නිතර සිනහ වෙන කෙනෙක් ද ඔබ? එහෙම නම් මතක් කරලා බලන්න ඔබට සිනහව ඇති කරලන්නට වැඩිපුර ම මුල් වුණේ ඔබ ම ද? අන් අය ද?

සමාජය සමඟින් ගනුදෙනු කරන කොට සිනාසෙන්න ආකාර දෙකක් තිබෙනවා. එක්කෝ අපට පුළුවන් මිනිස්සු සමඟ සිනාසෙන්න. නැති නම් අපට පුළුවන් මිනිස්සුන්ට සිනාසෙන්න. මේ ලෝකයේ මිනිස්සුත් එක්ක සිනාසෙන පිරිසට වඩා මිනිස්සුන්ට සිනාසෙන පිරිස වැඩියි. එ්කට හේතුව තමයි නිතර අනෙකාගේ අඩුපාඩුව දකින්නටත්, එය හාස්‍යයට කාරණයක් කර ගන්නටත් බොහෝ කාලයක් තිස්සේ පුරුදු කළ සිතක් අපට තිබීම.

කෙනෙකුගේ අඩුපාඩුව දැකලා සිනාසෙන එක දුර්වලකමක් විතරක් නෙමෙයි; බොහෝ අකුසලයන් ඇති කරලන්නටත් හේතුවන කාරණයක්. බොහොම ඉස්සර කාලෙක නම් යම් කෙනෙකුගේ අඩුපාඩුව ගම් ගොඬේ ඇළ දොළේ කඩපිළේ කථා බහට ලක් කෙරුණා. ‘‘අහවලා මෙහෙමයි” කියලා අඩුපාඩු ගැන සිනාසුන එ් ගම්මානයෙන් පිටට මේ කාරණය ගියේ බොහොම කලාතුරකින්. එ්ත් අද? කෙනෙකුගේ අඩුපාඩුව දකිද්දි එය වීඩියෝ කරලා සමාජ මාධ්‍යවලටත් මුදා හැරලා ලෝකයට ම දකින්න සලස්වන පිරිසක් බිහි වෙද්දි එය සමාජය පුරා පතුරුවා හරිමින් හීන සතුටක් ලබන පිරිසකුත් බිහි වෙලා නේ ද?

කලකට පෙර සමාජ මාධ්‍ය ජාලවල ලාංකේය සාමාජිකයන් බොහොමයක් අතර හුවමාරු වුණ එවැනි එක්තරා වීඩියෝවකින් පසුව රටේ පළමු, දෙවන, තුන්වන පුරවැසියන්ට පවා නම් සඳහන් කරමින් අදාළ තනතුර දක්වමින් ‘‘ඔන්න ඕක ළමයෙකුට දීපන්” කියන සමාජ රැුල්ලක් බිහි වුණ වග ඔබ බොහෝ දෙනෙක් දන්නවා ඇති. විදෙස් රටක ගෘහ සේවයට ගිය කාන්තාවක මෙරට සිටින අයෙකුට (එ් ඇයගේ ස්වාමි පුරුෂයා විය හැකියි) දුරකථනයෙන් අමතමින් දොස් පවරමින් දුරකථනය ළමයෙකුට දෙන්න යැයි පවසන සිදුවීමක වීඩියෝවක් තමයි එයට පදනම් වුණේ. ඇයගේ ඇමතුම ලද පුද්ගලයා සිටියේ බීමතින් විය යුතුයි. ඔහු ඇය පවසන කිසිවක් තේරුම් නො ගන්නා විට අසැබි වදනින් බැණ වදිමින් ඇය ”ෆෝන් එක ළමයෙකුට දීපන්” කියනවා. එ් සිදුවීම වීඩියෝගත කළ පුද්ගලයා එයින් ළාමක සතුටක් විඳිමින් සමාජ මාධ්‍ය ජාලයන්ට එය නිරාවරණය කළා. එය නැරඹූ පිරිසත් එ් ළාමක සතුටින් ම සිනාසුනා. යහළුවන්ට නරඹන්න හුවමාරු කළා.

නූතන තාක්ෂණික මෙවලම් ගැන එතරම් දැනුමක් නැති, දුරු ඈත රටක තමන් දුක් විඳිමින් උපයන මුදල කාබාසිනියා කරන ස්වාමි පුරුෂයන් ගැන සිතට නැගෙන තරහව පාලනය කර ගන්නට සමත්කමක් නැති ඇය වැනි මව්වරුන්ගේ අඩුපාඩුවලට සිනාසෙන්න හැකිකම ම මහා අඩුපාඩුවක් නෙමෙයි ද? එ් දුර්වලකම් ලෝකයට දකින්නට හුවමාරු කිරීම ජයග‍්‍රහණයක් ලෙස සිතීම ම මහා දුර්වලකමක් නෙමෙයි ද?

ලෝකයට අසන්නට දකින්නට යම් වචනයක් හුවමාරු කරන්නට වුවමනා නම් එ් වචනය සියලූ ලොවට සියලූ කල්හි යහපත ම සලසන්නක් බවට පත් කරලීමේ වුවමනාවක් ද අපට තිබිය යුතුයි. එවිටයි අප මිනිස්සුන්ගේ අඩුපාඩුවලට සිනහ නො වන, මිනිසුන් සමඟ සුහද ව ප‍්‍රියශීලී ව සිනාසෙන සොඳුරු සිතැත්තන් බවට පත් වන්නේ.

වචනයේ උතුම් බව ගැන සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය මෙවැන්නක්.

‘‘සහස්සම්පි චේ වාචා – අනත්ථපදසංහිතා
එ්කං අත්ථපදං සෙයේ‍යා් – යං සුත්වා උපසම්මති”

‘‘මෙලොවත් පරලොවත් අයහපතට හේතු වන වචන දාහකට වඩා අර්ථවත් වූ එක ම එක වචනයක් අහලා ජීවිතය සන්සිඳෙනවා නම් අන්න එ් වචනය තමයි උතුම්…”

ජීවිතය සන්සිඳවන එවන් උතුම් වචන පවසන සුදනන් ලොව තවමත් ජීවමාන යි. වචනය සංවර කර ගන්නට අපොහොසත් වූ අයෙකු දැක සරදම් කරමින් සිනහ නගනු වෙනුවට උතුම් වචන පවසන අයෙකුගේ වචනය ලොව පතළ කරවා, ලොවට යහපත සැලසෙනු දැක තුටු සිනා නගන්නට අපට නො හැකි ද? ඔබට එය කළ හැකි නම්, මතක තබා ගන්න, එ් සිනහව දෙව් මිනිස් ලෝකයට පිදෙන සුන්දර ම සිනහවක්…!