දුප්පත් පවුලක දරුවෙක්
විකෘති වූ කාමුක ආසාවන් තෘප්ත කරගැනීමේ වරදින් ඒ පුද්ගලයා අත්කර ගත් ව්‍යසනය සේ ම දැඩි ද්වේෂයකින් ඇවිලගෙන පළි ගැනීමට උත්සුක වීම නිසා තම වටිනා ජීවිතය අඳුරු කර ගත් කෙනෙකුගේ කථාව කියන්නට අද පිටුව වෙන් කෙරේ. කාරුණික බන්ධනාගාර නිලධාරීන්ගේ අනුමැතිය ඇති ව අද මා හමු වන්නේ තවමත් අවුරුදු 33ක වයසේ පසුවන තුෂාර ය. දකුණු පලාතේ ඇල්පිටියෙන් බැහැර ගම්මානයක හැදුණු වැඩුණු තුෂාර බරසාර පවුලක බාලයා ය. වඩුවැඩෙහි නිරත වූ පියාගේ ආදායමෙන් ජීවිකාව ගෙවූ මේ පවුලේ පිරිමි දරුවන් දෙදෙනෙකුට ම ඉගෙනීමට හපන්කම් තිබුණු බව දෙමව්පියන්ට දැණිනි. එනිසා වැඩිමහල් පුතා අම්බලන්ගොඩ නගරයේ බෝඩිමක නවත්වා නගරයේ පාසලක උසස් පෙළ හැදෑරීමට යැවිණ. පහසුකම් අඩු ගමේ පාසලේ ඉගෙන ගත්තත් ගණිතයට හා විද්‍යාවට දැක්වූ දස්කම් නිසා තුෂාර ද අම්බලන්ගොඩ පාසැලකට අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට සූදානම් කරවීමට ඇතුළත් කෙරුණේ පුළුවන්කමකට නො වේ. අයියාගේ නවාතැනේ ම හවුලට නැවතී පාසලට ගියත් ඔහුට වඩා වැදගත් වුණේ නගරයේ පැවති උසස් මට්ටමේ උපකාරක පන්තිවලින් ලැබුන පිටිවහලයි. අරමුණ සපල විය. ඉතා ඉහළින් සාමාන්‍ය පෙළ සමත් වීමට හැකි වුවත් නගරයේ පාසලේ ම උසස් පෙළ හදාරන්නට පවුලේ අගහිඟකම් ඔහුට ඉඩ දුන්නේ නැත. මේ අතර වැඩපලක දී අනතුරකට ලක්වීම නිසා පියා ද එක්තැන් වීමෙන් පවුලේ ආර්ථිකය බිඳ වැටිණි.

ඉගෙනීම ද? රැකියාව ද?
උසස් පෙළ ඉගෙන ගන්නට ගමේ පාසලට ඇතුළත් වූ තුෂාරට උදේ පාසල් යන්නටත්, සවස ජීවනෝපායක යෙදෙන්නටත් සිදු වුණේ පවුලේ නඩත්තුවට ය. සාමාන්‍ය පෙළ ඉගෙනීමේ දී ඔහු තුළ පැවති ජවය කෙමෙන් සිඳී ගොස් ය. උපකාරක පන්තියක පිහිටක් ද නො ලැබුණි. පාඩම් කරන්නට ප‍්‍රමාණවත් වේලාවක් නො වුණේ රැකියාව කාලය කා දැමීම නිසා ය. ගමේ පොහොසත් කුරුඳු මුදලාලි කෙනෙකු යටතේ කුරුඳු තැලීම ඔහු රැකියාව කර ගත්තේ ය. පාසල හැරී කෙළින් ම වැඩට යන ඔහු පලපුරුදු කුරුඳු තලන්නකු දවසට තලා ගන්නා ප‍්‍රමාණය සවස් වරුව තුළ ලබා ගන්නට සමත් ව ගෙදර දවසේ වියදම සරිකර ගත්තේ ය. උසස් පෙළ විභාගයට පෙනී සිටියත් එය සමත් වන්නට ඔහුට නො හැකි විය. දෙවනි වතාවට උසස් පෙළ කිරීමට නො සිතූ ඔහු අධ්‍යාපනය අතහැර දැමී ය. පූර්ණකාලීන ව කුරුඳු තැලීමේ යෙදුණු ඔහුට ටික කලකින් තම උත්සාහවන්තකම නිසා ම මුදලක් ඉතිරි කර ගන්නටත් හැකි විය. රැුකියා රටාවේ වෙනසක් සිදු විය. කුලියට වැඩ කිරීම වෙනුවට කොන්ත‍්‍රාත් පදනම යටතේ කුරුඳු තොගයට ගෙන තලා දීම ආරම්භ කළේ ය. තමාගේ ඥාති සොහොයුරෙකු ද තවත් ගමේ තරුණයෙකු ද වැඩෙහි යොදවා පාන්දර පහට වැඩ පටන්ගෙන රාති‍්‍ර දහය වන තුරු ඔහු කුරුඳු තැලී ය. තුෂාරගේ අතමිට ද සරු විය.

මුදලාලිගේ අගතිය
අධිවේගයකින් කුරුඳු තලා නිෂ්පාදන මුදලාලිට වහවහා දුන්නත් නියමිත පරිදි ගණන් හිලව් බේරීම ක‍්‍රමයෙන් අඩාල විය. මුදලාලි අතින් මුදල් ප‍්‍රමාද වී මාස දෙක තුනක මුදල් හිඟ හිටියේ ය. රුපියල් ලක්ෂ තුන හතරක හිඟයක් මාස ගණනක් දිගින් දිගට ම පැවතිණි. ඉතා සුහද ව එම හිඟ මුදල් ගෙවන ලෙස ඉල්ලූවත් මුදලාලිගෙන් එය සිදුවන පාටක් නැත. මුදල් ඉල්ලා තුෂාර ඇවටිලි කරන්නට විය. 2004 සිංහල අවුරුද්ද ළං වෙමින් පැවතිණි. මේ වන විට තම සහායකයන් දෙදෙනාට ද සෑහෙන මුදලක් ගෙවීමට හිඟ හිටවා තිබිණි. සිංහල අවුරුද්දට පෙර සියලූ ගනුදෙනු නිමා කළ යුතු බවට තුෂාරගෙන් මුදලාලිට වෙනදාට වඩා වෙනස් ස්වරයකින් කියැවුණි. කාරණය දුරදිග යන්නට වුණේ ‘‘මට දැන් දෙන්න සල්ලි නැහැ. පුළුවන් විදියට ගණින්” කියා මුදලාලිගේ මුවින් පිට වීමත් සමග ය. හිතවත්කම් පළුදු විය. අවුරුද්දට පෙර මුදල් ලැබුණේ ද නැත.

තුරන් වූ ඉවසිල්ල
සිංහල අවුරුද්ද නිමා විය. අවුරුද්දෙන් පසු මුදලාලි හමුවට ගිය තුෂාර පසුගිය දේ අමතක කොට තම හිඟ මුදල් දෙන ලෙස නැවතත් ඉල්ලා ඇත. ඒ ඉල්ලීම තරහෙන් ප‍්‍රතික්ෂේප කළ මුදලාලි ‘‘උඹට පුළුවන් විදියකට ගනින්” යැයි තුෂාර පලවා හැර ඇත. තුෂාරගේ කෝපය උත්සන්න විය. මේ වන විට දැඩි කෝපයකින් ඇවිලීගෙන සිටි සගයන් දෙදෙනා ද සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට සැලසුමක් කි‍්‍රයාත්මක විය. තම සගයන් දෙදෙනා ද සමග සැලසුම් කර ගත් පරිදි දහවල් 12ට පමණ ගිය තුෂාර සිල්ලර කඩයේ ගනුදෙනු කරමින් සිටි මුදලාලිගෙන් තම මුදල් ඉල්ලී ය. ප‍්‍රතිචාරය හොඳ නැත. වහා කි‍්‍රයාත්මක වූ තුන් දෙනා පොලූ මුගුරුවලින් ගසා කඩය කුඩු කර විනාශ කරන්නට පටන් ගත්හ. මුලින් ම මුදලාලි සිටි කවුන්ටරයට පහර දෙද්දී මුදලාලි පස්සා දොරෙන් පැන ගොස් ඇත. ඔහු ගියේ ආයුධයක් ගෙනැවිත් තමන්ට හානි කරන්ට යැයි සිතූ තුෂාර සහ සගයන් දිගට හරහට පහර දුන්නේ කඩය කුඩුකර අවසානයක් කිරීමට ය. මුදලාලිගේ පුතා දොර පොල්ලක් ඔසවාගෙන එනු දුටු තුෂාර ගැසූ එක් පහරකින් ඔහු ඇද වැටිණි. දණි-පණි ගා අමාරුවෙන් නැගිටගත් ඔහු ද පස්සා දොරෙන් පැන ගියේ ය. ඇවිල ගිය කෝප ගින්නේ තරම නිසා කඩා බිඳ සුණු විසුණු කළ කඩය ඒ අයුරින් දමා යාමට සිත් නො දුන් තුෂාර කඩයට ගිනි තැබී ය. ගිනි ගන්නා කඩය තුළ සඟවා තිබුණු වටිනා බඩු වගයක් බේරා ගන්නට මුදලාලිගේ බිරිය පසුපසින් ඇතුළු වී තිබුණි. මේ කඩය තුළ හොර රහසේ විකිණීම සඳහා ගබඩා කරන ලද පෙට‍්‍රල් බූලි කීපයක් ද තිබී ඇත. පුපුරා ගිය මෙම පෙට‍්‍රල් බූලි නිසා කිසිසේත් ගින්න නිවන්නට හැකි වී නැත. එළියට පැන ගැනීමට නො හැකි වූ මුදලාලිගේ බිරිය පිළිස්සී මරුමුවට පත් විය.

වරදට දඬුවම
තුෂාරත්, සගයන් දෙදෙනාත් අත්අඩංගුවට ගැනුණි. ඔවුනට විරුද්ධ ව දිගු නඩු විභාගයක් පැවැත්වුණි. අවුරුදු 15ක සිර දඬුවමක් ද රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවීමට ද තුෂාරට හා අනෙක් දෙදෙනාට නියම විය. රුපියල් ලක්ෂ තුනක වන්දිය නො ගෙවීම නිසා සිර ද`ඩුවම අවුරුදු18 වී ඇත. ඔවුනට බන්ධනාගාරයෙන් නිදහස් වීමට ඇත්තේ 2027 වර්ෂයේ ය. එ් වන විට තුෂාරගේ හොඳ වයස හමාර ය. සමාවක් නො ලැබුණහොත් හිරෙන් නිදහස් වන විට ඔහු අවුරුදු 50ක් වයසැති පුද්ගලයෙකි. නඩුව නිමා වී දඬුවම් නියම වන තෙක් ඇප පිට සිටි කාලය තුළ ඔහු විවාහ විය. මේ වන විට අවුරුදු 07 දරුවෙකු ද සිටී.

වැරදි තීරණයේ පාඩුව
තමාට අත්වුණ ඉරණම පිළිබඳ ව අද තුෂාර බලවත් සේ පසුතැවිලි වෙයි. ඔහු තදබල කලකිරීමකින් සිටින බව මුවින් පිට වූ සෑම දෙයකින් ම ප‍්‍රකට විය. මේ මුළු කි‍්‍රයාදාමය දෙස ආපසු හැරී බලන ඔහු දැන් එහි වාසි අවාසි තුලනය කොට දකියි. එහෙත් දැන් ප‍්‍රමාද වැඩි ය. මුදලාලිගෙන් අහිමි වූ මුදල රුපියල් ලක්ෂ හතරක් පමණ විය. නඩුවට විශාල මුදලක් වැය කර ඇති අතර අවසානයේ නීතීඥ උපදෙස් මත තමාට වරදකරු බවට පිළිගැනීමට සිදු ව ඇත. උත්සාහවන්තයෙකු වූ තුෂාරට තම ආර්ථික වශයෙන් සකී‍්‍රය ඵලදායී වයස් සීමාව තුළ කිසිදු වැඩක් නැති පුද්ගලයකු වන්නට සිදුවී ඇත. රුපියල් ලක්ෂ හතර ලැබුණේ ද නැත. ලක්ෂ හතරක මුදල මෙන් සිය ගුණයකට වඩා ඔහුට මුදලින් පාඩු සිදුවී ඇත. එපමණක් නොව මහත් අභිලාෂයන් රැුසක් පෙරදැරි කරගෙන ජීවිතයක් ගොඩ නගා ගන්නට වෙර දැරූ ඔහුට විඳින්නට සිදු වූ සහ මොහොතක් පාසා අද ද අත්විඳින කායික හා මානසික පීඩාවන් අපමණ ය. තම ආදරණීය බිරිය හා දරුවාගෙන් වෙන් ව සමාජයෙන් ද වෙන් ව ජීවත් වන්නට සිදු වී ඇත. මහලූ දෙමව්පියන් වෙනුවෙන් ද ඔහුගේ යුතුකම් සිදු වන්නේ නැත. මුදලාලි ප‍්‍රදේශයත් හැර ගොස් ය. වටිනා මනුෂ්‍ය ජීවිතයක් බිලි ගැණිනි. එ් පවුල ද නන්නත්තාර විය. ලොවුතුරු දහමේ ඉගැන්වෙන ඇවිලෙන රාගය මෙන් ම ඇවිලෙන ද්වේෂය ද මිනිස් ජීවිත බිලි ගන්නා ආකාරය විදහා දක්වන තුෂාරගේ කතාව, අට ලෝ දහමේ ලාභ-අලාභ මැදහත් ව විඳ ගන්නට අප යොමු කරවන්නකි. සියල්ල අමතක කොට රුපියල් ලක්ෂ හතරේ පාඩුව විඳ දරා ගන්නට තරම් සංයමයක් තුෂාරට තිබුණා නම් කොතරම් අගේ ද?

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල