රට – දැය – සමයට මහෝපකාරී වන ශ්‍රේෂ්ඨ ගණයේ උතුමන් පහළ වන්නේ ඉතාමත් කලාතුරකින් නිසා එබඳු උතුමන් හඳුන්වන්නේ යුග පුරුෂයන් කියා ය. 19 වන සියවසේ මැද භාගයේ දී එබඳු ශ්‍රේෂ්ඨ ගණයේ යුග පුරුෂයෙකු පුරාකෘත පුණ්‍ය මහිමයෙන් ලක්දිව පහළ වූ අතර ඒ අන් කිසිවෙක් නොව ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ය.

පින්වන්ත මා – පිය යුවළක් ලබා…

දකුණුලක මාතර සිට කොළඹට පැමිණ ගෘහභාණ්ඩ සම්පාදනයෙන් මහ ධනවතෙකු ද බෞද්ධ ප්‍රභූවරයෙකු ද වූ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා එතුමන්ගේ පියා ය. සැදැහැවත් පරිත්‍යාගශීලි උපාසිකාවක් වූ මල්ලිකා හේවාවිතාරණ මෑණියන්ගේ කුසින් 1864 සැප්තැම්බර් මස 17 දින උපන් ධර්මපාලතුමාට දොන් ඬේවිඞ් හේවාවිතාරණ ලෙස නම් තැබිණි. මේ සම්භාවනීය බෞද්ධ ප්‍රභූ කුටුම්බියේ අනුශාසකයන් වූයේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා ධර්ම – ශාස්ත්‍රීය ආලෝකය යළි පැතිර වූ පණ්ඩිත ශිරෝමණී හික්කඩුවේ සුමංගල ශ්‍රී පාදස්ථානාධිපති නාහිමිපාණෝ ය. උන්වහන්සේගේ දූරදර්ශී බුද්ධිමත් අවවාද අනුශාසනා ද සිය ආදර්ශවත් මාපිය යුවළගේ මග පෙන්වීම ද ළමා වියේ ධර්මපාලතුමා ලද ශ්‍රේෂ්ඨ දායාද විය.

වාසනාවන් කලණ මිතුරු ඇසුර…

එවකට තිබූ සමාජ පසුබිම තුළ ක්‍රිස්තියානි පාසල්වල අධ්‍යාපනය ලැබීමට දොන් ඬේවිඞ් දරුවාට ද සිදු විය. එනමුත් විද්‍යෝදය පිරිවෙනේ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයන් වහන්සේලා ඇසුරින් සිංහල – පාලි – සංස්කෘත භාෂාවන් ද ත්‍රිපිටක ධර්මය ද මැනවින් හදාරන්නට අවස්ථාව සැලසුණි. පසුකාලීන ව සිංහල දේශයත්, සම්බුද්ධ ශාසනයත් උදෙසා ඒ සා මහත් විශිෂ්ට සේවාවක් ඉටු කරන්නට ගුරු – හරුකම් ලැබුණේ ඒ තුළිනි. නිරන්තරයෙන් ම පොතපත කියවීමට දැඩි රුචිකත්වයක් දැක්වූ ඬේවිඞ් හෙවත් ධර්මපාලතුමා ඒ නිසා ම ඉංග්‍රීසි – දෙමළ – හින්දි භාෂාවන් ද ප්‍රගුණ කර ගත්තේ ය.

හෙළ බොදුනුවන් පුබුදු කළ බොදු පුනරුදය…

ධර්මපාලතුමා උපත ලබන වකවානුව වන විට ඉංග්‍රීසීන් විසින් 1815 දී ලක්දිව සපුරා යටත් කරගෙන වසර 50කට ආසන්න ය. පෘතුගීසි – ලන්දේසි – ඉංග්‍රීසි යන යටත්විජිතවාදීන්ගේ බලපෑමට වසර සිය ගණනක් නතු වීම හේතුවෙන් දේශපාලනික, ආගමික, ආර්ථික, සාමාජයීය, සදාචාර යන සෑම අංශයකින් ම සිංහලයන් මේ අවධියේ පරිහානියට පත්ව සිටියහ.

එසේ නමුදු ශ්‍රී සද්ධර්මයෙහි අකාලික සත්‍යතාවය ප්‍රකට කරමින් බුදු දහමේ යශෝකීර්තිය දසත පතුරුවමින් හෙළ – බොදුනුවන් විසින් විජයග්‍රහණය කළ සුප්‍රකට පානදුරාවාදය සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මෙරටට කැඳවන්නට සමත් විය. ඇමරිකන් ජාතික ඕල්කට්තුමාත්, රුසියන් ජාතික බ්ලැවැට්ස්කි මැතිණියත් ගාල්ල විජයානන්ද පිරිවෙනේ දී තිසරණ සරණගත උපාසක – උපාසිකාවන් වීමෙන් අනතුරුව ඇරඹි බෞද්ධ පුනරුද ව්‍යාපාරය ඬේවිඞ් හේවාවිතාරණයන්ගේ දිවියෙහි ද හැරවුම් ලක්‍ෂයක් ඇති කළේ ය. සෙන්පති ඕල්කට්තුමා පරම විඥානාර්ථ සමාගම පිහිටුවා ‘සරසවි සඳරැස’ පුවත්පත ද අරඹා බෞද්ධ ප්‍රබෝධය උදෙසා ගත් වෑයම තරුණ හේවාවිතාරණයන් තුළ පැවති ජාත්‍යාලයට ද දේශානුරාගයට ද ආගමාලයට ද නව ජීවයක් ගෙන දුනි. එම යටත්විජිත යුගයේ ලාංකිකයෙකුට ලද හැකි උසස් ම තනතුරක් වූ අධ්‍යාපන දෙපාර්තමේන්තු ලිපිකරු තනතුරෙන් ද අස් වූ හෙතෙම 1836 දී පරම විඥානාර්ථ සමාගමට බැඳුණි. එම සමාගමේ බෞද්ධ අංශයේ ප්‍රධාන ලේකම් ලෙසත්, සරසවි සඳරැස පුවත්පතේ හා බෞද්ධ යන්ත්‍රාලයේ කළමණාකරු හැටියටත්, බෞද්ධ පාඨශාලාවල කළමණාකරු හැටියටත්, බෞද්ධාරක්‍ෂක සභාවේ සහකාර ලේකම් හැටියටත් අප්‍රතිහත ධෛර්යයෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් අනුපමේය සේවාවක් සිදු කළේ ය.

අනගාරික ව රට – දැය සමයට දිවි පුදයි..

විසි එක්වෙනි වියේ දී හෙවත් 1885 දී ගෘහස්ථ ජීවිතය, සිය පරාර්ථකාමී ජාති හිතෛශී ශාසනික ප්‍රබෝධී අභිමතාර්ථයන්ට බාධාවක් බැවින්, මාපිය ආශීර්වාදය ඇතිව අනගාරික දිවියට පිවිස පාරිශුද්ධ බ්‍රහ්මචාරී දිවියක් ඇරඹීය. එතැන් පටන් ඬේවිඞ් යන පාරභාෂික බයිබල් නාමය අතැර ‘ධර්මපාල’ නම් ආර්ය නාමය භාවිත කරමින් අනගාරික ධර්මපාල නමින් කීර්ති ගුණ ඝෝෂාව දසත විහිදුවීය.

ලක්දිවින් බිහි වූ අති දක්‍ෂ කථිකයා..

මේ අවධියේ ධර්මපාලතුමන් කළ ප්‍රමුඛ කාර්යයක් වූයේ ඕල්කට්තුමා සමඟ ලක්දිව පුරා ගමන් කරමින් එතුමාගේ ව්‍යක්ත කථා සිංහලයට පරිවර්තනය කිරීම යි. එම දේශනාවන් මෙන් ම, ගම් නියම් ගම් සිසාරා සිදු කළ සංචාරයේ දී අත්දුටු සිංහල බෞද්ධ ජනයාගේ අසරණ, ශෝකී, පරාධීන ස්වභාවය ධර්මපාලතුමාගේ හද කම්පා කළේය. එමෙන් ම සිය හදෙහි ඇවිළෙමින් තිබූ දේශාභිමානී, ශාසනකාමී, අවංක හැඟීම් නව ජවයකින් පුබුදුවන්නට ද එකී අත්දැකීම් සමත් විය. සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රට – දැය – සමය මුදවාගෙන ජාතිය ප්‍රකෘතිමත් කිරීමේ පරම අදිටන ධර්මපාලතුමාගේ චිත්ත සන්තානයේ මුල් බැස ගත්තේ එකල ය.

ජපන් රටට ගිය ධර්ම දූතයෝ…

ජපන් බෞද්ධයන්ගේ ගෞරවණීය ඇරයුම පිට විශේෂ ධර්මදූත ගමනක් ලෙසින් ඕල්කට්තුමා සහ අනගාරික ධර්මපාලතුමා 1889 දී ජපන් රටට ගියහ. එහි දී මිෂනාරී දුර්මත විදාරණය කරමින්, මිෂනාරී බලමුළු දෙදරවමින් දේශනාවන් පැවැත්වූ ඔවුහු ජපානයේ විශිෂ්ට බෞද්ධ පුනරුදයක් ඇති කළහ.

එකල පරම විඥානාර්ථ සමාගම මගින්, බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම පිණිස සිදු කෙරුණු මහත් කාර්යභාරයෙන් වැදගත් කොටසක් ඉටු කෙරුණේ ධර්මපාලතුමන් අතිනි. විශේෂයෙන් ම කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද, පන්නිපිටිය ධර්මපාල වැනි ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාඨශාලා ලක්දිව පුරා පිහිටුවීමෙහිලා ධර්මපාලතුමාගෙන් ඉටු වූයේ පුරෝගාමී මෙහෙවරකි.

දඹදිව සම්බුද්ධ පුණ්‍ය භූමි යළි පුබුදුවයි…

අනගාරික ධර්මපාලතුමන් ශාසනික වශයෙන් කළ උදාර සේවාවෙන් වැඩි ඉඩක් වෙන් කෙරුනේ දඹදිව සම්බුද්ධ භූමීන් සුරක්‍ෂිත කරලීම පිණිස ය. 1890 දෙසැම්බර් 05 වන දින බුද්ධගයා මහ බෝමැඬ වන්දනා කරන්නට ගිය එතුමා තථාගත වජිරාසනය අභියස නළල තබා වැඳ බුද්ධගයා බෞද්ධ උරුමය සුරැකීම පිණිස දිවිහිමියෙන් කැප වීමට ස්ථිරසාර අධිෂ්ඨානයක් ඇති කර ගත්තේය. එකල බුද්ධගයාවට දානව රාක්‍ෂසයන් සේ අරක්ගෙන සිටි මහන්තාගෙන් එම ශුද්ධ භූමිය මුදාගෙන, බොදුනුවන්ගේ අයිතියට ලබා ගැනීමට, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එතුමන් සිදු කළේ දුෂ්කර, දැවැන්ත සටනකි. ඒ පිණිස බුරුම ප්‍රභූන්ගෙන් ද සහාය ලබා ගත් ධර්මපාලතුමා ඉක්බිති මෙරටට පැමිණ “සිංහලයිනි නැගිටිව්! බුද්ධගයාව බේරා ගනිව්!” යන අභීත නාදය නගමින් ගම් දනව් පුරා සැරිසරමින් හෙළ බොදුනුවන් අවදි කරවීය. එම ශ්‍රේෂ්ඨ ප්‍රයත්නය සඵල කර ගනු පිණිස, 1891 මැයි 31 වනදා, විද්‍යෝදය පිරිවෙනේදී අති ගෞරවාර්හ හික්කඩුවේ සුමංගල නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ‘මහාබෝධි සමාගම’ ඇරඹීය. ඕල්කට්තුමා විසින් දළදා වහන්සේට අපහාස වචන ප්‍රකාශ කිරීමක් මූලික කරගෙන, පරම විඥානවාදීන් කෙරෙහි කලකිරුණු ධර්මපාලතුමා ඔවුන්ගෙන් වෙන් වූයේ ද මේ සමයේ දී ය.

සම්බුදු දහමේ ගුණ සුවඳ අපරදිගට විහිදුවයි…

අනගාරික ධර්මපාතුමාගේ ව්‍යක්ත කථිකත්වයත්, ගැඹුරු ධර්ම ඥානයත් නිසා සම්බුදු දහමේ ගුණ කඳ ජාත්‍යන්තරයට විහිදී ගියේ 1893 සැප්තැම්බර් මාසයේ දී දෘෂ්ටි සම්මේලනයේ දී කළ විශිෂ්ට දේශනයෙනි.

එවකට විසිනව හැවිරිදි වියෙහි පසු වූ ධර්මපාලතුමා සම්බුද්ධ චරිතය ද චතුරාර්ය සත්‍යය ද පාදක කරගෙන එහි දී කළ මධුරතර චතුර දේශනය ලෝක විද්වතුන්ගේ ගෞරවණීය සුවිශේෂී අවධානය බුදු දහම කෙරෙහි ඇදබැඳ ගැනීමට සමත් විය.

සම්බුද්ධ භූමියට කළගුණ පුදයි…

බුද්ධගයාවෙහි පමණක් නොව සමස්ත දඹදිව ම සම්බුද්ධාලෝකය පතුරුවා හැරීමෙහි නියුක්ත වූ ධර්මපාල ශ්‍රීමතාණන් බරණැස ඉසිපතනයේ මූලගන්ධ කුටි විහාරය ද කල්කටාවේ ධර්මරාජික විහාරය ද ඉදිකරවා බුදු සසුනට පිදීය. තව ද බුද්ධගයාවේත්, මදුරාසියේත් බෞද්ධ විශ්‍රාම ශාලා ද ගොඩ නැගුවේ ය. එමෙන් ම දිල්ලිය, බොම්බාය, සාංචිය, ලක්නව් ආදී නගරවල ද මහාබෝධි මධ්‍යස්ථාන පිහිටවූ අතර එමගින් දඹදිව වන්දනාවේ යෙදෙන ලෝවාසී බෞද්ධයන්ට උදාවන්නේ මහත් සැනසිල්ලකි. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ සදහම් සන්දේශය පතුරුවා හැරීම පිණිස ධර්මදූතයන් ලෙස සාමණේරයන් වහන්සේලා පුහුණු කිරීම ද එංගලන්තයේ ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානය ඇරඹීම ද එතුමාගේ සුවිශේෂී ශාසනික කර්තව්‍යයන් ය.

සිංහල ජාතියට පහළ වූ ඉසිවරයා…

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් සිංහල ජාතිය උදෙසා සිදු කළ මහානීය මෙහෙය නම් අධිරාජ්‍යගැති පරාධීන චින්තනයෙන් මුදවා, සිංහල ජාතියට සිය ප්‍රෞඪ ඉතිහාසයත්, අභිමානවත් හෙළ පරපුරේ යශෝරාවයත් සිහි කර දී අදීන ජාතියක් බිහි කිරීමට කළ දැවැන්ත ආකල්පමය පරිවර්තනය යි. මෙම චින්තන විප්ලවය උදෙසා එතුමන් යොදා ගත් සාධනීය ප්‍රබල ප්‍රවේශයක් වූයේ 1908 මැයි මස ආරම්භ කළ ‘සිංහල බෞද්ධයා’ සතිපතා පුවත්පත යි. එහි ප්‍රධාන කර්තෘ පදවිය හොබවමින් සිංහල බෞද්ධයාගේ භෞතික ආධ්‍යාත්මික සමෘද්ධිමත් බව පිණිස ද මෙලොව පරලොව යහපත පිණිස ද අනර්ඝ උපදේශන මාලාවක් සැපයුවේය.

ජාතිය, ශාසනය, සදාචාරය, ආර්ථිකය ආදී සියලු ම වැදගත් ක්ෂේත්‍රයන් සංවර්ධනය කොට සුරක්‍ෂිත කළ යුතු ආකාරය පිළිබඳ විශිෂ්ට දැක්මක් ධර්මපාලතුමා එළි දැක්වූයේ සිංහල – බෞද්ධයා පුවත්පතේ ‘දැනගත යුතු කරුණු’ විශේෂාංගය තුළින් ය. එමෙන් ම ඉතා හරවත් වූ එම න්‍යායන් හැකි උපරිම අයුරින් සමාජගත කිරීමට ද ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට ද අඩ සියවසක් පුරා එතුමා ඇපකැප විය.

දේශය අවදි කළ කාහල නාදය…

ජාතිය නගා සිටුවීමේ යුග මෙහෙවරේ දී ධර්මපාලතුමා භාවිත කළ අනෙක් සාධනීය ක්‍රමවේදය වූයේ ලක්දිව ගම් දනව් සිසාරා සැරිසරමින් කාහල නාදයක් බඳු සිය දේශනා චතුරත්වයෙන් සැම සිත් වසඟ කරමින් අනුශාසනා කිරීම යි. 1912 දී ඇරඹි පරාර්ථකාමී මේ සත්කාර්යය සඳහා ‘ශෝභන මාලිගාව’ නම් විශේෂිත රථය යොදා ගැනුණි. යහපත කැමති දයාබර පියෙකු සිය දරුවන්ගේ නොපනත්කම් දැක තරවටු කරන්නා සේ, තත්කාලීන සිංහල ජනයාගේ නිවට, නියාලු, බියගුලු, අලස ගති දුරලීමටත්, අභිමානවත්, සදාචාර සම්පන්න දූරදර්ශී ‘සිංහල – බෞද්ධයන්’ බිහි කිරීමටත් එතුමා තරාතිරම නොබලා වචන නමැති අසිපතින් සැමට ම පහර දුන්නේය. සැර පරුෂ වුව ද අවංක යහපත් fචිතනාවෙන් සිදු කළ එම දෙසුම් නිසා නින්දෙන් පිබිදි සිංහලයා සංකර, පරගැති සිරිත් අතහැර දමා සිංහල ඇඳුම් අඳින්නටත්, සිංහල නම් භාවිත කරන්නටත්, සිංහල බෞද්ධයන් ලෙස සිතන්නටත් හුරු පුරුදු වූහ. මෙය ධර්මපාල ශ්‍රීමතාණන් නිසා ම සිදු වූ චින්තන විප්ලවයක් බව පැවසීම අතිශයෝක්තියක් නො වේ.

ආර්ථික සමෘද්ධිය පිණිස ධර්මපාල දැක්ම…

ජාතියක් ස්වාධීන වන්නට නම්, ආර්ථික සමෘද්ධිමත් භාවය ද අත්‍යවශ්‍ය සාධකයක් බව මැනවින් පසක් කළ ධර්මපාලතුමා ශිල්පීය ඥානය ඉහළ නංවන්නට ද දේශීය කර්මාන්ත සංවර්ධනයට ද මංපෙත් විවර කළේ ය. සිංහල තරුණයන්ට ශිෂ්‍යත්ව ලබා දී ජපානයට යවා පේශ කර්මාන්තය, ගිනි පෙට්ටි කර්මාන්තය, පෝසිලේන් පිඟන් සෑදීම ආදී ශිල්පීය පුහුණුව ලබා දුන්නේය. එමතු ද නොව ඔවුන් පුහුණුව ලබා ආපසු ඒ ඒ ක්ෂේත්‍රයන්හි කර්මාන්තශාලා අරඹා ආර්ථිකය සවිමත් කරවන්නට ද කටයුතු සැලැස්වී ය.

මව්බිමෙන් සමුගෙන දඹදිව්තලය කරා…

අඩ සියවසකට ආසන්න කාලයක් රට දැය සමය නගන්නට අප්‍රතිහත ධෛර්යයෙන් දිවා රෑ නොබලා දැවැන්ත යුග මෙහෙවරක් ඉටු කළ ලක්මාතාව ජනිත කළ මේ අති ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නය 1931 දී මාතෘභූමියෙන් සමුගත්තේය. කොළඹ විද්‍යෝදය පිරිවෙනේ දී ගිහි – පැවිදි පිරිසට මෙරට දී අවසන් දේශනය පැවැත්වූ ධර්මාපලතුමා තමන් භාරයේ පැවති සියලු වත්කම් ජාතික – ශාසනික උන්නතිය පිණිස පොදු කමිටුවකට පවරා ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලබන අපේක්‍ෂාවෙන් සම්බුද්ධ භූමිය බලා පිටත්ව ගියේ ය. එම වසරේ දී ම සිරි දේවමිත්ත ධම්මපාල නමින් උතුම් පැවිදි බව ලබා, 1933 ජනවාරි දහසය දින බරණැස ඉසිපතනයේ මූලගන්ධ කුටි විහාරයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. එවකට ලක්දිව වැඩ සිටි ධර්මධර – විනයධර ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලා වසර 700කට පමණ පසු දඹදිව සිදු වූ ඒ උත්කෘෂ්ට විනය කර්මයට සහභාගී වීම පිණිස එහි වැඩම කළහ.

සත්පුරුෂයන් ලෙස කෙළෙහිගුණ දක්වමු…

ජාතිය – ශාසනය වෙනුවෙන් සිය දිවිය ම කැප කළ ඒ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ – ජාතියේ පියාණන්ගේ අනගාරික ධර්මපාලතුමාගේ උදාර ගුණ සම්පත්තිය අප නිරන්තරයෙන් සිහිපත් කළ යුතු ය. සිංහල ජාතියට පහළ වූ ඉසිවරයාට කෙළෙහිගුණ දැක්විය යුතු ය. ඒ ශ්‍රේෂ්ඨ ධර්මපාල චින්තනය හැකිතාක් සමාජගත කළ යුතු ය. ඒ දූරදර්ශී අදීන නිවහල් චින්තනය සෑම කෙනෙකු ම සෑම අංගයකින් ම ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය යුතු ය. එතුමන් බලාපොරොත්තු වූ පරිද්දෙන් ම සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් උද්දීප්තියට පත් කරවා ගෞතම සම්බුද්ධ සන්දේශය ලොව පුරා පතුරුවා හැරිය යුතු ය. අනගාරික ධර්මපාලතුමාගේ හෘදයාංගම වදන් පෙළක් වූ “සිංහල ජාතිය සුරැකේවා”, “සම්බුදු සසුන බැබළේවා” යන්න යථාර්ථයක් වන්නේ එවිට පමණි.

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි)