අද අපි අත් දකින්නේ ඉලක්කම්වලින් කථා කරන ලෝකයක්. මුදල් වටිනාකම් මත මේ ලෝකයේ බොහෝ දේවල් තීරණය වෙනවා. එ් නිසා කවුරු කවුරුත් නිතර නිතර උත්සාහ කරන්නේ කොහොම හරි මුදල් උපයා ගන්නයි.

මුදල් උපයන්න ඇතැම් අය දිවා රැුය වෙහෙසෙමින් වැඩ කරනවා. ගිනි අව්වේ දැවෙමින් වැඩ කරනවා. නිදි මරාගෙන වැඩ කරනවා. තවත් අය මනස අප‍්‍රමාණ ව වෙහෙසමින් වැඩ කරනවා. තවත් පිරිස් වංචනික ක‍්‍රියාවන්ගේ නියැළෙමින් මුදල් හොයනවා. මේ විදිහට මුළුමහත් ලෝකය පුරා ම මුදල් හරි හම්බ කරන්න අප‍්‍රමාණ අරගල දියත් වෙනවා. එ්ත්… මෙහෙම අරගල කරන මිනිසුන්ගෙන් හරි අඩක් ම උපයන මුදලට සමාන මුදලක් මිනිසුන් හැට දෙදෙනෙකු අතරේ බෙදී පවතිනවා…!

ලෝකයේ ධනවත් ම මිනිසුන් 62 දෙනාගේ වත්කම ලෝක ජනගහනයෙන් හරි අඩක් ලෙස වෙන් කෙරෙන පහළ ආර්ථික මට්ටම්වල සිටින ජනයාගේ වත්කමට සමානයි. එ් කියන්නේ කෝටි 350ක ජනකායක් අපමණ දුක් විඳිමින් උපයන ධනයට සමාන මුදලක් මිනිසුන් 62ක් විසින් පරිහරණය කරනවා. කොහොමද වෙනස…? මේ බව මාධ්‍යයට හෙළිදරව් කෙරුණේ ඔක්ස්ෆෑම් ඉන්ටර්නැෂනල් පර්යේෂණ ආයතනයේ වාර්තාවක් ලෙසිනුයි.

කෙනෙකුට භව භෝග සම්පත් ලැබෙන්නේත්, තවත් කෙනෙකුට එ් ආකාරයෙන් ම නො ලැබෙන්නේත් රැස් කර ගත් පින්වල වෙනස නිසයි. මනුෂ්‍ය ලෝකයේ පමණක් නො වෙයි; දිව්‍ය ලෝකවල දෙවිවරු අතරේ පවා මේ වෙනස්කම් දකින්නට පුළුවන්. මනා කොට සකසා, ගෞරවයෙන් යුතු ව, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුතුව, බැහැර නො කරන දෙයක් සියතින් ම දන් දෙන්නේ නම් එ් කෙනා ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඞී යනවා.

අපේ ජීවිතවල අප බලාපොරොත්තු වන ආකාරයෙන් කටයුතු ඉෂ්ට සිද්ධ කර ගන්න පින මොන තරම් උපකාරකයි ද කියන කාරණය දැනගන්න නම් ඛුද්දක නිකාය පොත් වහන්සේගේ නිධිකණ්ඩ සූත‍්‍ර දේශනාව කියවා බලන්න. පුණ්‍ය නිධානය අපට සෑම කල්හි ම සැපය උදා කරන ආකාරය එහි විස්තර වෙනවා. ‘අනේ අපට මේ මේ දේවල් නෑනේ’ කියා සිතමින් දුකට පත් වනවා වෙනුවට පුණ්‍ය විපාක ලෙසින් භව භෝග සම්පත් ලැබීමට හැකි ප‍්‍රතිපදාවක හැසිරෙන එක නෙමෙයි ද වටින්නේ…

මේ ජීවිතයේ සුවපහසුව පිණිස යම් තාක් දේවල් උපකාර වනවා ද එ් දේවල් ලබන්න හැක්කේ පිනෙන්. පරලොව සුවපහසුව පිණිස යම් තාක් දේවල් උපකාර වනවා ද එ් දේවල් ලැබෙන්නේ ද පිනෙන්. සසර දුක් සියල්ල නසා නිවන් සැප ලබනවා ද එ් කරා අප ගෙන යන්නේත් පින ම යි. මේ බව විශ්වාස කරගෙන, අදහාගෙන පින් කරන්න යොමු වෙන්නේ ලෝකයේ ධනවත් ම පුද්ගලයන් විතරයි… එ් කිව්වේ අර හැට දෙදෙනා ගැන නම් නෙමෙයි; එ් කිසිදු ධනයකින් කරන්නට බැරි ජාති ජරා ව්‍යාධි මරණ සහිත දුක්ඛිත ගමනක අවසානය සනිටුහන් කරන ධනය වන ශ‍්‍රද්ධා ධනය සහිත වූ ධනවතුන් ගැනයි…!