පුංචි පුංචි දේවල්වල අපි නො හිතන තරමේ ගොඩාක් ලොකු දේවල් තියෙනවා. පුංචි වැහි බිංදු එකතු කරලා ලොකු වැවක් හදන්න පුළුවන් නේ…. ඒ නිසයි ඇසිදිසි මානයෙන් එහා තියෙන, ලොකු වෙනසක් සිදු කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් ගැන අපි කථා කරන්න හිතුවේ. අද අපේ කථාව :

අපේ රටේ නම් වැඩිපුර ම බැණුම් අහන, දොස්පරොස් ලබන රස්සාවලින් එකක් තමයි කොන්දොස්තර කෙනෙක් වීම. මගීන්ගෙන් බැණුම්, රියදුරාගෙනුත් බැණුම්, අනිත් වාහනවල කට්ටියගෙනුත් බැණුම්…. කෙටි දුර ධාවනය වන බස් රථවල නම් කොන්දොස්තරවරයට සිද්ධවෙනවා උගුර බැරැණ්ඩි වෙනකල් ම කෑ ගහ ගහ බස් රථයට සෙනඟ එකතු කර ගන්නත්.

‘‘ඉස්සරහට යන්න, ඉස්සරහට යන්න… ඔය නිල් ෂර්ට් එකක් ඇඳන් ඉන්න මහත්තයා… ඔතනින් ටිකක් ඉස්සරහට යන්නකෝ… මේ මිනිස්සු පාරෙ දාලා යන්නයැ. කට්ටිය ම ටික ටික ඉස්සරහට යන්….”

බස් රථය ඇතුළෙ සෙනඟ මහ ගොඩක්. හැමෝටම හදිස්සියි ඉක්මනට වැඩට යන්න. ඒත් කොන්දොස්තර මහත්තයා හැම හෝල්ට් එකෙන් ම කොහොම හරි කිහිප දෙනෙක් ව නංගා ගන්නවා. ‘‘ඉස්සරහට යන්න… පස්සට යන්න… දෙපැත්තට වෙලා මැද්දෙන් ඉඩ දෙන්න… ෆුට්බෝඞ් එකේ ඉන්න එපා…” කියලා කොන්දොස්තර මහත්තයා කීපාරක් නම් කියනව ද? ඒ අතරෙ ම කඩියා වගේ බස් එකේ ඉස්සරහ ඉඳල පසුපසටත්, පසුපස ඉඳලා ඉස්සරහටත් දුවන්නේ සල්ලි එකතු කරන්න. එතකොට තමයි ලොකු ම ප‍්‍රශ්නෙ… මාරු සල්ලි කෝ???

කොන්දොස්තර බස් මගියගෙන් මාරු සල්ලි ඉල්ලනවා… මගියා කොන්දොස්තරගෙන් ඉතුරු ඉල්ලනවා. මගියා ළඟ කාසි නො තිබ්බොත් කොන්දොස්තරගෙ හිතට හරි නෑ. කොන්දොස්තර ළඟ කාසි නැතිව ඉතුරු නො ලැබුණොත් මගියගෙ හිතටත් හරි නෑ. ඔය මාරු සල්ලි අතේ නැති ප‍්‍රශ්නෙ බොහෝ තැන්වල දකින්න පුළුවන්. ඒ වෙලාවට පුංචිපහේ වචන හුවමාරු වුණත් සිද්ධ වෙන්න පුළුවන්.

බස් ගාස්තුවක් හැමවිට ම රවුම් ගණනක් වුණා නම් ප‍්‍රශ්නයක් නෑ. ඒත් බොහෝ වෙලාවට බස් ගාස්තු ගෙවන්න කාසි වුවමනා කරනවා. කාසි අතේ නො තිබුණොත් රුපියල් තුනක් ඉතුරු ලැබෙන්න ඕන තැනදි අතට ලැබෙන්නෙ රුපියල් දෙකයි. ඔන්න එතකොට හිත ඇතුළෙ බැණුමක් ඇහෙනවා. ‘රුපියල දෙක වුණත් දවස ඉවර වෙද්දි කීයක් හම්බ කරනවා ඇද්ද?’ කියල නො රිස්සුමෙන් කොන්දොස්තර දිහා බැලෙනවා. ඒ බැල්ම කොන්දොස්තර දැක්කොත් එක්කො ‘‘රුපියල පස්සෙ දෙන්නම්” කියනවා. නැත්නම් ”ඇයි මොකද? මාරු ගෙනාව නම් ඉවරනෙ ඔරවන්නෙ නැතිව” කියල සද්දයක් දානවා. මගී ප‍්‍රවාහන රථවල නිතර අසන්න, දකින්න ලැබෙන දෙයක් තමයි ඒ… මේ නිසා ම ඉතින් බස් මගියාට නම් කොන්දොස්තර කෙනෙක් කියන්නේ රුපියල, දෙක වුණත් ගසා කාලා වංචාවෙන් පොහොසත් වෙන කෙනෙක්…!

ඒත් මේ ප‍්‍රශ්නය පහසුවෙන් ම විසඳන්න පුළුවන්කම තියෙන්නේ බස් මගියාට ම මිස කොන්දොස්තරවරයාට නම් නෙමෙයි. මොකද මගියා සාමාන්‍යයෙන් දවසකට දෙතුන් වතාවයි බස් රථයේ ගමන් කරන්නේ. ඒ නිසා මගියාට කොන්දොස්තර මුණගැහෙන්නෙත් ඒ දෙතුන් වතාවෙ විතරයි. මගියාගේ අතේ මාරු කාසිවලින් රුපියල් දහයක්, පහළොවක් තිබුණොත් කිසි ම හිඟපාඩුවක් නැතිව බස් වියදම් පියවා ගන්න පුළුවනි. හැබැයි කොන්දොස්තරවරයාට මුණගැහෙන්නේ එක මගියෙක් නෙමෙයි. එක දිනයක් තුළ මිනිසුන් සිය ගණනක් සමග ගනුදෙනු කරන්න ඔහුට සිදු වෙනවා. ඒ හැමකෙනා ම වෙනුවෙන් වුවමනා මාරු කාසි ඔහුට ගේන්න සිද්ධ වුණොත් කාසි ගෝනියකුත් මදිවෙයි නේ ද? ඉතින් වඩාත් ලේසි වගේ ම වඩාත් සුදුසු වුවමනා කරන කාසි ටික අපි අරන් යන එක නේ ද?

ඇතැම් රටවල්වල බස්රථයේ කොන්දොස්තරවරුන් නැහැ. ස්වයංකී‍්‍රය යන්ත‍්‍රයකින් තමයි ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කරන්නේ. ගමනට වුවමනා කරන මුදලට වඩා වැඩි මුදලක් එයට ඇතුළු කළහොත් ඉතුරු ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ රටවල පිරිස් ගමනක් බිමනක් යන කොට හරි ගණනට මාරු සල්ලි අරගෙන තමයි ගමන පිටත් වෙන්නේ. ඔවුන්ගේ ඒ ක‍්‍රියාව වගේ ම නිසි ලෙස ප‍්‍රවේශ පත‍්‍ර ලබා ගැනීමට තරම් අවංක වීමේ ගුණයත් ප‍්‍රශංසනීය යි. උදේ හවහ පන්සිල් සමාදන් වන බෞද්ධ බහුතරයක් ඉන්න අපේ වගේ රටක අද වෙනකොට බස් එකේ හොරෙන් යාම වීරකමක් ලෙසින් සලකන, එය අගය කරන වටාපිටාවක් බිහිවීම අතිශය ශෝචනීය මෙන් ම ලැජ්ජා සහගත කරුණක්.

කවදාහරි අපිටත් ඔය තාක්ෂණය හඳුන්වා දුන්නොත් එයට වැඩිපුර මුදල් දාලා කීයක් හරි අහිමි කර ගන්න අපි කැමති වෙයි ද? නෑනේ…. එතකොට අපි කොහොම හරි අදාළ ගණනට මුදල් මාරු කරගෙන අරන් යන්නෙ නැද්ද? අරගෙන යනවා. ඉතින් එහෙම නම් දැන් අපට ඇයි එහෙම කරන්න බැරි???

(උදා: පහුගිය දවස්වල වැඩි වූ විදුලි බිලට නෝක්කාඩු කියමින් බිල් නො ගෙවන බවට වහසි බස් දෙඩූ, තමන් ප‍්‍රගතිශීලී මානවහිතවාදීන් යැයි කියාගනිමින් ඉටිපන්දම් එළියේ පෙළපාලි ගිය පිරිසේ කිසිවකුත් බිල් නො ගෙවා සිටීමට අපොහොසත් වී නැති ලූ)

ඒ නිසා මීට පස්සේ බස්රථයට වුවමනා කරන මුදල් හරි ගණනට, මාරු කරගෙන රැගෙන යන්න අමතක කරන්න එපා. හැකි හැම විටක ම එහෙම කරන එක ඔබටත්, කොන්දොස්තරවරයාටත් එක සේ ම පහසුවක්. සියලූ මගීන්ට යහපත් ආදර්ශයක්. අන් අයට චෝදනා කරන්න කලින් අපි නිවැරදි වෙමු.

කොන්දොස්තර මහත්වරු

දවසක් දා…
බස් රථයේ කොන්දොස්තරවරයාට එක තරුණ දරුවෙක් රුපියල් දෙදහසක නෝට්ටුවක් දිගු කළේ රුපියල් විසි තුනක ටිකට් එකක් ලබා ගැනීම වෙනුවෙන්. ඔබ එහි කොන්දොස්තරවරයා වුණා නම් ඔබට මොනවා හිතේවි ද? මොනවා කටට ඒවි ද? මේ කොන්දොස්තර මහත්තයා ‘‘මාරු නැද්ද පුතා?” කියලා අර දරුවගෙන් ඇහුවා. ඔහු ළඟ මාරු නැහැ. ”මේ බලන්න මගෙ ගාව දෙදාහක්වත් නෑ.” ඔහු එකතු කර ගත්තු මුදල් පෙන්නුවා.
ඇත්තට ම එතැන තිබුණෙ රුපියල් දාහකට අඩු මුදලක්. දැන් මොකද කරන්නෙ?

‘‘ටිකක් ඉන්න පුතා. මං කඩේකින් මාරු කරලා ඉතුරු දෙන්නම්. මීට පස්සෙ නම් මාරු නැතිව බස්වලට දුවන්න එපා.”

පුංචි තරවටුවක හඬින් කොන්දොස්තර මහත්තයා එහෙම කිව්වා.
එපමණයි…!

තවත් දවසක…
බස් රථයක් නැවතුමකින් මගීන් නංවා ගෙන පිටත් වුණා. කොන්දොස්තර පිටුපසින් නැගපු අයට ටිකට් කඩනවා. ‘‘ඉතුරු පස්සෙ දෙන්නම්” කියලා ඔහු මැදිවියේ මහත්තයෙකුට ටිකට් එක දීලා ඉස්සරහට ගියා.
ටිකකින් බස් රථයේ පසු පස දිශාවෙන් මහ හඬින් බැණුමක් ඇහෙනවා. වෙන කවුරුවත් නෙමෙයි, අර මැදිවියේ මහත්තයා තමයි මේ දිගට, හරහට දොස් කියන්නේ. බස් රථයේ පිරිලා හිටපු පිරිස් ඒ දෙස බල බලා කට කොනින් හිනා වෙනවා. ඔය සද්දෙ ඇහිලා කොන්දොස්තර පිටිපස්සට ආවා.

‘‘ඇයි මහත්තයා? මොකක් ද ප‍්‍රශ්නෙ?”

ඔහු අර මැදි වියේ මහත්තයාගෙන් අහනවා. ඒ මහත්තයත් හිතේ තිබුණ හැම තරහක් ම ඔහු ඉදිරියේ දිග හරිනවා.

‘‘බලනවා ඔහේලා කරන ජරා වැඩ… මගේ ගමන් ගාස්තුව රුපියල් දාසයයි. මං ඔහේට රුපියල් විස්සක් දුන්නා. ඔහේ ඒකත් අරන් ඉතුරු පස්සෙ කියලා ඉස්සරහට දිව්වා.”

කොන්දොස්තර ඔහුගේ කථාවට බාධා කරන්න හදනවා. ඒත් ඔහු නෙමෙයි කථාව නවත්තන්නේ.

‘‘ඔය රුපියල් හතර ඔහේ ආපහු දෙන්නෙ නෑනේ. අහිංසක මිනිස්සු අමාරුවෙන් හොයා ගන්න සල්ලි එක්ක ජඩ වැඩ කරන්න එපා මිනිහෝ.”

බස් රථය ම නිශ්ශබ්ද යි. ඔහු හති අරින්න පටන් ගත්තේ ආවේගය වැඩිකමට ම යි.

‘‘මහත්තයා මට රුපියල් විස්සක් ද දුන්නේ?”

කොන්දොස්තර අහනවා. ඇවිළෙන ගින්නට පිදුරු දැම්මා වගේ ආයෙමත් අර මහත්තයා තරහ ගන්නවා.

‘‘ඔන්න… ඕන්න ඕක තමයි මම කියන්නේ. ඔහේට මතක නෑ මං විස්සක් දුන්නා කියලවත්. ඒ…? එතකොට කොහොම ද ඔහේ ඉතුරු දෙන්නෙ? ඔහේට මතක ද අඩුගානෙ මට ඉතුරු දෙන්න තියෙනවා කියලවත්?”
බස් රථයෙන් හිනාහඬක් මතු වෙනවා. කොන්දොස්තරත් හිනා වෙමින් ම සල්ලි ගණන් කරනවා. ඔහු රුපියල් හාරසිය අසූහතරක මුදලක් අර මහත්තයාගේ අතට දීලා මෙහෙම කියනවා.

‘‘මෙන්න මහත්තයගේ ඉතුරු. මීට පස්සෙ අතේ තියෙන්නෙ කීයක් ද කියලා හොඳට බලලා ඉන්න. මහත්තයා මට දුන්නෙ පන්සීයක්. මේ තියෙන්නෙ ඒ පන්සීයේ කොළේ. රුපියල් දහසයේ ටිකට් එකට පන්සීයක් මාරු කළා නම් අනිත් අයට ටිකට් කඩන්න ඒ වෙලාවේ මගෙ අතේ මාරු සල්ලි ඉතුරු නො වන නිසයි මං මහත්තයගේ ඉතුරු පස්සෙ දෙන්නම් කිව්වේ.”

කොන්දොස්තරගේ කථාවෙන් මුළු බස්රථය ම නිශ්ශබ්ද වුණා. ඔහු ඊළඟට මෙහෙම කිව්වා.

‘‘කොන්දොස්තර කියපුව ම හැමෝම හිතන්නෙ මහත්තයෝ මහ එපාකරපු කෙනෙක් ය කියල. උගත්කමක් නැති, වෙන රස්සාවක් කරන්න බැරිකමට ටිකට් කඩන්න එන කෙනෙක් ය කියලා…. මහත්තයා මට තියෙනවා බස් හත අටක් ම. මං බස් අයිතිකාරයෙක්. ගෙදර නිකන් ඉන්න කම්මැලිකමටයි මං මෙහෙම ටිකට් කඩන්න එන්නේ. එහෙම නැතිව අහිංසක මිනිස්සුන්ගේ රුපියල, දෙක සූරන් කාලා රජ වෙන්න නෙමෙයි මහත්තයෝ.”
එපමණයි…!

ඔහු ඊළඟ නැවතුමෙන් සෙනඟ නංවා ගන්න බිමට බැස්සා.

ඔවුන් කරන්නේ සේවා සැපයීමක්. එය අගය කරන්නටත්, ඔවුන්ගේ කාර්යය පහසුවෙන් සිදුකිරීම වෙනුවෙන් අපෙන් දියහැකි සහයෝගය ලබා දෙන්නටත් අප කවුරුත් නිහතමානී විය යුතුයි නේ ද?

– මගියෙක් –