අපි ගන්නා ආහාර මත තමයි අපි සියලූ දෙනා ම යැපෙන්නේ. හැම ආහාරයක් ම වාගේ හටගන්නෙ මහ පොළව මූල් කරගෙන, වාතය මුල් කරගෙන, ජලය මුල් කරගෙන. ඉතින් මේ මහ පොළව, වාතය, ජලය විනාශ වුණොත් අපේ ආහාර විනාශ වෙනවා. ආහාර විනාශ වුණොත් අපේ පරපුර විනාශ වෙනවා. පරපුර විනාශ වුණොත් මේ රටේ ධර්මය ඉතුරු වෙන්නෙ නෑ.

බුද්ධ ශාසනය ජීවමාන ව පවතින්නේ ගොඩනැගිලි, ගස් කොළන්, වැව් පොකුණුවල නො වෙයි…. පොත් පත් තුළත් නො වෙයි… ධර්ම විනය විවෘත වූ කල්හි බබළන්නේ ය කියන බුද්ධ භාෂිතයේ අර්ථය ධර්මය ඇසෙන හෝ කියවන්නට ලැබෙන හෝ ඉඩකඩ පුළුල් වූ පමණින්වත්, භෞතික ඉදිකිරීම් බහුල වූ පමණින්වත් ධර්මය බබළනවා කියන එකත් නෙමෙයි. මේ ධර්ම විනය බබළන්නේ එය මැනැවින් දැනගෙන, ප‍්‍රායෝගික ව ධර්මයේ හැසිරෙන සිව්වණක් පිරිසකගේ චිත්ත සන්තානයන් තුළ යි….

ඉතින් අනාගතයේ බුදු සසුන රැකෙන්නට නම් එය රකින පිරිස රැකිය යුතුයි. පිරිස රැකෙන්නට නම් ඔවුන් අල්පාබාධ සහිත වූවන් විය යුතු යි… එහෙම වෙන්න නම් අපි මුළුමනින් ම අද මේ තියෙන පරිභෝජන රටාව යහපත් විදියට වෙනස් කර ගත යුතු ම යි.

දැනටත් අපි ගොඩක් පරක්කු වැඩියි. මේ මීට අවුරුදු 30 – 40කට කලින් කරන්න තිබුණ දෙයක්… මේ අවුරුදු 30 – 40 තුළ අපේ වාතය, මහ පොළව ජල මූලාශ‍්‍රවලට පුදුම විදියට වස විස එකතු වුණා…

මේකෙන් අපේ රජරට හා නැගෙනහිර, රටට බත සපයන ගොවි ජනතාව අතරින් අද සෑම හතර දෙනෙක්ගෙන් එක් කෙනෙකුගේ ම වකුගඩු නරක් වෙලා. අනෙකුත් බෝ නොවන රෝග රට පුරා ම ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙනවා….

ශ‍්‍රද්ධා රූපවාහිනියේ මෙහෙයවීමෙන් පිවිතුරු පැන් පූජා වැඩසටහන මගින් ජල පිරිපහදු එ්කක සවි කරමින් එ් අහිංසක ගොවි ජනතාවට තව දුරටත් ජීවිත දානය ලබාදෙන්න ලොකු උත්සාහයක් ගන්නවා.

එ් අතරේ අක්මුල් සොයා ලිපි පෙළ මගින් අප උත්සාහ ගන්නේත් මේ ව්‍යසනයට පාදක වූ මුල් සොයා ගලවා දමා මේ පින් බිමේ සුවහසක් ජනතාවට යළි නිරෝගී ජීවිතයකට මඟ පෙන්වමින් මේ රටේ ධර්මය රකින මතු පරපුර රැක ගැනීමට යි.

බුදුජාණන් වහන්සේ පිරිනිවන් පාද්දි සක් දෙවිඳුට මේ රට රකින්න කියල භාර කළේ ලොකු අරුතක් ඇතිව යි. එ් කියන්නේ මේ මුළු ලෝකෙන් ම නුවණැති මිනිසුන් බිහි වුණේ මේ රට තුළ යි. බුදු දහම ගෝචර වෙන්නෙ, අවබෝධ වෙන්නෙ; එපමණක් නො වෙයි ආරක්ෂා වෙන්නේ පවා නුවණ තියෙන මිනිසුන් මත පමණ යි. එ්ක බුදු නුවණින් දැක වදාළ නිසා තමයි සක් දෙවිඳුන්ට එ් මහා කාර්යය පැවරුනේ.

භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ව අපේ හිතේ ගෞරවයක් පැහැදීමක් තියෙනව නම් අපි උන් වහන්සේගේ පැතුම ඉටුවෙන වෙන විදියට යි කටයුතු කළ යුත්තේ.

අතීතයේ ඉඳල ම මේ රටට බාහිරෙන් ආපු ආක‍්‍රමණිකයෝ කරන්න උත්සාහ කළ දේ තමයි මේ රටේ මුල් විනාශ කරන එක. මුල් විනාශ වුණාට පස්සේ එ් ජාතියට පැවැත්මක් නැතුව යනවා.

එ් ජාතිය නැති වුණාට පසුව එ් ජාතිය මත රැුඳෙන අමා දහමත් ලෝකයට අහිමි වෙලා යනවා. ඉතින් දුර දිග හිතනවා නම් අපි අපේ මුල් රැකගත යුතුයි. අපි එතන නිවැරදි කර ගන්නේ නැතිව ඊට මෙපිටින් කරන හැමදේ ම තාවකාලික විසඳුමක් විතරයි.

සුළු පටු කාරණයක් නො වෙන අන්න එ් අනාගත අනතුර දැකලා, අඩු තරමින් අපේ පෙරදිග තිබුණ වටිනාකම් යළි ඉස්මතු කර දීලා, එ් ගැන අනාගත පරපුර දැනුම්වත් කරන්න තමයි ‘අක් මුල් සොයා’ ආරම්භ කරන්න හිතුවේ.

එ් ඔස්සේ අපි විශේෂයෙන් අපේ කෘෂිකර්මයේ තිබුණ අපට ම අනන්‍ය වෙච්ච පරිසර හිතකාමී වූ, ජන හිතකාමී වූ, සමස්ත සත්ව ප‍්‍රජාවට ම හානියක් නො වන්නා වූ කරුණු කාරණා ගැන බොහෝ දේ කතා කළා.

එ් දැනුම යොදාගෙන මහ පොළව විනාශ නො කර, සතුන් දස දහස් ගණනින් විනාශ නො කර, අපි ආහාරයට ගන්නා බෝගවලට වස විස මිශ‍්‍ර නො කරන කණ්ඩායමක් මේ කාලය තුළ බිහි වුණා. එ්ක සතුටට කරුණක්…

ඊට පෙර මම කැමතියි මාස හතක් පුරාවට අපි කතා කළ කරුණුවල සාරාංශයක් ඔබට මතක් කරන්න. එ් මොකද දන්නව ද? මේ ලිපි පෙළ ඔබ කියවලා විතරක් බැහැර කළොත් ප‍්‍රතිඵල අඩුයි… අපි පුළුවන් තරම් එ් දැනුම භාවිතයට ගන්න ඕනෑ…

01. අප සතුව චිරාත් කාලයක් තිබුණ අපේ පාරම්පරික දේශීය ඥානය සොයා යන්න. එය ගෞරවයෙන් ඇසුරු කරන්න. එය භාවිතයට ගන්න… මතු පරපුරට දායාද කරන්න.
02. සතුන් දහස් ගණනක් විනාශ කරලා, තමනුත් විනාශ වෙලා, පරිසරයත් වනසන වස විස සහිත ගොවිතැනෙන් අත් මිදෙන්න…
03. බටහිරට අත පාන පරගැතියෙක් නො වී අපේ රටට ආවේණික, අපට ගැළපෙන වගා ක‍්‍රම සොයා යන්න. එ්වා භාවිත කරන්න.
04. අපේ රටේ සමාජ සංස්තෘතික රටාව හඳුනාගෙන එයට අනුකූල පරිභෝජන රටාවකට හුරු වෙන්න.
05. සොබා දහමට විරුද්ධව යන්න එපා. එ් සමඟ මිතුරු ජීවන පිළිවෙතක් ඇතිකර ගන්න.
06. තමාගේ අධ්‍යාත්මික ශක්තිය හඳුනාගන්න. එය වර්ධනය කර ගන්න. තමන්ට පමණක් නොව තමන් උපන් රට දැය වෙනුවෙන් යමක් කරන්න හිතට ගන්න.
07. ඔබේ දූ දරුවන්ට අපේ ඉතිහාසයත්, දහම් දැනුමත් කුඩා කාලයේ සිට ම ලබා දෙන්න. එ් තුළින් චිරාත් කාලයක් මේ බිම උතුම් බුදු සුවඳ පැතිරෙන බිමක් කරන්න.

සුරක්ෂිත මතු පරපුරක් උදෙසා කතා කළ යුතු බොහෝ දේ තිබෙනවා. එහෙත් අපි කැමතියි මේ පිළිබඳ ව ඔබේ අදහසත් දැනගන්න… අපට කතා කරන්න. අප සමඟ එකතු වෙන්න. මේ මෙහෙවර ධර්මය සුරකින මතු පරපුරකට මේ රටේ චිරාත් කාලයක් සුවසේ වාසය කිරීමට අවශ්‍ය පසුබිම සකසා තැබීම පිණිස පමණයි…

මහාමේඝ 2016 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ

ඔබේ අදහස් අපට කියන්න. අක්මුල් සොයා යන ගමනට අපිත් එක්ක එකතු වෙන්න.
076 771 76 44
akmulsoya@gmail.com