අතපය හතර ම හොඳින් තිබිය දී, ඇස් කන් නාසා හොඳින් තිබිය දී, ආබාධිත බවින් නිදහස් ව සිටිය දී අප අතින් මෙබිම රෝපණය වූ ගස් ගණන කොපමණක් ද? එ් ගණන කොපමණක් වුවත් ගණනින් කිව හැකි ප‍්‍රමාණයක් ම මිස ඊට වඩා වැඩි ප‍්‍රමාණයක් නම් නෙමෙයි නේ ද…?

එ්ත්… බලන්න මේ කථාව.

මුඩු බිමක් අස්වද්දන්න එකමුතු වුණු මිනිසුන් දෙදෙනෙක් ගැන මේ පුවත වාර්තා වුණේ චීනයෙන්. මුඩු බිම හරිත වර්ණ කරවන්නට මේ දෙදෙනාගේ උත්සාහයෙන් සිටවූ පැළ ප‍්‍රමාණය දසදහසකට අධිකයි. මිලියන බිලියන ගණනින් ගස් සිටුවන ලෝකයේ ගස් දසදහස එ් තරම් ප‍්‍රමාණයක් නො වෙන්නත් පුළුවනි. නමුත් විශේෂත්වය මෙය යි. මේ මිතුරන් දෙදෙනාගෙන් අයෙක් අන්ධයි. අනෙක් කෙනාගේ දෑත ම අහිමියි…! වසර දහයක් පුරා ඔවුන් දෙදෙනා එක්ව කළ රුක් රෝපණයේ ප‍්‍රතිඵලය විස්මයජනකයි. දෑස් පෙනෙන නමුත් දෑත් අහිමි කෙනා දෑත් තිබෙන නමුත් දෑස් නො පෙනෙන සිය මිතුරා ලවා වළවල් කැණ අතු රිකිලි එ්වායේ රෝපණය කරවීම පිණිස වුවමනා මඟ පෙන්වීම සහ උපකාරයන් ලබා දෙනවා. දෑස, දෑත හිමි මිනිසුන්වත් නො කරන මෙවන් කටයුත්තක ඔවුන් නියැළෙන්නේ ලාභ සත්කාර ගරු සම්මාන කිසිවක් ලබමින් හෝ ලැබීමේ බලාපොරොත්තුවෙන් හෝ නො වෙයි. ඔවුන්ගේ ව්‍යායාමය හරිත වර්ණයෙන් බබළන අයුරින් වසර දහයක් ගෙවී යන විටයි අන් අයගේ අවධානය එ් කෙරේ යොමු වූයේ.

ස්වකීය ආබාධිත බව නො තකා ලෝකය සුඛිත මුදිත කිරීමට ජීවිතය නිහඬ ව ම කැප කරන, ලෝකය වචන මාත‍්‍රයකින් හෝ අගයනු නො ලබන මිනිසුන් කී දෙනෙක් ලෝකයේ සිටිනවා විය හැකි ද? අතපය හතර මනා ව පිහිටි මිනිසුන් සිදු කරන නොමනා වැඩ අතරේ මෙසේ ලොවට යහපත දන් දෙන ඔවුන්ගේ ඇති අඩුව කුමක් ද..?