භාග්‍යවත් වූ අර්හත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරන ලද නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් උපන්නා වූ, අප භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ, ෂඩ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ම මින් වසර දෙදහස් තුන්සිය විසිහයකට පෙර, පොසොන් පුන් පොහෝ දිනෙක, මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට වදාළ සේක.

රන් බඳුනක බහාලූ සිංහ තෙලක් සෙයින් අපගේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් සිය නිකෙලෙස් හද මඬල නමැති සොඳුරු රන් බඳුනෙහි තථාගත ශ්‍රී සද්ධර්මය නමැති විස්මිත සිංහ තෙල බහාගෙන මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩි සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඒ පොසොන් පොහෝ දිනයේ ම එකල අපගේ මහරජුව සිටි දෙවනපෑතිස් නිරිඳාණන් උතුම් තිසරණ සහිත වූ පංචසීලයෙහි පිහිටුවා මේ ගෞතම බුදු සසුනෙහි ශ්‍රාවක උපාසක භාවය අප රජතුමාට ලබාදුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම කොට නොබෝ කලකින් එකල ගෞතම බුදු සසුන බබළන දඹදිව් තලය සෙයින් ෂඞ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී සිංහල මහරහතන් වහන්සේලාගෙන් අපගේ ශ්‍රී ලංකාද්වීපය ද බැබළී ගියේය.

පවිත්‍ර වූ සීලයෙන් සුශෝභිත වූ, සම්මා සමාධියෙන් සුපහන් වූ, නිමල ප්‍රඥාවෙන් ප්‍රභාෂ්වර වූ, මගඵලලාභී උත්තම ශ්‍රාවක සංඝ රත්නයෙන් අපගේ ශ්‍රී ලංකාද්වීපය ද බැබළී ගියේය.

තවද ඉතා සිල්වත් වූ ගුණවත් වූ මනා නුවණින් යුක්ත වූ මහා ත්‍යාගී වූ බුද්ධ සාසනමාමක වූ මගඵලලාභී සුපින්වත් උපාසක උපාසිකාවන්ගෙන් ද අපගේ ලංකාද්වීපය බැබළී ගියේය.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට පෙර යක්ෂාවාසයක් වූ ශ්‍රී ලංකාද්වීපය ගෞතම බුදුසසුනෙහි පිහිට සොයා පැමිණි දෙව් බඹුන්ගෙන් සුන්දර වී ගියේය.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුකම්පා උපදවා සිය සොහොයුරියව සිටි සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණී සංඝයා වැඩම කරවා ලංකාවාසී කුලකාන්තාවන්ට ද මේ ගෞතම බුදුසසුනෙහි උතුම් භික්ෂුණී පැවිදි උපසම්පදාව පවා ලබාදුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ උතුම් ගෞතම බුදු සසුන චිරාත් කාලයක් ලෝකයෙහි පවතිනු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද උතුම් ධර්ම විනය සංඛ්‍යාත ත්‍රිපිටක බුද්ධ වචනය සිංහල භික්ෂූන් වහන්සේලා හට කටපාඩම් කරවා එහි අර්ථකථාවන් දීප භාෂාවෙන් උගන්වා උතුම් සසුන් මග නොසිඳී පවත්වනු පිණිස භාණක පරම්පරාවන්ට භාරකොට ශ්‍රී ගෞතම සම්බුදු සසුන සුරැකීමේ මහා සසුන් බර සිංහල භික්ෂූන් වහන්සේලා හට උරුම කොට වදාළ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අප භාග්‍යවතුන් වහන්සේගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ දඹදිව් තලයෙන් මේ සිරිලක් බිමට වඩමවා ගෙන අවුත් අනුරාධපුරයෙහි රෝපණය කරවා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාද රැකවරණය අප මව්බිමට ලබාදුන් සේක. එමෙන්ම ලංකාවාසීන් හට උතුම් බෝධි වන්දනාව තුළින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නට ද අවස්ථාව සලසා දුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා තව්තිසාවේ සිළුමිණි සෑයෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේගේ අකු ධාතූන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ ලවා මෙහි වැඩම කරවා ථූපාරාම සෑ රජුන් තුළ නිධන් කරවා ලංකාවාසීන් හට උතුම් සර්වඥ ධාතු වන්දනාවත් ස්ථූප වන්දනාවත් උගන්වා බොහෝ පින් රැස්කර ගැනීමට මග සලසා දුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අප කවුරුත් නොදැන සිටි භාග්‍යවතුන් වහන්සේගේ ලංකාගමනය ද වදාළ සේක. අප භාග්‍යවතුන් වහන්සේගේ පළමු ලංකාගමනය වන මහියංගණයට වැඩම කිරීම ගැන ද දෙවනුව නාගදීපයට වැඩම කිරීම ගැන ද තුන්වෙනුව කැළණියට වැඩම කළ ගමනේදී සමනොළ කඳු මුදුනට වැඩම කොට උතුම් ශ්‍රීපාද ලාංඡනය පිහිටුවීම ගැන ද ලංකාද්වීපයෙහි ස්ථූප තැනවෙන ඒ ඒ තන්හි භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නිරෝධ සමාපත්තියෙන් වැඩහිඳ ලංකාද්වීපය ආශීර්වාද ආරක්ෂා කොට වදාළ කරුණ ද අපට පහදා දුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේගේ අතීත වැඩමවීම පමණක් නොව මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන පෙර සම්බුදුරජාණන් වහන්සේලා ද මේ ශ්‍රී ලංකාවෙහි සිය බුද්ධ ශාසන පිහිටුවා වදාළ කරුණ ගැන ද අපට වදාළ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අනුරාධපුරයෙහි මහමෙව්නා වනෝද්‍යානයේ මහා විහාරය පිහිටුවා භික්ෂු සංඝයාගේ සීමා මාලකය පිහිටන තැන ද සංඝයාගේ ගිනිහල්ගේ පොකුණ පිහිටන තැන ද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන තැන ද සංඝයාගේ මහා උපෝසථාගාරය පිහිටන තැන ද සංඝ ලාභය බෙදන තැන ද සිව්දිසාවෙන් දන්පැන් ගෙනවුත් සංඝයාට බෙදන තැන වූ චතුශ්ශාලාව පිහිටන තැන ද රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේ පිහිටන තැන ද සලකුණු කරවා අනුරාධපුරයේ මහා සීමාව ලකුණු කොට පිහිටුවා ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය මැනැවින් ස්ථාපිත කළ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ තිස් දෙහැවිරිදි වියෙහිදී ලංකාද්වීපයට වැඩම කොට වදාළ සේක. අසූවැනි වියෙහිදී පිරිනිවන් පානා මොහොත දක්වා ලංකාද්වීපයෙහි ම වැඩවාසය කරමින් අප කෙරෙහි අනුකම්පා උපදවා උතුම් ත්‍රිපිටක බුද්ධ වචනය අකුරෙන් අකුර වචනයෙන් වචනය පදයෙන් පදය ඡේදයෙන් ඡේදය නිවැරදිව උගන්වා නවාංග ශාස්තෘ ශාසනයෙන් සමලංකෘත වූ පර්යාප්ති බුද්ධ ශාසනය ලංකාද්වීපයේ බැබළවූ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා සිංහල භික්ෂු සංඝයා වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් ද ඉන්ද්‍රිය සංවර සීලයෙන් ද ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලයෙන් ද ආජීව පාරිශුද්ධි සීලයෙන් ද සුසිල්වත් කරවා ධුතාංග සමාදන් කොට ප්‍රතිපත්ති සාරයෙහි පිහිටුවා, අරියවංශ ප්‍රතිපදාවෙහි පිහිටුවා, සමථ විදර්ශනා මාර්ග ප්‍රතිපදාවෙහි පිහිටුවා උතුම් ප්‍රතිපත්ති බුද්ධ ශාසනය ද ලංකාද්වීපයෙහි බැබළවූ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම විනය තුළ ම ලංකාවාසී භික්ෂූන් වහන්සේව මනාකොට පිහිටුවීමෙන් ඒ ධර්මයෙහි හැසිරීමේ ඵල වශයෙන් සෝවාන් මාර්ග-ඵල, සකදාගාමී මාර්ග-ඵල, අනාගාමී මාර්ග-ඵල, අර්හත් මාර්ග-ඵල යන උතුම් ශ්‍රමණ ඵලයන් ලබාදී ප්‍රතිවේධ බුද්ධ ශාසනය ද ලංකාද්වීපයෙහි බැබළවූ සේක.

මෙසේ ශ්‍රී ලංකාද්වීපවාසී සිංහලයන්ව ගෞතම බුදු සසුනෙහි මනාකොට පහදවාලූ ඒ ගෞතම බුදු සසුනෙහි උතුම් පිළිසරණ පරිපූර්ණ වශයෙන් ලබාදුන්නා වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ඒකාන්තයෙන් ම සිංහල ජාතියෙහි පිනට පහළ වූ අපගේ ප්‍රථම ආචාර්යපාදයන් වහන්සේ වන සේක. ඒකාන්තයෙන් ම සිංහල ජාතිය සුවපත් කළ මහා උපාධ්‍යායන් වහන්සේ වන සේක. සිංහල ජාතියට ශාස්තෘන් වහන්සේ නමක් බඳුව ශාසන දායාදය ලබාදුන් හෙයින් ඒකාන්තයෙන් ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු වන සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපය බැබළවූ හිරු මඬල වන සේක. යක්ෂ අන්ධකාරය දුරුකළ පුන් සඳ මඬල වන සේක. සිංහල ජාතිය ලොවෙහි ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්කළ මහා ගුණවතාණන් වන සේක. සිංහල ජාතියට අභිමානය ලබාදුන්, ධෛර්යය ලබාදුන්, වීරිය ලබාදුන්, සීලය ලබාදුන්, ගුණය ලබාදුන්, සියලු සසුන් දායාද ලබාදුන් මහා කළ්‍යාණමිත්‍රයන් වහන්සේ වන සේක.

ඒකාන්තයෙන් ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වීතරාගී වූ සේක. වීතදෝෂී වූ සේක. වීතමෝහී වූ සේක. ගෞතම බුදු සසුනෙහි වැඩහුන් උතුම් මහරහතන් වහන්සේ නමක් ම වන සේක.

ඒ අපගේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා!

මිහිඳු පුර අටවක උපහාර පූජා

මෙසේ මේ ශ්‍රී ලංකාද්වීපය දහම් කිරණින් එකළු කළ හිරු මඬල වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අසූවැනි වියේදී වප් මස පුර අටවක දා පිරිනිවන් පා වදාළ සේක. එනිසා වප් මස පුර අටවක ‘ශ්‍රී මිහිඳු පුර අටවක’ ලෙස දෙව් මිනිසුන් අතර ප්‍රචලිත විය. අතීත රජදරුවෝ මිහිඳු පුර අටවක දා අපගේ මහරහතන් වහන්සේගේ අපමණ ගුණ සිහිකොට නොයෙක් පූජෝපහාර, පෙරහැර, සංඝගත දක්ෂිණා, දම් දෙසුම්, පිරිත් සජ්ඣායනා, ශ්‍රී මිහිඳු ධාතු පූජෝපහාර සිදු කළහ. කිත්සිරි මේඝවණ්ණ රජ දවස රනින් කළ ශ්‍රී මිහිඳු ප්‍රතිමාවක් මිහින්තලාවේ සිට මහා විහාරයට මහත් හරසරින් වඩමවා පෙරහැර කරන ලද්දේ මිහිඳු පුර අටවක මුල් කරගෙන ය. මෙය වසර තුන්සියයක් පමණ නොකඩවා සිදු විය. කෙමෙන් ලොව කෙළෙහි ගුණයෙන් ඈත් වූයේ මිහිඳු පුර අටවක ද අමතක විය. උපහාර පූජා ගැන කවර කතා ද? එනමුත් අප අවාසනාවන්ත නැත. මෙවර මිහිඳු පුර අටවක (ඔක්තෝබර් 05 දින) රැය පහන් වන තුරු අනේක උපහාර මැද ශ්‍රීමත් මිහිඳු මහරහත් උපහාර පූජාව, රාජ්‍යානුග්‍රහයෙන් මිහින්තලාවේදී සිදුකිරීමට නියමිත ය. වසර දහස් ගණනකට පසු සිදුවන අසිරිමත් පිංකමට කෙළෙහි ගුණ සිහිකොට පැමිණෙන්නට නම් සසරේ පිං තිබිය යුතු ම ය.