ආතර් වී. දියෙස් නම් මේ ශ්‍රී ලාංකේය දේශපාලඥයා ස්වකීය වගා සංග‍්‍රාමයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසයි කොස් මාමා යන නාමයෙන් ප‍්‍රකට වූයේ. දහනම වන සියවස අග භාගයේ උපත ලද එතුමා විදේශ ආධිපත්‍යයෙන් රට නිදහස් කිරීම පිණිස වූ ජාතික නිදහස් සටනේ ද ඉදිරියෙන් ම සිටියෙක්. බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කිරීම සහ බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම උදෙසා වූ ජාතික ව්‍යාපාරය තුළ වගේ ම ලාංකේය අමද්‍යප ව්‍යාපාරය තුළත් එතුමා කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. ඉංග‍්‍රීසීන් විසින් ඔහු ව වෙඩි තබා මරා දැමීමට පවා වරෙක නියෝග කරනු ලැබුවත් එය ක‍්‍රියාත්මක කළ හැකි වූයේ නැහැ.

වසර හාරසියයකට මඳක් වැඩි කාලයක් පුරා විදේශීය ආධිපත්‍යයට නතුව තිබූ රට නිදහස කරා ගෙන යාමට නම් අන් බොහෝ කාරණා අතරේ ජාතික ආහාර නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු ම බව එතුමා තරයේ විශ්වාස කළා. එතුමාගේ මේ ව්‍යායාමය නූතනයේ සිට දකින අපට සිහිපත් වූයේ හතළිස් වසරක එළාර පාලනයට එරෙහි ව සටන ඇරඹීමට පළමු ගාමණීඅභය රජු විසින් රටේ ආහාර සංචිතය සුරක්ෂිත කරවීම පිණිස දීඝවාපිය අස්වද්දන්න යැයි කියා ස්වකීය සොහොයුරු වූ සද්ධාතිස්ස කුමරු පිටත් කළ අයුරයි. එ් අතීත පණිවිඩය ම විසිවන සියවසේ දී ද යළි අරුත් ගන්වමින් රටට ගැළපෙන පිරිමැසුම්දායක ආහාර වගා කිරීම පිළිබඳ ව යොමු වූ අවධානය ඇතිව එතුමා ගමින් ගමට රට පුරා ගියේ ගහ කොළ සිටුවීමේ වැදගත්කම කියා දෙමිනුයි.

බත් ගස යන නමින් ප‍්‍රකට කොස් ගස් වගා කිරීම නිරන්තරයෙන් දිරි ගැන්වූ එතුමා තමන් වෙත පැමිණෙන සෑම කෙනෙකුට ම කොස්, දෙල්, පැපොල්, අඹ වැනි පැළ රෝපණය පිණිස ලබා දීමට අමතක කළේ නැහැ. තමන් සංචාරය කළ සෑම ගමකින් ම ධාන්‍ය හා බීජ වර්ග රැගෙන පැමිණි එතුමා ස්වකීය ගෙවත්තේ පැළ තවාන් සැකසුවේ එ් වෙනුවෙන් ම යි. මංගල්‍යය අවස්ථාවල පවා කොස් ආශ‍්‍රිත රසවත් ආහාර සැකසීම පිණිස හඳුන්වාදීම් කළ එතුමන් තැපෑලෙන් නිවෙස්වලට කොස් ඇට යැවීමට කටයුතු කළේ කොස් මාමා යන අන්වර්ථ නාමයට තවත් සුදුසුකම් ලබමින්.

ලෝකයේ ප‍්‍රකට නො වූවත්, එදා පැවති සමාජ දේශපාලනික වාතාවරණයන් තුළ කොස් මාමා කළ වගා විප්ලවයත් සැබැවින් ම පුදුම සහගතයි. එක් අතකින් එය පුදුමාකාර දූරදර්ශී චින්තනයක්. පිටරටින් රැුගෙන ආ විනාශකාරී ශාක ප‍්‍රභේද වෙනුවට රටට ගැළපෙන එ් වගා සංග‍්‍රාමය ම පවත්වා ගන්නට අප වාසනාවන්ත වූවා නම් ශාක ත‍්‍රස්තවාදයේ ගොදුරක් නො වන්නට පමණක් නො වෙයි; ආහාර සුරක්ෂිතතාවය අතිනුත් පෙරමුණේ හිඳින්නටත් අපට හැකියාව ලැබිය යුතු ව තිබුණා. එහෙත් එ් මිනිසුන්ගේ අභාවයත් සමඟ ඔවුන්ගේ චින්තනයන් ද අභාවයට පත් වීම රටේ ම අවාසනාවක්…