ව්‍යාපාර දියුණුවට මඟ – 01 සටහන

දියුණුව සොයන්නෝ ලෝකයේ විරල නැත. සොයන්නෝ විරල නොවූව ද දියුණු වන්නෝ ලෝකයේ විරල ය. දියුණුව හුදු සෙවීමක ප්‍රතිඵලයක් නොවීම එයට හේතුවයි. එසේ නම් දියුණුව කවරාකාරයේ දේවල ප්‍රතිඵලයක් ද? දියුණුවට හේතුපාදක වන කරුණු සපුරාලිය යුත්තේ කෙසේ ද? හේතු සකසමින් අත්පත් කර ගන්නා දියුණුව දෙලොව ම යහපත සලසන්නක් ලෙසින් ජීවිත කරා පමුණුවාලිය හැක්කේ කෙසේ ද?

එකී අරමුණු මුදුන්පත් කරලීමට අත්වැලක් වනු පිණිස මහාමේඝ පුවත් සඟරාවේ මේ ලිපි පෙළ සම්පාදනය වන්නේ ලොව සියලු සාර්ථකත්වයන් වෙත පරිපූර්ණ මග දෙසූ සම්බුදුරජාණන් වහන්සේ වදහළ ධර්ම පර්යායන් අනුසාරයෙනි. මෙහිලා අප අවධානය යොමු කරන්නේ ව්‍යාපාර දියුණු කිරීම පිළිබඳ ව ය.

*************************************

“දැන වෙළෙඳාම – නොදැන ගොවිතැන” කියා කියමනක් සමාජයේ තිබේ. ගොවිතැන වුව ද දැන මිස නොදැන කළ හැක්කක් නො වී තිබියදීත් මෙවැනි ව්‍යවහාරයක් සමාජගත වන්නට ඇත්තේ වෙළෙඳාම හොඳින් ම දැනගෙන මිස නොකළ යුත්තක් ම නිසා විය යුතු ය. අප සමාජයේ දකිනා ස්වභාවය නම් හැම දෙනාට ම ව්‍යාපාර දියුණුව අත්පත් වන්නේ නැති බව ය.

සමහරු බිස්නස් පටන් ගනිති. සුභ නැකැත්, සුභ මුහුර්ති සලකමින් වැඩ කටයුතු අරඹති. දිවා රැය බලි බිලී පුද දෙමින් නොයෙක් ආකාරයේ නොපෙනෙන ලෝකයන්ගෙන් පවා ව්‍යාපාර සාර්ථකත්වය පිණිස පිහිට අයදිති. යන්ත්‍ර තන්ත්‍ර විද්‍යා ආදියෙන් පවා උපකාර පතති. ව්‍යාපාර දියුණුවේ රහස් යැයි හඳුන්වා දෙන න්‍යායන් සොය සොයා අත්හදා බලති. අතේ ඇති මුදලින් ද සමීපතමයන්ගේ මුදලින් ද ණයට ගත් මුදලින් ද යනාදී වශයෙන් මූලික ප්‍රාග්ධනය සපයා ගනිමින් එසේ කල් යල් ද බලමින් අරඹන ව්‍යාපාරයන් බලා සිටිය දී ම දියුණු වන අවස්ථා තිබේ. හෙමින් සීරුවේ දියුණු වන අවස්ථා ද තිබේ. යාන්තමින් පවත්වාගෙන යන්නට සිදුවන අවස්ථා ද බංකොලොත් භාවයට පත්ව සියලු ව්‍යාපාර සහමුලින් ම විනාශ වන අවස්ථා ද තිබේ. ඇතැම් විට අතිශයින් සාර්ථක අඩියක පවත්නා ව්‍යාපාරවල මුල් හිමිකරුවන්ගෙන් පසු ව්‍යාපාරයට හිමිකම් ලබනා දූ දරු, නෑදෑ පාර්ශවයන් හට නොසිතූ විරූ බංකොලොත් භාවයන්ට මුහුණ දෙන්නට සිදු වූ අවස්ථා ද අපි අසා ඇත්තෙමු. ව්‍යාපාර සම්බන්ධයෙන් මේ සා වෙනස්කම් එකිනෙකා කෙරෙහි බලපවත්වන්නේ ඇයි?

එයට හේතුසාධක සමාජය විසින් දක්වනා අයුරින් අපිදු මෙහි දක්වන්නෙමු.

– ව්‍යාපාර පිළිබඳ දැනුම මදිකම
– අවිධිමත් භාවය
– අසාර්ථක කළමනාකරණ විධි
– අවාසනාව
– ඊර්ෂ්‍යාකාරයන් විසින් සිදු කරනු ලබන අකුල් හෙළීම්, අණවින ආදිය
– භූමි දෝෂ

මේ ආදී වශයෙන් ව්‍යාපාරවල අසාර්ථකත්වයන්ගේ හේතුසාධක අර්ථ දක්වන අවස්ථා අපට දකින්නට හැකි ය. ඒ ඒ කාරණා සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් යම් යම් බලපෑම් සිදු වන බව ද සැබෑවකි. ඒ සියල්ල ම පරයා ජීවිතයේ කවර කරුණක හෝ නිරායාසයෙන් ම පාහේ ලැබෙනා සාර්ථකත්වය කෙරෙහි බලපවත්වන්නේ පූර්ව කර්ම ශක්තීන් ය. ව්‍යාපාර දියුණුවට ද පූර්ව කර්ම ශක්තීන්ගේ නිසැක තීරණාත්මක බලපෑමක් තිබේ. ජීවිතයේ අත්පත් කර ගන්නා සියලු සාර්ථකත්වයන් කෙරෙහි පෙර කළ පින් ඇති බව ප්‍රබල ව බලපවත්වන්නේ ය යන්න සම්බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද්දකි.

“දෙව් මිනිසුන්ට තමන් කැමති හැම සම්පතක් ම දෙන්නේ මේ පුණ්‍ය නිධානයෙන් තමයි. යමෙක් යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ සියල්ල ම මේ පුණ්‍ය නිධානයෙන් ලබා ගන්න පුළුවනි.

ලස්සන රූපයක් ලැබෙන්නත්, මිහිරි ස්වරයක් ලැබෙන්නත්, මනා අඟ පසඟකින් යුතු සුන්දර සිරුරක් ලැබෙන්නත්, ඉහළ සමාජ තත්ත්වයක් ඇතුව පිරිවර සම්පත් ලැබෙන්නත් මේ පුණ්‍ය නිධානය හේතු වෙනවා.

ප්‍රාදේශීය රජකම් ලැබෙන්නත්, සැප සම්පත් ලැබෙන්නත්, ප්‍රියමනාප වූ සක්විති සැප ලැබෙන්නත්, දෙව්ලොව දිව්‍ය සම්පත් ලැබෙන්නත්, මේ හැමදේකට ම මේ පුණ්‍ය නිධානය හේතු වෙනවා.

මිනිස් ලොව සැපත්, දිව්‍ය ලෝක සැපත්, තව සැප සම්පත් ඇත්නම් ඒවාත්, ඒ අමා නිවන් සුවයත් යන මේ හැමදෙයක් ම (දාන සීල භාවනා තුළින් ලබා ගන්නා) පුණ්‍ය නිධානයෙන් ලබා ගන්න පුළුවනි.”

(නිධිකණ්ඩ සූත්‍රය – ඛු. නි. 1)

මේ ආකාරයට සියලු සැප උපදවාලන පුණ්‍ය නිධානය රැස් කරන ආකාරයත් මේ උතුම් බුද්ධ දේශනාව තුළ පළමුකොට පෙන්වා දී තිබේ.

“යම් කිසි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා දන් දෙනවා නම්, සිල් රකිනවා නම්, සිත දමනය කරගෙන භාවනාවේ යෙදෙනවා නම්, අන්න ඒක තමයි ඉතා හොඳින් තැන්පත් කරපු නිධානය වෙන්නේ.

දාගැබ් වහන්සේලාටත්, ගුණවත් සංඝයාටත්, ආගන්තුකයින්ටත්, යම් පුද්ගලයෙකුටත්, මව්පියන්ටත්, වැඩිමහලු සහෝදර සහෝදරියන්ටත් දන් දීම්, ගෞරව දැක්වීම් ආදිය කරනවා නම්, මනා කොට තැන්පත් කරපු මෙම නිධානය කාටවත් සොරකම් කරන්න බෑ.

පරලොව යද්දී තමාගේ පස්සෙන් ම එනවා. ඔක්කොම අත්හැරලා පරලොව යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිධානය තමයි අරගෙන යන්න තියෙන්නේ.”

(නිධිකණ්ඩ සූත්‍රය – ඛු. නි. 1)

එසේ නම් අප පළමුකොට පැහැදිලි ව තේරුම් ගත යුත්තක් තිබේ. එනම්, අපට ජීවිතයේ පැමිණෙන සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කෙරෙහි පෙර අප විසින් කළ කී සහ සිතූ දෑවල ප්‍රබල බලපෑමක් අති බවයි. මේ කාරණය හොඳින් සිහියේ ද විශ්වාසයේ ද තබා ගත් විට ලාභ අලාභ හමුවේ මැදහත් ව කටයුතු කරන්නට ද පසුබිම සැකසේ. එසේ ම මේ ජීවිතයේ දී ම විපාක සලසාලන දාන සීල භාවනාදී පින්කම් ජීවිතයේ දියුණු පමුණු කරලමින් සාර්ථකත්වය පිණිස වූ පදනම ශක්තිමත් කරලන්නට ද අපට අවස්ථාව හිමි වේ. එනිසා සියල්ලෝ මේ න්‍යාය සිහි තබා ගනිත්වා! මෙය පළමු පාඩම යි…!

වපුරන හැටියට අපට අස්වැන්න හිමි වේ. අස්වැන්න සරු වන ආකාරයට වැපිරිය යුත්තේ මොනවා ද සහ අස්වැන්න විපුල වන ආකාරයට වැපිරීම කළ යුත්තේ කෙසේ ද යන්න මහා කාරුණික වූ සම්බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කොට තිබේ. කළ යුත්තේ එකරුණු මැනැවින් දරා ගනිමින් බිම මැනැවින් සකසා මැනැවින් ම වැපිරීම යි.

බිම සැකසිය යුත්තේ මෙසේ ය. මේ දුරුතු පුන් පොහෝ දිනයේ අප සටහන තබන්නේ ඉන් පළමු ආකාරය පිළිබඳ ව ය.

දන් දීම කළ යුතු ය. බැහැර කරන දෙයක් නොව හොඳ දෙයක් ම, මැනැවින් සකසා, ගෞරවයෙන් යුතු ව, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුතු ය සියතින් ම දන් දිය යුතු ය. ඒ සත්පුරුෂ දානයකි. කාලය බලමින්, අවශ්‍යතාවයන් බලමින් දන් දිය යුතු ය. ඒ කාල දානයකි. ගොඩක් තිබෙන විට දන් දිය යුතු ය, ටිකක් තිබුණ ද දන් දිය යුතු ය. එය මහත් ඵල වන දානයකි. මසුරු මල අත්හරින සිතින් දන් දිය යුතු ය. පිරිස දානයෙහි සමාදන් කරවමින් දන් දිය යුතු ය. මෙලෙස දන් දෙන්නෝ බොහෝ ජනයාට ප්‍රිය වෙති. භවභෝග සම්පතින් වැඩී යති. යසසින් වැඩී යති. කල්‍යාණ කීර්ති රාවයෙන් වැඩී යති. සත්පුරුෂ ඇසුරට පත් වෙති. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන් හා අධිපති බවින් අනෙකුන් අභිබවා යති. ඒ මෙලොව දී ම වුව සැලසෙන විපාකයන් ය. පරලොව ද වඳ නොවන විපාකයන් ය. එසේ ම දන් දෙන්නෝ මරණින් මතු සුගතිය ද දිනති.

දන් දීමෙහි ලා මෙලොව දී ම සැලසෙන විපාකයන් ව්‍යාපාරයක දී සුභ ආයෝජනයකි. මෙය දෙවන පාඩම යි…!

‘උගත් පාඩම් සිහි තබා ගන්නෝ දියුණුවට පත් වෙති’ යන කරුණ අවසන සටහන් කරනු කැමැත්තෙමි.

තෙරුවන් සරණයි!

“නොසිතූ විරූ දියුණුවක් ලබන ව්‍යාපාරයකට පදනම හදමු…!” ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

සටහන – සරත් එන් හේවාවිස්ස 

බංකොලොත් නොවී බිස්නස් කරමු – 02 සටහන
කියවීම පිණිස පිවිසෙන්න >>