ආචාර්ය උපාධියක් හෙවත් පී. එච්. ඞී. එකක් ලබා ගැනීම දක්වා අධ්‍යාපනයක නියැළෙනවා කියන්නේ සුවිශේෂී දක්ෂකමක්. එ් ඉඩ විවෘත වන්නේ තමන්ගේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන සමත්කම් දක්වන්නෙකුටයි. එවන් දක්ෂකමක් සහිත වූ පුද්ගලයෙකු කුල මානයෙන් හිස උදුම්මා ගත් පිරිසකගේ තාඩන පීඩන නිසා ජිවිතය හැර යන්නට තරම් චිත්ත පීඩාවකට ලක් වනවා නම්… එ් කුලවතුන්ට අප කුලවතුන් කිව යුතු ද?

සිද්ධිය වාර්තා වුණේ අසල්වැසි ඉන්දියාවේ හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලයෙන්. රෝහිත් වෙමූලා නම් වූ ආචාර්ය උපාධි අපේක්ෂක තරුණයා විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුළ දී ම තම හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කර ගත්තේ පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී. දාලිත් හෙවත් අස්පර්ශනීය කුලයක උපත ලද රෝහිත්ටත්, තවත් තරුණයන් සිව් දෙනෙකුටත් මෙසේ උසස් අධ්‍යාපන අවස්ථාවන් විවෘත වූවත් පහත් යැයි සම්මත කුලයක උපන්නා වූ ඔවුන් පස් දෙනා විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල තබා ගන්නට බලධාරීන් කැමති වූයේ නැහැ. ඔවුන් ව නේවාසිකාගාරවලින් බැහැර කෙරුණේ ඉන් පසුව යි. එකී නින්දිත ක‍්‍රියාවට එරෙහි ව හඬ නැඟු මේ සිසුන්ට දිගින් දිගට ම සිදු වුණේ අසාධාරණයට එරෙහි ව හඬ නැගීමටයි. ඔවුන්ගේ හඬ නැගෙන සෑම මොහොතක ම පෙරලා ගනු ලැබූ ක‍්‍රියාමාර්ග තුළින් ඔවුන් ව අපහසුවට ලක් කරන්නත් බලධාරීන් පෙළඹී තිබුණා. කාලයක් පුරා මුහුණපාන්නට සිදු වූ මේ ඛේදනීය සිදුවීම් පෙළ නිසා සිත් කලකිරීමෙන් සිටි රෝහිත් බලධාරීන්ට විරෝධය පා සියදිවි හානි කර ගත්තා.

කෙනෙකුගේ උපත සම්පූර්ණයෙන් ම කර්මානුරූප දෙයක්. කෙනෙක් බොහෝ පිළිගැනීම් ඇති ව උපදින්නත්, කෙනෙක් කිසි ම පිළිගැනීමක් නැතිව උපදින්නත් මුල් වන්නේ කර්මානුරූප ව ගෙන ආ දේ. කර්ම විපාකයකින් ලද දෙයක් මුල් කරගෙන නින්දා අපහාස තාඩන පීඩන සිදු කරන්නට යම් කෙනෙක් පෙළඹෙනවා නම් එසේ කරන්නේ මේ ධර්මතාවයන් තේරුම් ගන්නට තරම් සිහිනුවණක් නැති පිරිස් ම යි.

ජීවත් වෙන්නේ එක ම පොළවක, එක ම ඉර හඳ යට. කන්නේ බොන්නේ එක ම විදිහට. එ් ආහාර දිරවන්නේත්, මළ මුත‍්‍ර ලෙස ශරීරයෙන් බැහැර වෙන්නේත් එක ම ආකාරයෙන්. ශරිරයක් විදිහට දරාගෙන ඉන්නේ එක ම විදිහට අපිරිසිදු දේවල්. මොන මොහොත ගත්තත් මේ හැම ශරීරයක ම අසූචි ටිකක්, මුත‍්‍ර ටිකක් රැස් වෙලා තියෙනවා. මතුපිටින් මොන ආලේපවලින් පින්තාරු කරලා සරසලා තිබුණත් හම මස් නහර ඇතුළේ බලන්නවත් අප‍්‍රසන්න පිළිකුල් සහගත දේවල් ම යි තිබෙන්නේ. කාගේ ශරීරය වුණත් එපමණයි. එහෙම ශරීර දරාගෙන හිඳිමින් කුලවත් බව හෝ කුලහීන බව කොහොම නම් කථා කරන්න ද? කොහොම නම් බෙදා වෙන් කර ගන්න ද?

එකිනෙකාගේ කර්ම පොදි දෙස අවඥ සහගත ව බලන්න යෑමෙන් අපි ම යි අවඥවට ලක් වීම පිණිස කර්ම රැස් කරන්නේ. කයින් කරන්නේ නරක දෙයක් නම්, වචනයෙන් කියන්නේ නරක දෙයක් නම්, සිතින් සිතන්නේ ද නරක දෙයක් නම් කුලවත් පවුලක උපන්නා කියා ඇති අගය මොකක් ද? කයින් වචනයෙන් සිතින් යහපතෙහි ම හැසිරෙනවා නම් නීච ම කුලයක උපන්නත් ඇති අඩුව මොකක් ද?

අසූචි කඳ උසුලාගෙන යමින් සමාජයීය ගැරහීමට ලක්වුණු සත් හැවිරිදි දරුවෙකු වුණ සුනීත කුල ගොත් නිසරු යැයි දැක බැහැර කළ සම්බුදු සසුනේ කසාවත දරා ගත්තා. කුලවලින් නිදහස් වුණා. කෙලෙසුන් නසා අරහත්වයට පත් වුණා. ‘‘නීච කුලයේ වසලයා” යැයි මාන්නක්කාර ලෝකය දොස් නගන අතරේ බ‍්‍රහ්මරාජයෝ පවා ඇවිත් එ් රහත් මුනිඳුන්ට වන්දනා කළා. එතකොට ඇත්තටම කුලවතා කවුද…!

මේ ආර්ය ජාතියේ උපන් අයටයි උසස් ම කුලවතුන් වන්න ලැබෙන්නේ. කිසිවෙකුට ගරහන්නේ නැති, කිසිවෙකුත් පෙළන්නේ නැති එ් කුලවත් බව තුළ ඉපදීමටයි අපත් උත්සාහ කළ යුත්තේ….