දක්ෂ ක‍්‍රීඩකයෙක්

මහාමේඝයේ ‘අපරාධයක තීන්දුව’ පිටුව සරසන්නට බන්ධනාගාර නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව මා මුණ ගැසුණේ තමා ගත් අනුවණ තීරණය නිසා දීර්ඝ කාලීන සිර දඬුවමක් විඳින සුසිල් ය. ඉතා පිරිසිදු ජම්පරයකින් ද කමිසයකින් ද සැරසී සිටි සුසිල් කෙනෙකු දුටු පමණින් සිත් පහදින ඉතා පියකරු දේහයකින් යුත් කඩවසම් පුද්ගලයෙකි. අවුරුදු 44ක් වයසැති පුද්ගලයෙකු වුවත් සුසිල් වයසින් 35ක තරුණයෙකුගේ හැටි පෙන්වයි. කුඩා කල කී‍්‍රඩාවට මහත් සේ දක්ෂතා දැක් වූ සුසිල් ප‍්‍රවීණ කරාතේ කී‍්‍රඩකයෙකු, පිහිනුම් ශූරයෙකු මෙන් ම දිවයිනේ නම ගිය කායවර්ධන ශිල්පියෙකු ද විය. එදා මස්පිඬු දිදුලමින් වේදිකා මත ප්‍රෞඪ ලෙස තම දේහ ලක්ෂණ පෙන්වූ සුසිල්ගේ සිරුරේ එදා තිබූ හැඩ වැඩ අද නැතත්, වසර පහළොවක් පමණ සිර මැදිරිය තුළ කල් ගෙවීමෙන් පසු ව ද ඔහුගේ පියකරු පෙනුමේ අඩුවක් නැත.

ක‍්‍රීඩාවෙන් හමුදාවට

දරුවන් හයදෙනෙකුගෙන් යුතු පවුලක සුසිල් බාල ම දරුවා විය. අපොස උසස්පෙළ විභාගයට වරක් පෙනී සිටි සුසිල්ට සතුටු විය හැකි ප‍්‍රතිඵලයක් ලැබුණේ නැත. එහෙත් දෙවෙනි වර විභාගය කරන්නට අනුබලයක් නො ලැබුණා සේ ම තම සිත ද එකලස් කර ගන්නට සුසිල්ට හැකි නො වී ය. කී‍්‍රඩාවට නැමුණු සිත් ඇති ඔහු පාසලෙන් ඉවත් වුවත් කී‍්‍රඩා සමාජවලට බැඳී පුහුණුකරුවන් යටතේ තම කී‍්‍රඩාවන් ප‍්‍රගුණ කළේ ය. උසත්, උසට සරිලන මහතත්, දේහ ශක්තියත්, කී‍්‍රඩා කුසලතාවනුත් නිසා යුද හමුදාවට බැඳීම ඔහුට ගැටලූවක් නො වී ය. ඔහු හමුදාවට බැඳුණේ දිවයිනේ දැඩි භීෂණයක් පැවති 1987 වර්ෂයේ දී ය. ටික කලක් දකුණු ප‍්‍රදේශයේ සේවය කළ ඔහු කෙළින් ම උතුරේ යුද පෙරමුණට යැවිණි. උතුරේ කැලෑ පීරමින් ත‍්‍රස්තවාදීන් සමඟ ගැටුණු ඔහුට තම ජීවිතයේ වඩාත් ම ඇලූම් කළ කී‍්‍රඩාව පසෙක දමන්නට සිදු වීම කනස්සල්ලට හේතුවක් විය. කී‍්‍රඩා පුහුණුවට සහ කී‍්‍රඩා තරගවලට සහභාගී වීමේ අරමුණෙන් මූලස්ථාන කඳවුරකට ස්ථාන මාරුවක් ගන්නට උත්සාහ කළත් එය ද සඵල නො වී ය. 1992 වර්ෂයේ නිවාඩුවකට ගෙදර පැමිණි සුසිල් නැවත හමුදාවට නො යාමට තීරණය කළේ ය.

සුසිල් ව්‍යාපාරික ලෝකයට

උපන් නගරයේ තවත් තරුණ පිරිස් සමඟ කී‍්‍රඩාව ප‍්‍රගුණ කරමින් සිටි අතර ඔහු කී‍්‍රඩාවට බාධාවක් නොවන රැුකියාවක් ද තෝරා ගත්තේ ය. නිදහස් වෙළඳ කලාපයේ ඉතිරිවන රෙදි කෑලි ගෙනවිත් විවිධ ස්ථානවලට ගෙන ගොස් විකිණීම ආරම්භ කළ ඔහුගේ අත මිට සරුවිය. බැංකොක්, මලයාසියාව, සිංගප්පූරුව ආදි රටවලට ගිය ඔහු නිම කළ ඇඳුම් තොග පිටින් මිලට ගෙන මෙහි ගෙනැවිත් කඩ සාප්පුවලට බෙදා හැරීමට පටන් ගත්තේ ය. ඔහුට සුනිලා හමුවූයේ මේ කාලයේ දී ය. කෙටි කලක ඇසුරකින් පසු ව ඇය විවාහ කර ගත් සුසිල් කුලී නිවසක පදිංචියට ආවේ ය. සුරතලේට සතුන් ඇති කිරීම ද ඔහුගේ විනෝදාංශයක් විය. තම සුරතල් සතුන්ට කෑම සොයා කොළඹ දිනපතා පොළකට යාමට පුරුදු වුණේ කී‍්‍රඩාවට යන අතරතුර ය. මේ ගමනේ දී ඔහු යාළුවන් පිරිසක් ඇසුරට වැටුණි.

මුදල් අමාරුවට පැමිණි විසඳුම නිවැරදි ද?

වරෙක සුසිල්ට සිංගප්පූරුවේ සිට ගෙන ආ ඇඳුම් තොගයකින් බරපතළ අලාභයක් සිදු විය. ඔහු රෙදිපිළි ණයට සැපයූ කඩ සාප්පු කීපයකින් ම මුදල් ගෙවීම පැහැර හැරීම නිසා තදබල මුදල් අමාරුවකට ද මුහුණ දුන්නේ ය. මෙම හදිසි කඩා වැටීම සුසිල්ට ඔරොත්තු දුන්නේ නැත. ඇද වැටුණු ආර්ථිකයෙන් ගොඩ ඒමට සුසිල්ට මඟක් නො තිබුණි. සුසිල් යාළුවන් සමග නොයෙකුත් උපාය මාර්ග පිළිබඳ ව සාකච්ඡා කළේ යම් ලොකු ණය මුදලක් ලබාගෙන වෙනත් ව්‍යාපාරික කටයුත්තකට අත පෙවීමට ය. දිර්ඝ වශයෙන් කථා කෙරෙද්දී එක්තරා යාළුවෙකුගෙන් යෝජනාවක් එළඹුණි. කිසියම් සමාගමක අයිතිකරුවෙකු උදෑසන ව්‍යායාම සඳහා ගාලූ මුවෙදාර පිට්ටනියට එන විට ඔහු පැහැරගෙන ගොස් කප්පමක් ඉල්ලීම මේ යෝජනාවේ හරය විය. මෙබඳු අයුක්ති සහගත වරදක් කිරීමට තුන් හිතකින්වත් නො සිතුවත් පහසුවෙන් මුදල් සෙවීමේ මඟක් ලෙස ඊට කැමති වෙනවා විනා සුසිල්ට වෙනත් විකල්පයක් නො වී ය.

කාරණය මැනවින් සැලසුම් විය. යොදාගත් දිනයේ දී සුසිල් සහ තවත් සිවුදෙනෙක් හමුදා ඇඳුමෙන් සැරසී විත් ධනවත් සමාගම් හිමියා පැහැර ගත්හ. සමාගම් හිමියාගේ භාර්යාවට පණිවුඩයක් යැවුණේ ඇයගේ සැමියා ආරක්ෂිත ව ජීවත්වන බවත්, නිදහස් කර ගන්නට අවශ්‍ය නම් රුපියල් කෝටියක කප්පමක් ගෙවිය යුතු බවත් දන්වමිනි. පැහැර ගනු ලැබූ පුද්ගලයාගේ ධනවත්කමේ හැටියට රුපියල් කෝටිය ලොකු මුදලක් නො වූ අතර කොපමණ මුදලක් හෝ ගෙවා තම සැමියා බේරා ගැනීමට භාර්යාව උත්සුක විය. තම සැමියාට අනතුරක් වේ යැයි බිය වූ ඇය මේ පිළිබඳ ව පොලීසියට දැනුම් දීමක් කළේ නැත. කප්පම්කරුවන් දැනුම් දී තිබූ පරිදි නියමිත ස්ථානයට මුදල් යැවිනි. රඳවාගෙන සිටි ස්ථානය හඳුනා ගත නො හැකිවන පරිදි සුරක්ෂිත ව කැඳවාගෙන එනු ලැබූ සමාගම් අයිතිකරු කිසිදු හිංසාවකින් තොර ව නිදහස් කෙරුණි. සකී‍්‍රය ව මෙහෙයුමට පස්දෙනෙකු සිටි නමුත් අවදානම් සහිත කටයුතු කළේ සුසිල් ඇතුළු තිදෙනෙකි. මේ කි‍්‍රයාන්විතය ගැන ඉව වැටුණ තවත් හය දෙනෙකු ද මුදල් ලබා ගැනීමේ අරමුණින් පැමිණියහ. ඒ නිසා මුදල් බෙදීම ගැටලූවක් විය. එක් අයෙකුට ලැබෙන පංගුව කි‍්‍රයාන්විතයේ බරපතළකම සමඟ සසඳන කල ප‍්‍රමාණවත් නොවන බව ඔවුනට වැටහිණි. දැන් කරන්නට දෙයක් නැත. ලැබුණු මුදල් සම්මුතියෙන් බෙදා ගැනුණි.

සුසිල්ටත් ක‍්‍රියාන්විතයේ අනෙක් මොළකාරයන් දෙදෙනාටත් රුපියක් ලක්ෂ 15 බැගින් බෙදුණි. අනෙක් අයට ඉතිරි මුදල් බෙදී ගියේ ය. කප්පමට ලැබුණේ අලූත් රුපියල් දාහේ නෝට්ටු ය. ඒවායේ අනුක‍්‍රමික අංක පිළිවෙළින් තිබුණ නිසා සැකයක් මතු කළ සුසිල් මුදල් ලබාගත් සගයන්ට උපදෙස් දුන්නේ ඉක්මණින් මුදල් පරිහරණයට නොගන්නා ලෙසයි. කෙසේ වෙතත් එක් කප්පම් සගයෙකුගේ ඉවසීම ඉක්මවා ගොස් රුපියල් ලක්ෂ දෙකක් අගනුවරින් බැහැර බැංකුවක තැන්පත් කෙරුණි. සමාගම් අයිතිකරුගේ පාර්ශවය බලගතු බව ඔහුට අමතක වුණා විය හැක. එ් වන විට ගනුදෙනුවකට ආවොත් පුද්ගලයා ද සමඟ හසුකර ගත යුතු රුපියල් දාහේ නෝට්ටු අංක සියලූ ආරක්ෂක අංශ සහ බැංකු ආදි මූල්‍ය ආයතනවලට දැනුම් දී තිබුණි. බැංකුවේ තැන්පත් කරන්නට ගිය රුපියල් ලක්ෂ දෙකත් සමඟ ගිය කප්පම් සගයා අත්අඩංගුවට ගනු ලැබීමෙන් කප්පම් සිද්ධියේ සුල මුල සොයා ගැනීමට පොලිසියට වැඩි කලක් ගියේ නැත.

වැරදි තීරණයට ගෙවන වන්දියක මහත

මුළු මුදල ම වාගේ ආපසු ලබා ගැනීමට පොලීසිය සමත් විය. කප්පම්කරුවන් සියලූ දෙනා අත්අඩංගුවට පත්වූ අතර කරන ලද වරදවල ප‍්‍රමාණයන් අනුව දඬුවම් ද නියම විය. සුසිල්ට මුලින් අවුරුදු 80ක සිර දඬුවමක් නියම වූ අතර අභියාචනයේ දී එය අවුරුදු 44කට අඩු කර ගැනීමට හැකි ව ඇත. සියලූ සමා කාලයන් ගණනය කළ ඔහු තවත් අවුරුදු 18ක් සිර මැදිරිය තුළ දඬුවම් විඳිය යුතු වේ. සුසිල් නිදහස් වනවිට ඔහුගේ වයස අවුරුදු 62ක් වනු ඇත.

ඔහුගේ දක්ෂතා හඳුනාගත් බන්ධනාගාර නිලධාරීන් ඔහු පුනරුත්ථාපනය කිරීමේ අරමුණ ඇති ව විවිධ ව්‍යාපෘතිවල යොදවා ඇත. ඉතා කෙටි කලකින් සංගීතය ප‍්‍රගුණ කළ සුසිල් අද බන්ධනාගාරය තුළ එක්තරා සංගීත භාණ්ඩයක් වාදනය කිරීමේ අති දක්ෂයා ලෙස සැලකේ. කෙටි පරිගණක පාඨමාලාවක් හැදෑරීමෙන් පසු ඔහු පරිගණකය හැසිරවීමේ ප‍්‍රවීණයෙකු වී ඇත. ඔහුගේ උපන් හැකියාවන් පිළිබඳ බන්ධනාගාර නිලධාරීහු ද මවිතයට පත් වෙති. එහෙත් ඔහුට ඉන් ලැබී ඇති ඵලය කුමක් ද? ඔහුගේ ජීවිතය අඳුරේ ය.

විවාහ වී කෙටි කලකින් බන්ධනාගාරගත වූ සුසිල්ට දරුවෙකු ලබා ගන්නට බැරි විය. බන්ධනාගාරයෙන් පිට වී යන කලට ඒ ගැන බලාපොරොත්තුවක් තැබිය නො හැකි බැවින් ඔහු තැවෙයි. කඳුළු පිරි දෙනෙතින් යුතු ව සුසිල් තම බිරිය පිළිබඳ ව ආදරයෙන් හා ආඩම්බරයෙන් කීවේ නිදහස් වී එනතුරු ඇය තමා වෙනුවෙන් ම ජීවත්වන බවයි. මේ අනිසි කි‍්‍රයාවට යොමු වීම නිසා සුසිල් තම ජීවිතය විනාශ කර ගත් ආකාරයේ අවාසනාව වඩාත් තීව‍්‍ර වන්නේ ඔහු කියන ආකාරයට තම ජීවිත කාලය තුළ කළ එක ම නරක වැඩය එය වීම නිසා ය.

සුසිල්ගේ අත්දැකීම

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් ව සුසිල් මා වෙත පැවසූ යමක් ඔබ සමඟ බෙදා ගන්නට සිතුණි. සුසිල්ගේ මතය බන්ධනාගාරගත වන අති බහුතරය ඒ තත්ත්වයට පත් වීමට දෙමාපියන් වගකිවයුතු බවයි. බන්ධනාගාර රැඳවියන් බොහෝ දෙනෙකුගේ මවුපියන් එක්කෝ පිටරට රැකියාවක ය. නැති නම් අසමගිව දෙපළක ය. දරුවන් ගොඩ නැගීමේ දී දෙමාපිය අවධානයේ වැදගත්කම සුසිල් ලක් කළේ අංක එකට ය. අනියම් සබඳතා ඇති කරගෙන, ආරවුල් හදාගෙන අසමගියට පත්වන දෙමාපියන්ගේ දරුවන් බොහෝ දෙනෙකු අනාගතය අඳුරු කර ගන්නා බව ඔහුට අත් දුටු කරුණකි. තමාගේ දෙමාපියන්ගේ එබඳු විරසකයක් නැතත් මීට වඩා තමා ගැන අවධානයක් යොමු කළා නම් මේ ඉරණම අත් නො වන බව සුසිල්ගේ අදහසයි.

කෙනෙකු කරන පව් ගැල බැඳි ගොනුන් මෙන් නො වැළකී පසුපස හඹා එන බව ප‍්‍රකට කරන අප ලොවුතුරු දහමෙන් තරම් මෙබඳු ගැටලූවලට පිළිසරණ සෙවීමේ වෙනත් මඟක් ඇත් ද?

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල