෂා කිරීමේ අදහසින් තමා හක්මණ ප‍්‍රදේශයෙන් විවාහයක් කර ගන්නට අදහස් කරන බවට අසත්‍යයක් පැවසී ය. මේ පුවතින් මහත් නොසන්සුන්තාවකට පත් වූ කාමිණි ඒ ගෙදර සොයා ගොස් විවාහයක් සිදු නොවන ආකාරයට බිඳවීමට කටයුතු කළා ය. මේ වන විට විජිත් ගේ දෙමව්පියන්ට ද, සහෝදරයින්ට ද මේ සම්බන්ධය සැකයකින් තොර ව ආරංචි වී තිබිණි. ඒ නිසා තම පවුලට මුහුණ දීමට සිදු ව ඇති නින්දාව මගහරවා ගැනීමට ඔවුහු විජිත්ට විවාහයක් කර දීමට දැඩි උත්සාහයක් ගත්හ. කෙමෙන් යථාර්ථය තේරුම් යන්නට පටන් ගත්ත ද විජිත්ට කාමිණීගෙන් බේරෙන්නට නම් ඉඩක් නැත.

වෙනසකට උත්සාහයක් 
මේ අතරතුර දෙමව්පියන්ගේ විවාහ යෝජනාවකට එකඟ වූ විජිත් යාබද ගමක් වන කඹුරුගමුවේ, තමාට වඩා අවුරුදු හතරක් පමණ වයසින් බාල තරුණියක සමඟ විවාහ ගිවිස ගත්තේ ය. විජිත්, කාමිණී මග හැරීමට පටන් ගත්තේ ය. මේ වන විට කාමිණි ගැබ් බර ව සිටි බව ද දැනගන්නට ලැබුණු විට කෙසේ හෝ මේ මර උගුලෙන් බේරීමට විජිත් උපයා සෙවීය. කඩයේ වැඩට තම පියා යෙදවූ විජිත්, මස් බෙදාහැරීමේ කටයුතුවලට තමා ම සම්බන්ධ වීම නිසා කාමිණිට ඔහු හමු වීමට නොහැකි විය. දුරකථනයට පිළිතුරු නොදුන් ඔහු පාවිච්චි කළ අංකය පවා වෙනස් කළේ ය. අමාරුවෙන් හෝ හසු කරගත් සෑම විටෙකම දුරකතනයෙන් කතා කොට ‘‘තමුසෙට වෙනත් කසාදයක් කරගෙන යහතින් ඉන්න දෙන්නේ නෑ” ආදි වශයෙන් කාමිණි විජිත්ට තර්ජනය කරන්නට පටන් ගත්තා ය. වරක් එම විවාහයෝජිත නිවසට ගිය කාමිණි ඔවුන් බිඳවීමට නොයෙක් දෑ කියා ඇත. විජිත්ගේ මේ මග හැරීමට ගත වුණේ සති තුනක පමණ කාලයක් වූව ද එය ඉතා දිගු කලක් ලෙස කාමිණිට පෙණිනි. උමතුවෙන් මෙන් තමා පසු පස හඬා ගෙන එන කාමිණිගේ බේරීමට විජිත් සැඟවී සිටින්නට ද පටන් ගත්තේ ය.

කළ කම් පළ දීම 
විජිත් ගේ වචනයෙන් මා සමඟ පැවසූ ආකාරයට තමා විවාහ යෝජිත නිවසේ රැදී සිටි අවස්ථාවක කාමිණී වස කුප්පියක් ගෙන එම නිවස ඉදිරිපිට ම පැමිණ එය බී බිම ඇද වැටී ඇත. ඔහු පැවසූ ආකාරයට තමාට මේ පිළිබඳව කරකියා ගන්නට දෙයක් නැති ව වහාම නිවසින් පැන ගොස් ඇත. කාමිණි රෝහලට ගෙන යනු ලැබූ අතර දින දෙකකට පසු මිය ගියා ය. විජිත්ට විරුද්ධ ව මිනී මැරුම් චෝදනාව එල්ල වුනේ මිය යාමට පෙර කාමිණි ලබා දී ඇති මරණාසන්න ප‍්‍රකාශය නිසා ය. තමාට විජිත් බලෙන් වස පෙවූවා යැයි මිය යාමට පෙර දී ඇති කටඋත්තරයේ සාක්‍ෂිය බිඳ හෙළීමට අසමත් වීම නිසා ඔහු අද මරණීය දණ්ඩනයට කැප වී සිරබත් කයි.

තමා එම මරණය නොකළ බවත්, එසේ ඇය මරා දැම්මේ තද බල වුවමනාවක් තිබුණා නම්, විවාහාපේක්‍ෂිත අයගේ නිවස ඉදිරිපිටට කාමිණි ගෙනැවිත් වස නොපොවන බවත්, එසේ වුවමනාවක් වී නම් වෙනත් උපක‍්‍රම යෙදවීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණු බවත් ඔහු කියා සිටී. පුන පුනා තම නිර්දෝෂි භාවය තරයේ කියා සිටින විජිත් සැබැවින් මිනී මැරුමක් කළා ද නැත් ද යන නිගමනකට එළඹිමට මට හැකියාවක් නැත.

විජිත්ට වැරදුණු තැන
මිනී මැරුමක් කිරීමේ වරද කෙසේ වෙතත් ඔහුට බොහෝ වැරදුණු තැන් තිබුණු බව නම් ඒකාන්ත ය. අතෘප්තිකර ආශාවන් පසු පස ගිජු ව හඹා යන පුද්ගලයෙකුට වරදින තැන විජිත් අපට මැනැවින් පසක් කර ඇත. වැඩිදුර අධ්‍යාපනයක් හෝ ධාර්මික රැකියා මාර්ගයක් කරා යොමු වී තම ලාබාල තරුණ කාලය තුළ ජීවිතයේ ස්ථාවර පදනමක් සකස් කර ගත යුතු අවධියේ හොඳ නරක තේරෙන්නටත් පෙර පළමු ව නොතිත් ආශාවන් සතපවා ගැනීමට වරදෙහි බැදීම කොතරම් භයානක ද? එක් අතකින් ඔහු ජගත් ගේ පවුල කඩාකප්පල් කළේ ය. ජගත්ගේ පෞද්ගලික අයිතිවාසිකම් පැහැර ගෙන, ඔහුට දැඩි පීඩාවකට ලක් කරන්නට ඇත. විජිත් විස්තර පැවසූ පරිදි කාමිණි සමඟ සම්බන්ධකම් පැවැත් වූ අවුරුදු එකහමාරක කාලය තුළ තමා කළ දේ වැරදි සහගත බව දැනුන ත් ඒ සඳහා පෙළඹී ඇත්තේ ආශාවන්ට යටවීම නිසයි. දහමට අනුව හැඩ ගැසුණු ජීවිතයක් කිසි දිනෙක මෙබඳු පාපතර සමාජ විරෝධි ක‍්‍රියාවක නොයෙදෙනු ඇත. ඔහු මුල දී ඉතා සුළුවට සහ සරළව සිතා මේ වරද අරඹන්නට ඇතුවාට සැකයක් නැත. එහෙත් දුර දිග නොබලා බැඳෙන සබඳතා කෙළවර දකින්නේ කොතරම් බිහිසුණු අන්දමෙන් ද?‍

දරුවන් කෙරෙහි මව් පිය වගකීම් 
මේ කතන්දරය දිග හැරෙද්දී තරුණ දු පුතුන් සම්බන්ධයෙන් දෙමාපියන්ගේ වගකීම හා පරීක්‍ෂාව කෙතරම් නම් වැදගත් දැයි මට සිතෙන්නට විය. ව්‍යාපාරයකට යොමු කරනු ලැබූ තම ලාබාල තරුණ දරුවා කෙසේ කටයුතු කරන්නේ දැයි දෙමාපියන් සහ වැඩිහිටියන් නිරතුරු සොයා බැලීමක යෙදුනා නම් මේ විපත වළකා ගත හැකි ව තිබිණි. තම දරුවන්ගේ චර්යාවන් පිළිබඳ ව දෙමාපියන් සංවේදීව සිටීමේ වැදගත්කම මේ කථාව දෙමාපියන්ට උගන්වන මහා පාඩමකි. ඇතැම් විට දරුවන් විසින් බොරුවෙන් චාටුවෙන් රවටනු ලබන විට මුලා නොවීමට තරම් දෙමාපියන් දැනුවත් විය යුතු ය. දරුවන් අකාලයේ ‘විදී සංචාරය’ කරන විට හෝ පවිටු මිතුරන් ඇසුරට වැටෙන විට හෝ දින ගණන් රාත‍්‍රි කාලය පිට ගත කරන විට හෝ නොහොබිනා චර්යාවන් පුරුදු වන විට දෙමාපියන් බුද්ධිමත් ව කටයුතු නොකළ හොත් අත්විඳින්නට සිදු වන ඉරණම බියකරු ය. සිඟාලෝවාද සූත‍්‍රයේ දරුවන් වෙත දෙමාපියන්ගේ යුතුකම් ලෙස බුදු රජාණන් වහන්සේ දේශනා කළ කරුණු පිළිපැද්දා නම් විජිත් අද ද යහපත් ජීවිතයක් ගත කරනවා නො අනුමානය.

දහමින් තොර වූ ජීවිතය
විජිත් තුළ මුල සිටම විශේෂ ගුණ දහම් තිබුණු බවත් පෙනෙන්නට නොතිබුණි. පරපුරෙන් බෞද්ධයෙකු වූවත් බෞද්ධ සාරධර්ම හෝ අගයයන් ඔහු තුළ මුල් බැස නොතිබීම මෙබඳු වරදකට පෙළඹීමට මහත් සේ හේතු වී ඇතැයි මට සිතේ. රත්නත‍්‍රය කෙරෙහි බැඳුණු ශ‍්‍රද්ධාවක මාත‍්‍රයක් ඔහු තුළින් ඉස්මතු නොවුණි. ධර්මයෙන් වන පිහිටක් ගැන ඔහුට විශ්වාසයක් නොවීය. තමා නොකළ අපරාධයකට මරණීය දඬුවමක් ලැබීම දෙවියන්ටවත් නොපෙනෙන්නේ නම් දෙවියන්වත් පිළිගන්නේ කුමකට දැයි ඔහු මගෙන් ප‍්‍රශ්න කළේ ය. බුදු දහමේ පරමාදර්ශයන් ඔස්සේ වැඩෙන අපට නිතර මුනගැසෙන දරුවෙකුත් ශ‍්‍රද්ධාවෙන් පිරිහුණු දරුවෙකුත් අතර වෙනස මෙය නොවේ ද?

අධාර්මික ජීවනෝපාය
තම ජීවනෝපාය ලෙස තෝරා ගත් අධාර්මික රැකියාව විජිත්ගේ අභාග්‍යයට හේතු වූවා දැයි මට සැකයක් පහළ විය. බුදු රදුන් වදාළ දහමේ එන අධාර්මික වෙළෙඳාම් පහ අතුරෙන් එකක නියැලූණු ඔහු එපමණකින් නොනැවතී දහස් ගණන් සතුන්ගේ ගෙල සිඳ මරවා, මිච්ඡා ආජීවයෙන් පසුම්බිය පුරවා ගත් හැටි සිත සසළ කරවන සුළු ය.

තම ගොවිපලේ මරා දමනු ලැබූ දස දහස් ගණන් සතුන්ගේ සුසුම් විජිත්ට අවැඩක් පිණිස නොවන්නේ ද?

තරුණ දිවිය ගිලගත් පාපී ඇසුර
මත් පැනට ලොල් වූ තරුණ ජීවිතයක ඉරණම විජිත් ඉස්මතු කර දෙයි. ව්‍යාපාරික ලෝකයේ සල්ලාලයින් පිරිසක් ඇසුරු කිරීමට ලැබුණු නිසා ඔහුට ලැබුණේ නරක ආදර්ශයක් ය. ‘‘මට ආශ‍්‍රය කරන්න ලැබුණෙ අන්තිම නරක මුදලාලිල කට්ටියක්. හැම තිස්සේ ම මට හමු වුණේ මට වඩා වයසින් වැඩි වරදට පෙළඹුණු අය” ආදි වශයෙන් වූ නරක ආශ‍්‍රය ආවර්ජනය කළ ඔහු, පවිටු මිතුරන් ඇසුර තරම් භයානක දෙයක් නැති බව සනාථ කරයි.

තවමත් යන්තම් අවුරුදු තිස් එකක වයසේ හිර ගෙදර කල් ගෙවන විජිත් මිනිමැරුම් චෝදනාවට තමා නිර්දෝෂ බව කියමින් කවදා හෝ තමාට නිදහසක් ලැබේ යැයි බලවත් විශ්වාසයකින් පසු වෙයි. කෙසේ වෙතත් මේ අවාසනාවන්ත කතන්දරය සමාජ විරෝධි සහ දහමට පටහැනි වැරදි මාලාවක සමුච්ඡයක් බව සිර මැදිරියේ කම්බි කූරු අතරින් දෑස් අයා හුන් විජිත් අපට නිහඬව පවසයි. සාරධර්ම පිරිහෙමින් පවතින වත්මන් සමාජයේ විජිත්ලා, කාමිණිලා, ජගත්ලා කොතෙකුත් ඇත. ඔවුහු ඔබට ද නිරතුරු හමුවෙති. සෑම විටම නුවණින් විමසා, බුද්ධියට මුල් තැන දෙමින්, දහම තුළ සුරක්ෂිත වීම ඔබ සතු වගකීමකි.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල