මහා වනාන්තරයක් හිස් මුඩුබිමක් කරවන්නට මහා කාලයක් වුවමනා වන්නේ නැහැ. නොයෙක් තාක්ෂණික උපකරණ බහුල මේ යුගයේ පැයකින් දෙකකින් වූවත් වනාන්තරයක් කපා බිම හෙළන්නට පුළුවනි. හැබැයි කාන්තාරයක් වනාන්තරයක් කරන්න එක රැයකින් දෙකකින් බැහැ. දිගු කාලයක්, අපරිමිත කැපවීමක්, මහා ඉවසීමක් එ් වෙනුවෙන් වුවමනා කෙරෙනවා.

ඔව්.. වන මලක් කියන්නේ කිසි සේත් ම එක රැයක සුන්දරත්වය නො වෙයි. ගස ද පොළව ද බොහෝ කාලයක් සුසංයෝගී ව සිදු කළ ව්‍යායාමයක ප‍්‍රතිඵලය තමයි එ්…

මේ ආකාරයෙන් ම කාන්තාරයක කෙම්බිමක් බිහි කරන්නට දශක තුනක් පුරා වෙහෙස වූ සහ එහි සාර්ථක ප‍්‍රතිඵල නෙළන්නට සමත් වූ මිනිසෙකු ගැන අසන්නට ලැබුණේ නයිගර් රාජ්‍යයෙන්. ඔහුගේ නම යුකෝබා සාවඩොගෝ. සහරා කතරේ නයිගර් රාජ්‍යය ආශ‍්‍රිත ගුල්මා කලාපය යි ඔහු විසින් හරිත බිමක් බවට පත් කරනු ලැබුවේ. ඔහුගේ මේ ව්‍යායාමය ඇරඹුණේ 1980 වසරේ සහරා කතරට බලපෑ දැඩි නියඟයත් සමඟයි. අප‍්‍රිකානු කලාපයට අතිශය විනාශකාරී බලපෑම් සිදු කළ එම නියං සමයේ හානිය දුටු ඔහු කාන්තාරකරණය වළක්වනු පිණිස එහි රුක් රෝපණය කිරීම ඇරඹුවා. 80%ක ශාක ප‍්‍රතිශතයක් විනාශ කරනු ලැබූ නියඟයකට පසු ඔහු විසින් අඛණ්ඩ ව ගෙන ගිය පාරිසරික අරගලය නිසාවෙන් මේ වන විට සහරාවේ ගුල්මා කලාපය හරිත බිමක් බවට පත් වී තිබෙනවා. බලන්න, හිත ඇති නම් පත කුඩා ද?